මිනිසෙකුට ගතකළ හැකි පරමාදර්ශී ජීවිතයක් තුළ පුද්ගලයෙක්ට තමන්ගේම වූ සීමාවන් ඉක්මවා යා හැකි විය යුතුමය. ආත්මමූලික අභිමතාර්ථවලින් ඔබ්බෙහි වූ සමාජමය අරමුණු යථාර්ථයක් බවට පත්කර ගැනීම කෙරෙහි කෙනෙකු කෙතරම් උනන්දු සහගත වන්නේ ද යන්න මත ඒ පුද්ගලයාගේ ජීවිතයේ වටිනාකම නිර්මාණය වන බව මම පිළිගනිමි. තනි පුද්ගලයා යන්න අධිනිශ්චය වූ නවලිබරල් සමාජ ක්‍රමයක් තුළ මෙවන් ජීවිතයක් යනු පරමාදර්ශයකි. එක්තරා අර්ථයකින් සාංදෘෂ්ටිකවාදී භාවිතාවකි. කොමියුනිස්ට්වාදියෙකු වීමට ගැනෙන අසීරු වෑයමකි. තනි පුද්ගලයෙකුගේ සාර්ථකත්වය ලෙස ගැනෙන ධන සමුච්ඡන ධාරිතාවය සහ ඊගෝවකට හිමි සංකේත ප්රාග්ධනය මත වීරයන් තීරණය වන නරුමවාදයේ යුගයක මට වීරයන් වන්නේ පීඩිත අනෙකා සිටින බව සවිඥ්ඥානික ලෙස බාරගෙන ඒ අනෙකා වෙනුවෙන් කැපවන ජීවිතයක් ගත කළ හැකි යහපත් සමාජයක් කෙරෙහි වන සිහින යථාර්ථයක් බවට පත් කිරීම උදෙසා වන සාමූහික ප්රයත්නයන් හා එක් වන සැබෑ දේශපාලනික ජීවන භාවිතාවක නිරතව සිටින මිනිසුන් ය.
ඔහු එවැන්නෙකි. මේ පිළිබඳ මා හඳුනන එක් ජීවමාන පරමාදර්ශයකි. යහපත් සමාජයක් ගැන සිහිනය වෙනුවෙන් තම තරුණ විය කැප කොට මරණය අද්දරටම ගොස් පැමිණීමෙන් පවා නවතාලිය නොහැකි වූ තවමත්- සැමදා තමා තුළ වූ සිහිනය පෝෂණය කරමින් එයින්ම අනුප්‍රාණය ලබන්නෙකි. සිහිනය සිහිනයෙන් මුදාලන්නට අවංකව වෑයම් කරමින් සිටින්නෙකි. චූලානන්ද සමරනායක; හේ අප්‍රමාණ මිනිසෙකි. කෙසඟ සිරුරක් තුළ සැඟවුණු මානව ප්‍රේමයෙන් ලතෙත් සුවිසල් මිනිසෙකු ලෙසින ඔහු අපට හමු වන්නේ…
අද 2023 මාර්තු 31 වැනි දා ය. මීට හරියටම පස් වසරකට ඉහත අද වැනි දිනයක ඔහු හමු වීම මගේ ජීවිතයේ සැමරුම් දිනයක් සේ ස්මරණය කිරීමට මම කැමත්තෙමි. මන්ද, ඒ හමුව සිදු නොවුණා නම් යන්න මේ මොහොතේ හිඳිමින් නැවත සිතා බැලීමම මට මගේ වර්තමානය සම්බන්දයෙන් වූ වියහැකියාව ගැන බියකරු සිත්තමක් සිතෙහි සිතුවම් කරන්නක් වන බැවිනි. මේ මොහොතේ සිටින මම, එනයින්ම මේ මොහොතේ මා දරන අදහස්වලින් යුක්ත වන මම ගොඩනැඟීමේ දී, මේ සුවිශේෂී දිනයේදී මුල්වරට මට හමු වූ මේ මිනිසා පුරෝගාමී වූ බැව් මම විශ්වාස කරමි. එදින ඔහු ත්‍යාගයක් රැගෙන පැමිණියේ ය. එය, මා ඒ වන විටත් සිරව සිටි ඇතැම් දෘෂ්ටිවාදීමය වැටකඩුළු බොහොමයක් කෙටි කාලයක් තුළ කඩා බිඳ දැම්මේ, මට නව මඟක් විවර කරලී ය. මම ඉන් පසුව සිට කල්පනා කරන්නේ ඒ ත්‍යාගය ඔහුගේ ඉතාම දූරදර්ශී සවිඥ්ඥානික තෝරාගැනීමක් වන්නට ඇත යන්නයි. – මා දන්නේ නැත. අද ඒ ගැන ඇසිය හැකිය !
ඉදින් චූලානන්ද සමරනායක සහෝදරයාගේ නවතම කෘතීන් කිහිපයක් කොළඹ මහවැලි කේන්ද්‍රයේ දී අද (31) සවස එළි දැක්වේ. ඒ දශක දෙකහමාරක් තිස්සේ නෙළූ සියයකට අධික ගණනක් වන කෘතීන්ගෙන් යුත් ඔහුගේ සාරවත් සාහිත අස්වැන්නේ නැවුම්ම ඵලදාවයි. සවස එහි එක්වෙමු.
මහේෂ් කුලසිංහ