ලංකාවේ සංස්කෘතික බුද්ධිමය නවීකාරකත්වයේ ඇති සුවිශේෂී ලක්ෂණයක් වන්නේ විශ්ව විද්‍යාල සම්ප්‍රදාය තුළ පමණක් නොව ඊටත් වඩා ඉන් පරිබාහිරවත් සංස්කෘතික බුද්ධිමය ක්ෂේත්‍රයක් වර්ධනය වී තිබීමයි.
ලංකාවේ සම්ප්‍රදායික සංස්කෘතික බුද්ධිමතාගේ සන්නාමය දරන මාර්ටින් වික්‍රමසිංහ මෙහි ආරම්භක සලකුණයි. ඔහුගේ බුද්ධිමය අභ්‍යාසය එවක ඔහු හා සමාන්තර සාහිත්‍ය-බුද්ධිමය කාර්‍යයේ යෙදුණු විශ්ව විද්‍යාල ඇදුරන් හා විද්‍යාර්ථීන්ට වඩා සෑහෙන ඉදිරියෙන් විය.
ඊටත් වඩා 60 හා 70 දශකයන් වනවිට සංස්කෘතික-බුද්ධිමය ක්ෂේත්‍රය තුළ රැඩිකල් නව්‍යත්වයක් යෝජනා කරමින් විශ්ව විද්‍යාල සම්ප්‍රදායෙන් පිටත ගොඩනැගුණු අපූර්ව පෙරළිකාරී චින්තන ප්‍රවාහයක් හදුනාගත හැකිය. මෙය බුද්ධිමය කැළඹීම විශ්ව විද්‍යාල සම්ප්‍රදායෙන් පිටත ස්ථානගත කරන්නේ එකී කතිකාව විශ්ව විද්‍යාලයන්ට පය නොගැසූවන් අතින් පමණක් ගොඩනැගුණාය යන ඌනිත තේරුමෙන් නොවෙයි. ඊට වඩා විශ්ව විද්‍යාලයන්ගේ ආයතනික සීමාවට ඔබ්බෙන් සංස්කෘතික දේශපාලන ගැඹුරක් ස්පර්ශ කෙරුණු විවෘත සෞන්දර්‍ය-චින්තන අවකාශයක් නිර්මාණය වීම යන අරුතෙනි.
එම චින්තන පෙරළිය එක් කවයක දෙකක බුද්ධිමය සම්පදානයක් නොවීය.එය හුදු ශාස්ත්‍රීය රචනාවන් තුළ පමණක් නොව කලා-සංස්කෘතික අඩවිය අරා ද විහිදී ගිය ප්‍රවනතාවයක් විය. දාර්ශනිකව ගත්විට යුරෝපීය භවසත්තාවාදයේ ලාංකේය ප්‍රකාශනයක් ලෙස ද, දේශපාලනිකව ගත්විට මාක්ස්වාදයේ කැරළිකාරී ආවේශය හා පංති දැක්මද, සංස්කෘතික වශයෙන් ලාංකේය පන්නයේ බොහිමියානු ලක්ෂණ ද,බුද්ධිමය වශයෙන් විවේචක අනුරාගයද, කලාත්මක වශයෙන් ප්‍රති-සෞන්දර්‍යවාදී නැඹුරුවකින් ද ඉහත චින්තන ප්‍රවාහය සංලක්ෂිත විය.
එය පේරාදෙනි ගුරුකුලයටත් ජාතිකවාදී සංස්කෘතික ධාරාවටත් පිටස්තර විය. නාගරිකත්වය තුළ අතරමං වී ග්‍රාමීය අතීතයට පසු බැසීමේ මනස් ලෝකයට වඩා නාගරික ජීවිතය තුළම කේන්ද්‍රගත වෙමින් පැවැත්ම ආලෝචනය කරන්නක් විය.56 සංස්කෘතික පරිවර්තනයේ ඇතැම් වටිනාකම් වඩා රැඩිකල්කරණය කිරීමක් ද විය. ලාංකේය උසස් නූතනවාදයක් පිළිබද ප්‍රකාශනයක් විය.
ඉහත චින්තන ප්‍රවාහයට අයත් විශාල භූමිකා ප්‍රමාණයක් නම් කළ හැකි වුවද මෙතනදී නම් දෙක තුනක් පමණක් සිහිපත් කිරීමට සීමා වන්නේ නම් සුගතපාල ද සිල්වා, සිරිල් බී පෙරේරා, සයිමන් නවගත්තේගම, සුමන ආලෝක බණ්ඩාර, හේමරත්න ලියනාරච්චි හා අජිත් තිලකසේන යන අය නිදර්ශන ලෙස දැක්විය හැකිය.
ඉහත නම් කිහිපය තුළින් අද දිවමන්ව සිටින ඉහත සංස්කෘතික පුනර්ජීවන ධාරාවට අයත් පූරෝගාමියකු වන්නේ අජිත් තිලකසේනයි. තිලකසේනව පැහැදිළිව වටහා ගැනීමට නම් ඉහත දැක්වූ 60,70 දශකයන්ගේ සංස්කෘතික-දේශපාලනික පරිවර්තනය තුළ ඔහුව ස්ථානගත කළ යුතුවේ. තිලකසේන දරන ජීවිත වටිනාකම් හා සමාජ ආකල්පමය දැක්ම වනාහී ඉහත චින්තන ප්‍රවාහයේ උරුම ශේෂ පත්‍රයක් මිස අන් යමක් නොවෙයි. එකී යුගයේ නැවුම් සිතීම හා තිලකසේන වැන්නන් නිර්මාණය වීම අතර වන අත්‍යන්ත සම්බන්දය පුළුල්ව කියවා ගැනීමට තරම් ඉඩ ප්‍රස්ථාවක් මෙවැනි ෆේස්බුක් සටහනකින් ලබාදෙන්නේ නැති නිසා තිලකසේන පිළිබදව ඊයේ මතු වූ කතා බහට දායකවීමක් ලෙස පමණක් කෙටියෙන් මෙය කිව යුතු වේ.
විශ්ව විද්‍යාලයකින් තමාට ලබාදෙන ආචාර්‍ය උපාධියක් පිළිබදව තිලකසේනට ඇත්තේ තමන් යුගයක් පුරා දැරූ විරෝධාකල්පික විවේචනාත්මක ලෝක දැක්ම සම්මුතිගත කිරීමක් ලෙසය. තිලකසේන සිය පැවැත්ම අර්ථවත් කරගත් සංකේතීය ආධාරකය පාවා දීමට සූදානම් නොවන්නේ ඔහුගේ සැබෑ මරණය වන්නේ එවැනි පිළිගැනීමකට පාත්‍ර වීම වන හෙයිනි. එය මෙවැනි යුගයක ආශ්චර්‍යමත් තෝරාගැනීමකි.
ඒ අතරම රුහුණු විශ්ව විද්‍යාලය විසින් ඔහුට ආචාර්‍ය උපාධියක් පිරිනැමීමට ගත් තීරණය ද මා දකින්නේ ලංකාවේ විශ්ව විද්‍යාලයන් තුළ වන බුද්ධිමය උදාසීනත්වය හා ගතානුගතික ආරක්ෂණවාදය යම් තෙරපීමකට ලක් කරමින් එක්තරා විකල්ප සාහිත්‍ය චින්තනයක් ඇගයුමකට ලක් කිරීමේ අවශ්‍යතාවයක් ලෙසය. මීට පෙර මහාචාර්‍ය ඉන්දික ෆර්ඩිනැන්ඩු ද මා සමග පවසා ඇති පරිදි කොළඹ සෞන්දර්‍ය විශ්ව විද්‍යාලයෙන් ද ඔහුට ආචාර්‍ය උපාධියක් පිරිනැමීමට සූදානම් වුවද එය ද තිලකසේන විසින් ප්‍රතික්ෂේප කර තිබිණි.
ලංකාවේ විශ්ව විද්‍යාලයන් තුළ සිටින අවදි ස්මෘතියෙන් යුතු ඉතාම සීමිත ඇදුරන් අතලොස්සකට තිලකසේනව ඇගයීමට ලක් කිරීමට මෙසේ සිතීම එසේ නොතැකීමට වඩා වැදගත් වන මුත් වඩා වටිනා ප්‍රතිචාරය වන්නේ තිලකසේන විසින් එම ආරාධනාවන් ප්‍රතික්ෂේප කරමින් දක්වන අභිනයයි.
එනම් ආචාර්‍ය උපාධියකට වඩා තමන් කෙතරම් විශාල සංස්කෘතික පෞරුෂයක් ද යන නිවේදනයයි. අනෙක් අතින් ගත්විට විශ්ව විද්‍යාල කතිකාවට ඌනනය නොවන සංස්කෘතික-දාර්ශනික භෞතික සමාජයක් පිළිබද යුග මතකයක් තිලකසේන සිය තීරණය විසින් දල්වා තිබෙයි. එය අනාගතය දෙසින් ඔහු දුන් පණිවිඩයක් ලෙස අප බාරගන්නට සූදානම් නම් මේ යුගයේ වඩා රැඩිකල් දේශපාලනය පරිකල්පනය කිරීමට මහෝපකාරී වනු ඇත.
ඒ අනුව තිලකසේන හරහා ලංකාවේ 90 න් පසු සංස්කෘතික ලෝකය යළි කියවාගැනීමට සිතමි. ඒ ගැන නැවත යමක් ලිවීමට බලාපොරොත්තු වෙමි.