අර්බුදකාරී සමාජ තලයක අරගලකාරී මිනිසුන්ගෙන් ජීවන හැඩතල නොසිතූ විරූ ලෙස වෙනස් වන්නේ ය. දැදුරු ගිරි කුළු තුළින් අවලෝකනය කරන්නේද එවන් අර්බුදකාරී සමාජ සංස්ථාවක ඉහළ පුටුවල සිට දැසි දස්සන් දක්වා මිනිසුන්ට අරගලය බලපාන අයුරු වැලිසරගේ සාහිත්‍යධරයන් පෙන්වා දෙන්නේ විටෙක යථාර්ථවාදී ලක්ෂණවලට ඔබ්බෙන් වන මායා යථාර්ථවාදයට ස්පර්ශ කරමිනි.
තරමක් සංකීර්ණ අයුරින් ගොඩ නගා ඇති කතාන්දරය පිළිවෙළින් නොකියවෙන අතර එනිසාවෙන් කුතුහලය නොකඩවා පාඨකයා තුළ රැඳේ. වර්තමාන තුළ සිට කියවෙන කතාව විටෙක අතීතයට ගමන් කරන්නේ සමාජය තුළ වැජඹෙන්ගේ මූල බීජද සියුම් ව ගෙන හැර පාමිනි. කතුවරයාගේ අනෙක් කෘතිවලට වඩා තරමක් වෙනස් මගක් මෙහි අනුගමනය කර ඇති බැව් වැටහේ. සම්පූර්ණයෙන් ම කට වහරින් ගොඩ නගා ඇති නවකතාව තුළ ලෝචනා හා විද්‍යා මෙන් ම විදූෂිගේ චරිත තුළින් දාර්ශනික චින්තනයක් පාඨක මනසට වහනය වන්නට ඉඩ හැර ඇත. කතුවරයාගේ අතීත මූලයක් හගිස්සන්නේ ඉතා සීරුවෙන් ය. කාල සර්ප , මායා තීර්ථ නවකතා දෙකටත් වඩා සූක්ෂමව මෙහි අතීත මූල තුළ සැඟවුණු වෘත්තාන්ත දිගහරියි. නමුත් එම අතීතය සංක්ෂිප්ත අයුරින් ඉදිරිපත් කිරීම පිළිබඳ ව මා හට ප්‍රසාදයක් නැත.
අරගලයකදී නිලතල දරන මිනිසුන්ට වෘත්තීය සමිති නායකයින්ට වඩා පීඩා විඳින්නන් කම්කරුවන් බව කතුවරයා ඒත්තු ගන්වයි. එය කතුවරයාගේ සුපුරුදු අසම්පූර්ණ කතා ගොඩ නැංවීමේ විලාසයෙන් ඉදිරිපත් කිරීම පාඨකයාට ආස්වාදයක් එක් කරයි. අවසානයේ විද්‍යානාථ ගන්නා තීරණය තුළින් සැමදා යහතින් වැජඹෙන ධනපති පන්තියේ ස්වභාවය හා බලවත් බව ඒත්තු ගන්වයි. එමෙන් ම අවසාන පිටු දෙක තුළින් මුළු කතාන්දරයේ ම යථාර්ථවාදය සංක්ෂිප්ත මෙන් ම තීක්ෂණ අයුරින් ඉදිරිපත් කර තිබීම දැක ගත හැකිය.
කතුවරයාගේ නවකතා කැමැත්ත මත පෙළගැස්වුවහොත් දැදුරු ගිරි කුළු අවසානයේ රඳවන්නට වන්නේ මෙහි ඇති කතා ගොනු කිරීම පාඨකයන් වන අපට නීරස කියවීමක් උදා කරවන හෙයිනි. මෙහි ඇති සංකීර්ණ දර්ශනය පාඨකයා නවකතාවෙන් ගිලිහෙන්නට හේතු කාරකයක් විය හැකිය. කෙසේනමුත් වැලිසරගේ මහතාගේ දාර්ශනිකත්වය පිළිබඳ ව පුළුල් ව දැකගත හැකි ප්‍රබල නවකතාව මෙය වන අතර ඇතැම් අවස්ථාවක සංකල්පවල ප්‍රබලත්වයක්ද දක්නට හැකිවේ.
අකලංක මාතරගේ