කැස්පියන් මුහුදටත් .. කළු මුහුදටත්, කොකාසුස් එක විදිහටම සලකනව

කඳු…. කඳු අපිට නිදහස දෙනව…
ඉගිල්ලෙන සිතිවිලි වලට අත් තටු දෙනව.
පහළ ලෝකය කොයි තරම් පොඩිද… රන්ඩුවෙන මිනිස්සු කොයි තරම් ඈතද ..
කඳු අපිට පෙන්නනව.
ඒ වගේම කඳු අපිට කතංදර කියල දෙනව.

ගම්.. ගම් නගර … අපිව කොටු කරනව.. සීමා කරනව.
ඒ එක්කම ජීවිතේ කියල දෙනව.
ජීවිතේ දිනන්න සමහරු කඳුවලින් එතෙරෙ යද්දි.. තවත් අය කඳු එක්ක ඔට්ටු වෙනව.
එතෙර වූ මිනිස්සු ආගන්තුකයො වෙද්දි..
ඔට්ටු වෙන මිනිස්සු කඳුකර ගම් වැසියො වෙනව.

සයිබර් ලෝකය… මෙටා ලෝකය… ලෝක බලවතා ගැන වැඩි තැකීමක් කඳුකර මිනිස්සුන්ට නෑ.
එළුවො.. බැටළුවො.. ගල් වැටි.. තිරිඟු බිම් එක්ක ඔට්ටු වෙන මිනිස්සුන්ට කොහෙන්ද වෙලාවක්.

කොකාසුස්…
කවුරුත් දන්න කොකාසුස් ආසියාවත් යුරෝපයත් වෙන් කරන බව මිනිස්සු කියනව.
ඒත් කොකාසුස් දන්නෙ මොනවද ඒ ගැන.
යුරෝපෙටත් ආසියාවටත් සුදු හිමෙන් වැහුනු කඳු මුදුන් එක විදිහටම පේනව.
කඳු මුදුනින් ගන්න ඇල දොල දෙපැත්තටම ගලනව.

දෙපැත්තෙන්ම ඇදෙන වලාකුළු කඳු මුදුනෙ හැපෙද්දි..
කැස්පියන් මුහුදටත් .. කළු මුහුදටත්
කොකාසුස් එක විදිහටම සලකනව.

ගම් වැසියො… ගම් වැසියො ගමට ජීවයක් දෙනව..
ගල් පතුරු වලින් හෙවිලි කල වහල.. බර තියපු කවුළු..
අඳුරු හිම කුණාටු ගැන ඉඟියක් අපිට දෙනව.
ගම මැද්දෙ නැගුනු පොඩි පාරවල් .. ගල් වැටි ..ගම් වැසියන්ගෙ කඩිසර කමත්..
ගම මැද්දෙ ඇදෙන දොල පාර ගම්මුන්ගෙ සතුටත්..
ගම මැද්දෙ නැගුනු පරන දේවස්ථානය ඒ මිනිස්සුන්ගෙ විශ්වාසයත් ගැන අපිට කියනව.

වලාකුළු පාවුනු… හිම කුණාටු ඇදිල ගිය.. තද වැහි ඇද වැටුනු..
තිරිඟු බාර්ලි අස්වනු දීපු.. හිතේ ඇඳෙන විදිහේ ගමක්.

හිනා හඬ…
හිනා හඬ නෑහිලා යන්නෙ අයිලයේ විතරද..
මල් කොන්ඩෙ ගහගෙන විවාහ වුනු…
තැන තැන සාද දාපු..
දරුවන් ලබපු.. ඒ දරුවන් උස් මහත් වුනු ..
පවුල් ගොඩ නැගුනු …
හැමෝටම ආදරය කරපු..අපූරු තැනක් ටෲසෝ.

රූබල් නැතත් නවාතැන් දීපු… බැලලයිකා ඉඳහිට තාල වයපු ..
රතු වයින්.. සීතල වොඩ්කා සප්පායම් වුනු..
ඒත් මහ මිනිසුන්ගේ බයිනෙත්තුවට බය වුනු..
අමුතු තැනක් ටෲසෝ..

හිනා හඬ නැති… දුම් කවුළු වලින් දුම් නැගෙන්නැති..
පොඩි එවුන් පාසැල් යන්නෙ නැති… දේවස්ථානෙ සීනු හඬ නැති..
වගා බිම් පාළු වුනු.. කවුරුත් යන්නෙ නැති.. තැනක් ගමක්ද..?

දුර යන්න දෙපා වාරු නැති… දාල යන්න හිත බර වැඩි..
හම රැලි වැටුනු අල්තීනලා… කල්පනාවේ ගිළුනු දුයිශෙන්ලා
ඉඳහිට දැක්කත්… ආත්මයක් නැති චරිත කොහොම ජීවත් වෙනවද..

ලොකු සහෝදරයාගෙ තුවක්කු සද්දෙ කඳු මුදුනෙන් ඇහෙද්දි..
තැන තැන මුරපොල මතුවෙද්දි .. සොල්දාදුවො ඔරවද්දි ..
පොඩි එවුන් බය වෙනව… එක එකා පලා යනව.

කඳු අයිතිය උන්ගෙලු… කඳු වටේ තියෙන්නෙ උන්ගෙ බලය ලු.
උන්ගෙ තුවක්කු සැර වැඩිලු.. මහ එවුන් පොඩි එවුන් තලනවලු.

ලෝකෙටම වයින් රස කියා දුන්නත්.. ඒ රස හැමෝටම බෙදුවත්..
තුවක්කු නොහැදුවොත් ජෝර්ජියා උඹ බොඳවෙලා යයි මතකෙන්.

ටෲසෝ බැද්දේ නොවුනත් .. ඒත් තව බැද්දේගමක් විතරයි..
සිනිඳුලා හිර කරපු.. පුංචි මැණිකෙලා තනි කරපු.

Malcolm Sang

(While ago.. Caucasus Mountain range – Georgia.)

 

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Share post:

Popular

සබැඳි
Related

එලොන් මස්ක් – The American Oligarch

එලොන් මස්ක්ගෙ නම නොදන්න කෙනෙක් ඉන්නවානම් ඒක පුදුමයක්.ව්‍යාපාරිකයෙක්ද.. විද්‍යාඥ්ඥයෙක්ද.....

වයස 27 ක ජේක් පෝල් සහ මයික් ටයිසන් අතර තරගය

ලොවක් බලා සිටි ජේක් පෝල් සහ මයික් ටයිසන් අතර...

පිරිමින්ට එරෙහි කාන්තාවන්ගේ සටන

ඇමෙරිකානු ජනාධිපතිවරණය සහ පීනට් නම් සුරතල් ලේනෙකු ඊට බලපෑ...

Life and nature sometimes show no mercy

Life and nature sometimes show no mercy