ස්වාධීන රූපවාහිනියේ විකාශය වෙන ‘එයා දැන් බැඳලා’ කියන ටෙලි නාට්‍යය ගැන මේ මොහොතේ සාධනීය කතිකාවක් ගොඩ නැගෙමින් පවතිනවා. මෙතෙක් බලපු කතාව අනුව මට නම් මේ ටෙලි නාට්‍යය සිත්ගන්නාසුලු නිර්මාණයක්.
ප්‍රසන්න ජයකොඩි ‘එයා දැන් බැඳලා’ නම් ටෙලි නාට්‍යය හරහා යළිත් වරක් දිග හරින්නේ ඔහු විසින් අධ්‍යක්ෂණය කර 2017 වසරේ දී තිරගත කළ ’28’ නම් චිත්‍රපටයේ කතා වස්තුවේ හරයමයි. නමුත් රිදී තිරය ඇතුළේ පැය එක හමාරකට හකුළන කතා වස්තුව පුංචි තිරය ඇතුළත දිග හැරීමේ දී අධ්‍යක්ෂවරයා සිනමාව සහ ටෙලි නාට්‍ය යන විෂයද්වයෙහි ම තමන්ගේ බුහුටිකම ප්‍රදර්ශනය කිරීමට සමත් වෙනවා.
’28’ චිත්‍රපටය කතාවට තේමා වෙන්නේ කොළඹ දී සුද්දී ඝාතනයට ලක් වුණු බව පුවත්පත් හරහා දකින අබසිරි සහ මනියා ඇයගේ දේහය අවසන් කටයුතු සඳහා නැවතත් ගමට රැගෙන ඒමේ සිදුවීම. ඒ කතාව පුරා ම සුද්දිගේ සහ අබසිරිගේ සමාජ සංස්කෘතික ඉතිහාසයේ වේදනාබර මතක සටහන් ගොඩ නැංවෙනවා.
‘එයා දැන් බැඳලා’ ටෙලි නාට්‍යයට තේමා වෙන්නේ මනියා හරහා හඳුනා ගන්නා සුද්දි – සිරි යුවළගේ වේදනාබර ඉතිහාසයේ ආරම්භය සනිටුහන්වීම සහ ගලා යෑම. ගතානුගතික සමාජ ක්‍රමයක් මැද පැන නගින අහඹු මනුෂ්‍ය ජීවිත දෙකක සමාජයීය ඉරණම ගැන කියවෙන මේ කතාව පුරා මනුෂ්‍යත්වයේ සුවඳ තැවරිලා තියෙනවා.
‘එයා දැන් බැඳලා’ ටෙලි නාට්‍යය හරහා ප්‍රසන්න ජයකොඩි තමන් රූපවාහිනිය සහ සිනමාව අතර බෙදුම් රේඛාව මැනවින් හඳුනන්නෙක් බව පෙන්නුම් කරනවා කියලා මට හිතෙනවා. ඔහුගේ සිනමා භාවිතය යථාර්ථවාදී සිනමා රීතිය ඉක්මවා ගිය, කතාන්දර කීමේ කලාවෙන් වියුක්ත වුණු එකක්. කර්ම, සංකාරා, 28, දඩයක්කාරයා ලෙසින් වූ ඔහුගේ සිනමා ඉතිහාසය ම පිරික්සා බලන්නේ නම් ඔබට මම කියන ලක්ෂණය හමු වෙනවා ඇති. කිසියම් දුරකට ආධ්‍යාත්මික ස්වරූපයකට නෑකම් කියන එම නිර්මාණ පොදු සිනමා ලෝලීන් ඉලක්ක නොකරන නිර්මාණ සහ යටිපෙළ කියවීමක් සහිත නිර්මාණ විදියට හඳුන්වන්න පුළුවන්.
නමුත් රූපවාහිනිය තුළ දී ඔහු සාර්ථක ලෙස ශික්ෂණයක් සහිත කතාන්දර කියවන්නෙක් බවට පරිවර්තනය වෙනවා. නිසල විල, සඳ අමාවකයි, ඉමදිය මංකඩ සහ හදවිල සක්මන වැනි ටෙලි නාට්‍යය තුළ මෙන් ම මේ අලුත් නිර්මාණය තුළ ද පොදු රසිකයාට අනායාසයෙන් වැළඳගත හැකි කතා වස්තුවක් දකින්න පුළුවන්. ඔහු ටෙලි නාට්‍ය හසුරවන රීතිය තුළ වුවත් සිනමාවේ දී ඔහු අගයන සහ ලුහුබඳින ආධ්‍යාත්මික ප්‍රකාශනයේ යම් යම් සෙවණැලි වැටෙමින් තිබෙන බව පේනවා. කෙසේ නමුත් ඔහු ටෙලි නාට්‍ය තුළ දී සිනමාව තුළ මෙන් යථාර්ථවාදී රීතිය නොඉක්මවා සිටීමට තරම් කල්පනාකාරී වෙනවා.
චිත්‍රපටයේ නම ’28’.
ඒ නම හරහා කියන්නේ කාන්තාවකගේ මාසික ඔසප් චක්‍රයට අයත් දින ගණන.
ටෙලි නාට්‍යයේ නම ‘එයා දැන් බැඳලා’.
ඒ නම හරහා කියන්නේ එයා දැන් බැඳලාය කියන කාරණය.
ප්‍රසන්න ජයකොඩි සහ ඔහුගේ සිනමා – ටෙලි භාවිතය තේරුම් ගන්න ඒ ටික හොඳට ම ඇති කියලා මම හිතනවා.
සහන් කසීර වික්‍රමසිංහ