‘ඒ අහඹු අතීත හැන්දෑව’ කියන්නෙ, ම විසින් ලියැවුණු ‘ඇහි පිල්ලමක් යට’ ටෙලි කාව්‍යයේ නවකතානුරූපකරණය. කවර දෙකක් සහිතව මුද්‍රණයෙන් නිකුත් කෙරුණු මේ පොත තුළ ඇති පඨිතය එකක්ම ද? මේ ගැන කවුරුවත් කතා නොකරන හේතුව ඇතැම් විට කවුරුවත් මේ කවර දෙකෙන් ඇතුළෙ තියෙන්නෙ එකක් ද නැද්ද කියලා නිරීක්ෂණය කරන බලලා නැති නිසා වෙන්න පුළුවන්. එහෙම කරන්න අවශ්‍යතාවක් ඇති නොවුන නිසා වෙන්න පුළුවන්.
මේ කෙටි සටහන ඒ වෙනුවෙන් ලියවෙන්නක්.
පරිසමාප්ත කෘතියක් ලෙස අලුත් අකුරූපණ හැඩ තල සහිතව ‘ඒ අහඹු අතීත හැන්දෑව’ සහෘදගත කිරීමේ ශ්‍රමය දරන ලද්දේ පැතුම් එගොඩවත්ත, කෝසල සෙනෙවිරක්න සහ රජිත පවිත්‍ර මධුභාෂ නම් වන ‘මූනියැක්’ සනුහරය. ඔවුන් ‘දුස්ටකමේ සවුන්දර්ය’ වෙනුවෙන් ද මෙකී ක්‍රියාවලියේ නිරත වන්නට වුණු ප්රතිභාසම්පන්නයන් තිදෙනෙක්.
‘අහස’ ප්‍රකාශන වෙනුවෙන් එහි කේන්ද්‍රීය චරිතය වූ අසංක සායක්කාර මිත්‍රයාට මගේ සැළසුම ගැන පහදා දුන් විට ඔහු ඊට උපරිම සහයෝගය ලබා දුන්නා. ‘අහස’ට අධිපති චරිත දිසානායක මෙවන් නිර්මාණ පරිශ්‍රමයක් වෙනුවෙන් දරන්නට වන අමතර වියපැහැදම් ගැන තඹේකට නොසළකා ඒ සියල්ලට ඉඩහසර ලබා දුන් අතර ඉතා අගනා නිමාවකින් යුතු කෘතියක් මුද්‍රණය කළා. එ පමණක් ද නොවෙයි; කර්තෘවර රෝයල්ටිය හා ඒ අමතර වියදම් පටළවා ගත්තේ ද නැහැ.
ඒවා අහඹු අමතර කතාවන්.
ප්රස්තුත කේන්ද්‍රීය කතාව මෙන්න මේකයි.
කවර දෙකකින් යුතු මෙම කෘතියේ අඛ්‍යයන ලීලාව එකක් නොව දෙකක් බව ඔබට පැවසීමයි.
ම විසින් ‘සමනලුන්ට වෙඩි තියන්න’ හා ‘ඇහි පිල්ලමක් යට’ ටෙලි කාව්‍ය රචනා කෙරෙද්දී ම අනුගමනය කෙරුණු, ඒ හරහා එම නිර්මාණ නිමැවුම්කාර ප්‍රදීප් ධර්මදාසට යෝජිත සංස්කරණ ක්‍රමවේදයක් තිබුණා. සිනමාව, ටෙලි වෘත්තාන්න ඈ වූ දෘෂ්‍යකලා නිර්මාණ ක්‍රියාවලීන්හි විවිධ සුවිශේෂ නාමකරණයන් සහිත මෙම යෝජනාව විශේෂයෙන්ම බද්ධ වන්නේ සංස්කරණ මේසයට වුවත් ඒ සඳහා රූප ගබඩා කර ගන්නට නම් ඒවා රූ ගත කර තිබ්බ යුතු යි. ඒවා රූ ගත කර ගන්නට නම් ලිව්ව යුතු යි. එබැවින් ඒවයේ අන්තර්ගත වූයේ මගේ ඔලුවේ පැනැ නැඟුණු අඛන්ඩතා සහිත අවිච්ඡින්න රූපාවලියක්.
‘මැච් කට්’ කියා ඇතැම් විට තාක්ෂණිකව නම් කෙරෙන මෙම සංස්කරණ ක්‍රියාවලිය වන, ‘කන්ටින්‍යුටි එඩිඩිං’ විශ්වාසය තබන්නේ දර්ශන ඛණ්ඩ අතර වන ලෝකායත්ත සහසම්බන්දය කෙරෙහි. (‘මැච් කට්’ වලට අදාල මූලික මැච් කිරිලි ත්‍රිත්වයකි. ග්‍රාෆික, චලන සහ ශ්‍රව්‍ය වශයෙන්. අවශ්‍ය විටෙක ඒවා වෙන වෙනම උපැහරණ සහිතව පැහැදිලි කරන්නට පිළිවන්) කොටින් ම එය, සමස්ථ ආඛ්යනයෙහි සහසම්බන්ද කරන සංස්කරණ ක්‍රමවේදයක්. ඒ සඳහා වන සුවිශේෂ සංස්කරණ තාක්ෂණවේදයක් ඇත ද මා භාෂාමය ලාලිත්යයක තබා එය ගොනු කළ අතර ‘දිගු පරිච්ඡෙද සහිත විසල් මුහුණක් සහිත ‘’රතු ‘අහඹු’ පොත’’ කියවූවනට ඇතැම් විට එය නොදැනෙන තරමට ම එහි ගලා යාම අවිච්ඡින්න බවක් මට මුල ඉඳන්ම දැනෙමින් තිබුණා. කිසිවෙක්ම ඒ ගැන කතා නොකළේ එනිසාවෙන් වෙන්නට බැරි ද?
කවරයේ ප්‍රමිල සමරකෝන්ගේ ආලේඛ්‍ය සේයාව රැගත් පසු කවරයේ මගේ ආලේඛ්යමය පිළිබිඹුව රැගත් රතු පැහැති ‘ඒ අහඹු අතීත හැන්දෑව’ පොතෙහි ඇත්තේ පරිච්ඡේද 10යි. ඒවා දිගු පරිච්ඡේදයන්. අවිච්ඡින්න සංස්කරණගත ලිවීම් ක්‍රමවේදය තුළ එකිනෙකට වෙනස් කාලාවකාශ දෙකක සංසිද්ධි දෙකක් හැම විටම එකම ඡේදයක් තුළ සම්මිශ්රිතවැ සිරුමාරුව යමින් තිබෙන අයුරු හෙමින් කියවන විට ඔබට හසුවන්නට පිළිවන්. ඒවා සම්බන්ද කෙරෙන්නේ ඇතැම් වට දෙබස් ඛණ්ඩයකින්. තවත් විටෙක අතකින්;පයකින්; සපත්තුවකින්; සෙරෙප්පුවකින්; පිහියකින්; තේ කෝප්පයකින්. තවත් විටෙක පාපැදි ධාවනයක්, දිවීමක්: ලුහුබැඳීමක් ඈ වූ වේගවත් චලනයකින්.
රතු තරුව ඇති සුදුකවරයෙන් යුතු ‘ඒ අහඹු අතීත හැන්දෑවක්’ කෘතිය වඩා පහසු කියවීමකයට පාඨකයා යොමු කරවන කෙටි පරිච්ඡේද 128කින් සමන්විත යි. එහි ‘අවිච්ඡින්න සංස්කරණ’ ක්‍රමවේදයට යටත් කර නැහැ. නමුත් එක් පරිච්ඡේදයක අවසානයත්, මීළග පරිච්ඡේදයේ ආරම්භයත් සම්බන්ද කෙරෙන ‘හුය’ සීරුවෙන් කියවන්නකුට පහසුවෙන් සොයා ගන්නට පිළිවන්.
යළිත් මෙනෙහි කරන්නම්, මට කියන්නට අවශ්‍ය වූයේ මෙයයි. කවර දෙකකින් යුතු ‘ඒ අහඹු අතීත හැන්දෑව’ නවකතාවේ කවර දෙක තුළ ගලා යාම එකක් නොව දෙකක් බවයි. කෘති දෙක තුළ අන්තර්ගත වචන කිසිඳු වෙනසක් නැති වුව ආඛ්‍යන රටාව වෙනස්. එකම නවකතාවක් මෙහෙම පරිච්ඡේද වෙන් කොට පළ කළ අද්දැකීමක් ගැන මං මීට පෙර අසා නැහැ. එය මගේ හිතුවක්කාරී අත්හදා බැලීමක්.
නමුත්, මගේ පුද්ගලික නිරීක්ෂණය වන්නේ, වෙනස් වින්‍යාසයක් සහිතව මා මෙම නවකතාව කවර දෙකකින් පළ කර ඇති බවක් නොදන්නා සහෘද-පාඨක-හිතමිත්‍ර- සහෝදර පර්ශද, තමන් කැමති කවරය සහිත පොත සන්තක කරගන්නා බවක්. වෙන් වෙන් කවර ඇති පොත් හිත මිත්‍රයන් අතර තිබෙන්නේ නම් තවත් එක් වතාවක් ඒවා මාරු කරගෙන කියවා බලන ලෙස පොත් සන්තකයේ ඇති සහෘදයන්ගෙන් සහෘදිනියන්ගෙන් සහෝදරත්වයෙන් ඉල්ලා සිටිනවා.
මංජුල වෙඩිවර්ධන