අදින් වසර 800කට වගේ කලින් යුරෝපයේ ඉඳලා ආසියාව දක්වා දිවෙන සේද මාවත පාලනය කරන්නෙ චීනය හෝ රුසියාව හෝ අද වගේ රටවල් ගණනාවක එකතුවකින් නෙවෙයි.
ඉතාම ඉක්මනින් බලවත්වන විශාල අධිරාජ්‍යයක් මේ අපි කතාකරන කාලයේ ලෝකයේ බලය පතුරුවනව.
අද ලෝක සිතියම දිහා බැලුවොත් දකුණු කොරියාවේ බුසාන් නගරයේ ඉඳල හංගේරියාවේ ඩැනියුබ් නදියේ සීමාව දක්වා අති විශාල ප්‍රදේශයක් පාලනය කරන මේ රාජ්‍යයට කියෙව්… මොස්කව්… බැග්ඩෑඩ්.. සමර්කාන්ඩ් .. ටෙහෙරාන්… ටිබෙට් ආදී වශයෙන් ප්‍රසිද්ධ නගර හා පලාත් අයිති වෙනව.
මොංගෝලියානු අධිරාජ්‍යය කහ මුහුදේ සිට කළු මුහුද දක්වා බලය පතුරුවද්දි වැනීසිය .. ජෙනෝවා හා කොන්ස්තන්තිනෝපල් නගර එහෙමත් නැත්තං රාජ්‍යයන් උත්සාහ කරන්නෙ මොංගෝලියානු කාන්වරුන් එක්ක වෙළඳ සම්භන්ධතා ගොඩ නගාගන්න.
වැනිස් ජාතිකයන් වූ මෆෙයෝ හා නිකොලෝ සහෝදරයන් කොන්ස්තන්තිනෝපල් නගරයේ ව්‍යාපාර කරන ප්‍රසිද්ධ ව්‍යාපාරිකයන් දෙදෙනෙක්.
වැනීසියේ උපන් මේ වෙළඳ සහෝදරයන් දෙදෙනා කොන්ස්තන්තිනෝපල් නගරයෙන් පිටත්වෙලා ක්රිමියාවටත් එතනින් වැනීසියටත් එන්නෙ තමන්ගෙ වෙළඳ ජාලය ශක්තිමත් කරගන්න.
මොංගෝලියානු පාලනය යටතේ කාන්වරුන් ක්රිමියාව පාලනය කරන මේ සමයේ කියෙව් කියන්නෙ සංවර්ධිත මෙට්‍රොපොලිටන් නගරයක්.
අපි මේ කතා කරන්නෙ 1260 වගේ කාලයක් ගැන . මොංගෝලියානු අධිරාජ්‍යා වන කුබ්ලායි කාන් ( Kublai Khan 1215-1294) මෆෙයෝ සහ නිකොලෝ සහෝදරයො දෙන්නා සමග සමීප සම්භන්ධකම් පවත්වන්නෙ යුරෝපා හා ආසියානු වෙලඳ කටයුතු සඳහා මේ සහෝදරයන් දක්වන දක්ශතා නිසයි.
කුබ්ලායි කාන් විසින් වැනීසියටත් රෝමයටත් විශේෂ තෑගි කීපයක් යවනව මේ සහෝදරයන් අතේ. ජෙරුසෙලමේ දැල්වෙන ගිනි දැල්ල හා ඒ පහනෙන් ලබාගත් තෙල්… යුරෝපා දැනුම සහිත ලිපි ලේඛන ශැන්ග්දු නගරයට ගෙන එන්න කියල මොංගෝලියානු පාලනය මේ සහෝදරයන්ට දන්වනව. ඒ එක්කම යුරෝපයේ ප්‍රචලිත ක්‍රිස්තියානි ආගම ගැන දැන ගන්න යුරෝපීය පූජකයන් සිය දෙනෙක් රැගෙන එන ලෙසත් කාන් පාලනය මගින් මෆෙයෝ හා නිකොලෝ සහෝදරයන්ට දැනුම් දෙනව.
මේ වෙද්දි යුරෝපයේ මධ්‍යතන යුගය. ආසියාව ගැන යුරෝපයේ තියෙන්නෙ ඉතාම අඩු දැනුමක්.
1269 අවුරුද්දෙ නිකෝලෝට එයාගෙ තරුණ පුත්‍රයා මුනගැහෙනව වෙනීසියේදි.
මෆෙයෝ .. නිකොලෝ සහ නිකොලෝගේ තරුණ පුත්‍රයා මාර්කෝ තුන්දෙනා තීරණය කරනව ආසියාව හා මොංගෝලියානු අධිරාජ්‍ය හරහා සංචාරය කරන්න.
මීට කලින් ආසියාව තරණය කරල තියෙන්නෙ ඉතාම සුළු දේශ ගවේශකයන් පිරිසක් පමණයි.
ඉතාලි ජාතික ජියොවානි දි කාර්පිනි 1245 වසරේ ( Giovanni da piano del Carpine 1185-1252) ආසියාව හරහා ගියත් ඒ තරම් තොරතුරු වාර්තා වෙන්නෙ නෑ ඒ සංචාරය ගැන.
වැනීස් ගවේශකයන් තුන්දෙනා තවත් කුඩා කන්ඩායමක් එක්ක යුරෝපයෙන් පිටත්වෙනව 1271 වසරෙදි ආසියාව තරණය කරන්න.
මේ අය වැනීසියෙන් පිටත්වෙන්නෙ කුරුස යුද්ධය සඳහා සොල්දාදුවන් හා ආහාරපාන රැගෙන යන නෞකාවකින්.
කුරුස යුද්ධය යුරෝපීය කතෝලික හා ක්‍රිස්තියානි භක්තිකයන් විසින් දියත් කරන්නෙ මුස්ලිම් අරාබි පාලනයෙන් ජෙරුසෙලම මුදාගැනීම සඳහා. මේ දරුණු යුද්ධය අවුරුදු සිය ගාණක් දිවෙන්නෙ ජීවිත දාස් ගාණක් බිලිගනිමින්.
මධ්‍යධරණී මුහුද තරණය කරලා මේ අය මුලින්ම ලඟාවෙන්නෙ වර්තමාන ඊශ්‍රායලයේ ආක්ර නගරයට. ඉන්පස්සෙ ජෙරුසෙලමට. තුර්කිය… ආර්මේනියාව හරහා ඉරාන කාන්තාරය තරණය කරන මේ කණ්ඩායම ඇෆ්ඝනිස්තානයටත්.. කාශ්මීරයටත් ලඟාවෙනව.
තරුණ මාර්කෝ බොහොම උනන්දුවෙන් මේ සංචාරය ගැන තොරතුරු සටහන් කරගන්නව.
වර්තමාන ටජිකිස්තානයත් කිර්ගිස්තානයත් අතර ඇති කශ්ගාර් කදුකරයේදී අශ්වයෙක් තරම් විශාල කැරකුණු අං සහිත බැටළුවෙක් හෝ එළුවෙක් දකින තරුණ මාර්කෝත් සංචාරක කන්ඩායමත් පුදුම වෙනව.
මේ බැටළුවා අදත් නම් හදුන්වන්නෙ මාර්කෝගෙ නමින්.
ටිබෙට් සානුවත් ටක්ලමාර්කන් කාන්තාරයත් අතරින් ගමන් කරන සංචාරක කන්ඩායම වර්තමාන චීනයේ ගන්ශු නගරයට ලඟාවෙනව.
ගන්ශු නගරයේදි මේ අයට බොහොම සාමකාමී අපූරු වන්දනා ක්‍රමයක්.. ආගමක් ගැන දැන ගන්න ලැබෙන්නෙ විශාල ප්‍රතිමා… සංගීතමය යාඥාවන්… හා පංසල් සමූහයක් එක්ක.
බුද්ධා නමින් හැඳන්වෙන ශාස්තෲවරයෙකුගේ දේශණා සහිත මේ ආගම බුදිස්මෝ ලෙස මේ අය හඳුන්වනව.
ග්‍රීක දැනුම තුල හැර බෞද්ධ හෝ හින්දු ඉගැන්වීම් ගැන යුරෝපීයන්ගෙ දැනුම ඉතාම අඩුයි මේ කාලය වනවිට.
වැනීස් සංචාරක කන්ඩායම ගන්ශූ නගරය ලඟාවෙන මේ කාලය යුවාන් ඩිනස්ටිය විසින් අළුත් නගරයක් තමන්ගෙ ප්‍රධාන නගරය ලෙස දියුණු කරමින් ඉන්න කාලයක්. කාන්වරුන්ගේ නගරය වන කාන්බාලික් දක්වා මේ සංචාරක කන්ඩායම කැඳවාගෙන යන්නෙ මොංගෝලියානු සොල්දාදුවන් විසින් විසින්.
කුබ්ලායි කාන්ගේ කාන්බාලික් ( Khanbaliq) නගරය අද හදුන්වන්නෙ බෙයිජින්ග් නමින්.
වැනීසියෙන් පිටත්වෙලා කාන්බාලික් නගරයට ලඟාවෙන්න මේ අයට කොයිතරම් කාලයක් යන්න ඇතිද.?
හරියටම අවුරුදු තුනක් හෝ ඊටවඩා ටිකක් වැඩි කාලයක් . මේ අය පහුකරපු ගම් හා නගර… සංස්කෘතීන් .. මිටියාවත් කඳු මීට කලින් යුරෝපීයන් දැකල නෑ.
කාන්වරුන්ගේ දේශයේදී තරුණ මාර්කෝටත් මෆෙයෝ සහ නිකොලෝටත් ඉහල පිලිගැනීමක් ලැබුනත් පූජකයන් සියයක් වෙනුවට පූජකයන් තුන්දෙනෙක් පමණක් රැගෙන ඒම ගැන කාන් පාලනය සතුටු වෙන්නෙ නෑ.
නමුත් මේ අය මොංගෝලියානු පාලකයන්ට අවශ්‍ය දැනුමත් … පරිපාලන නීතිරීතිත් හදුන්වාදෙන නිසා ඉතා ඉක්මනින් කාන්බාලික් පාලනයේ තණතුරුවලට පත්කෙරෙනව.
ඊසාන දිග ආසියානු කලාපයේ සංචාරය කරමින් පාලනයට සහය වෙන වැනීස් කන්ඩායම එක්තරා විදිහක හිරකාරයන් බවට පත්වෙනව යුවාන් පාලනයේ.
කොයිතරම් කාලයක් මේ අය මොංගෝලියානු පාලනයේ අමුත්තන් ලෙස ගතකරනවද.?
අවුරුදු දා හතක්. මොංගෝලියානුවන් කැමති වෙන්නෙ නෑ මේ අයව ආපහු යුරෝපයට යවන්න.
අපි ඇවිත් ඉන්නෙ 1292 වර්ශයට. මේ වෙද්දි පර්සියාව හෙවත් වර්තමාන ඉරානය පාලනය කරන්නෙ මොංගෝලියානු පාලකයෙක් වූ ඉල්කාන්ත් විසින්. ඉල්කාන්ත් කියන්නෙ මොංගෝලියානු අධිරාජ්‍ය නිර්මාණය කරන විශිෂ්ඨ ගෙන්ගිශ් කාන්ගෙ ඥාති පුත්‍රයෙක්. ( Grngish Khan 1162-1227)
ඉල්කාන්ත්ට අවශ්‍ය වෙනව මොංගෝලියානු කුමාරිකාවක් තමන්ගෙ බිරිඳ විදිහට.
මොංගෝලියානු ප්‍රභූ පවුලේ කුමාරිකාවක් ආරක්ශාව සහිතව පර්සියාව රැගෙන යාම ලේසි පහසු වැඩක් නෙවෙයි. මේ සඳහා පලපුරුදු කන්ඩායම් හොයන්න කුබ්ලායි කාන් නියෝග කරනව.
මේ තමන්ගෙ අවස්ථාව බව දැන ගන්න වැනීස් ගවේශක කන්ඩායම ඉදිරිපත්වෙනව කුමාරිකාව සහ පිරිස සහිත නෞකා ප්‍රවේශමෙන් පර්සියාව දක්වා රැගෙන යාමට. මේ වනතෙක් තමන්ගෙ පාලන ප්‍රදේශයෙන් පිටතට යාමට මේ පිරිසට අවසර ලැබිලා නැති බව අපිට මතකයි.
කුබ්ලායි කාන් විසින් මෆෙයෝ… මාර්කෝ හා නිකොලෝ තුන්දෙනාට කන්ඩායමක් නිර්මාණය කරන්න අවසර දෙන්නෙ මේ අය නැවත පැමිණේවියැයි අපෙක්ශාවෙන්.
මේ තුන්දෙනාට සමාන අත්දැකීම් ඇති කිසිවෙක් මේ වනවිට මොංගෝලියානු අධිරාජ්‍ය තුල නැහැ.
දකුණු චීනයෙන් නැව් නගින මේ පිරිස මලක්කා සමුද්‍ර සංධිය හරහා සුමාත්‍රා දූපතට යාත්‍රා කරනව.
අධික මෝසම් වැස්සෙන් හා කුණාටු වලින් ආරක්ශා වීමට සුමාත්‍රා දූපතේ මාස කීපයක් ගත කරන්න මේ ගවේශක කන්ඩායමට සිද්ධ වෙනව. දල සහිත ඇතුන් දකින මාර්කෝ තමන්ගෙ සටහන්වල සටහන් කරන්නෙ යුනිකෝන් සතුන්ගේ විශේෂයක් විය හැකිද යන ප්‍රශ්නාර්තයක් එක්ක.
සුමාත්‍රා දූපතෙන් පිටත්වෙලා ඉන්දියානු සාගරයේ කුඩා දූපතක මේ පිරිස කෙටි කාලයක් විවේක ගන්නව.
තැප්‍රොබේන් හා සිලෝන් ලෙස පසු කලක හැදින්වෙන මේ දූපත මාර්කෝ නම් තරුණ ගවේශකායාගේ පුදුමයට හේතුවෙනව.
පසුකාලීනව ලියා පලකරන ලද පොතේ මාර්කෝ සඳහන් කරන්නෙ ප්‍රමාණයත් පිහිටීමත් පුදුමාකාරයි… ජීවිත කාලය තුල මා දුටු සුන්දරම දූපත මෙය විය යුතුයි යනුවෙන්.
වර්ථමානයේ මේ දූපත හදුන්වන්නෙ ශ්‍රී ලංකාව විදිහට.
එතනින් පිටත්වෙන මේ කන්ඩායම බටහිර ඉන්දියානු සාගරය හරහා පර්සියානු මුහුදේ හෝර්මුස් දූපතටත් එතනින් පර්සියාවටත් ලඟා වෙනව.
හෝර්මුස් දූපත පර්සියානු ගල්ෆ් කලාපයේ පිහිටන වැදගත් නාවික මාර්ගයක්.
පර්සියානු පාලකයාට අවශ්‍ය පිරිස ප්‍රවේශමෙන් බාර දුන්නට පස්සෙ මේ වැනීසියානු ගවේශකයන් තුන්දෙනාට අවසර ලැබෙනව පර්සියාවෙන් පිටවෙන්න.
තුර්කිය හරහා නැවතත් වැනීසියට ලඟාවෙන මේ අයව පිලිගන්න කිසි කෙනෙක් සූදානම් නෑ.
මේ අය වැනීසියෙන් පිටවෙලා ගිහින් අවුරුදු 24 කට ආසන්නයි. ඉතාලි භාශාව නිවැරදිව ලියන්න කතා කරන්න මේ අයට පුළුවන් කමක් නෑ. අවුරුදු 24කට කලින් වැනිස් නැවකින් ආක්ර නගරයට 600ට ආසන්න පිරිසක් පිටත්වූ බව වැනිස් ලේඛනවල සඳහන් වෙනවා. ඒ අයගෙන් වැඩිපිරිස කුරුස යුද්ධයට බිලිවෙද්දි කාන්බාලික් නගරයට ලඟා වෙන්නෙ දහ දෙනෙකුගේ පමණ පිරිසක් විතරයි.
එයිනුත් වැනීසියට පෙරලා එන්නෙ තුන් දෙනයි.
මෆෙයෝ හා නිකොලෝට නැවත සැරයක් තමන්ගෙ ඥාතීන් හා මිතුරන් අතර පිලිගැනීමක් ඇති වුනත් මාර්කෝට මේ සඳහා තවත් කාලයක් බලන් ඉන්න සිද්ධ වෙනව.
ජෙනෝවා හා වැනීස් රාජධානි අතරෙ යුද්ධය පටන් ගන්න මේ කාලයේදී මාර්කෝ සොල්දාදුවෙක් විදිහට ජෙනෝවා හමුදාවට එරෙහිව සටන් කරන්න නැව් නගිනව.
මාර්කෝ ජෙනෝවා රාජධානියේ හිරකරුවෙක් බවට පත්වෙන්නෙ වැනීස් සේනාව පරාජයට පත්වීමත් එක්කයි.
ජෙනෝවා හිර කදවුරේදී මාර්කෝට මුනගැහෙනව පීසාහි රුස්ටිචෙලෝ නම් ලේඛකයෙක්. පීසා නගරයේ දක්ශ ලේඛකයෙක් වූ රුස්ටිචෙලෝ පොත් හා ලේඛන ගණනාවක් පලකල දක්ශයෙක්. ( Rustichello da Pisa)
හිර කඳවුරේදී මාර්කෝ තමන්ගෙ මිත්‍රයාට කියනව වසර ගනණාවක් තිස්සෙ තමන් කරපු සංචාරය හා ගවේශණය ගැන.
රුස්ටිචෙලෝ විසින් මේ විස්තර ලියනව තමන්ගෙ ලේඛණ හැකියාවත් මාර්කෝගෙ අත්දැකීමුත් එකතු කරල.
මේ දෙන්නා එකතුවෙන් ප්‍රංශ හා ඉතාලි භාශාවලින් ලියන මේ පොත හෝ ලිපි ගොනුව හඳුන්වන්නෙ ඉල් මිලියොනේ නමින්.
අවුරුදු දෙකකට ආසන්න කාලයක් හිරගතවෙලා ඉන්න මාර්කෝ නිදහස ලබන්නෙ ඉල් මිලියෝනේ නැමැති පොතත් එක්ක.
මේ පොතේ සඳහන් විස්තර පුදුමාකාරයි.
ආසියානු කුළු බඩු… ආහාර පුරුදු… අලි ඇතුන්… කාන්තාර… සංස්කෘතීන්… තමන් දුටු ලස්සනම දූපත … නමක් නොදන්නා කදුකර බැටළුවන් ආදී විස්තර යුරෝපීයයන්ට අලුත් දේවල්. ආසියානු ආහාර හා කූළුබඩු ගැන දැනගන්නා වෙනීස් … ස්පාඥ්ඥ හා පෘතුගීසි වෙළඳන් ආසියාව ගවේශණය කරන්න පිටත් වෙන්න තීරණය කරනව.
ක්‍රිස්ටොපර් කලම්බස් තමන්ගෙ චාරිකා අතරතුර වෙනම ලේඛනයක් පවත්වාගන්න තීරණය කරන්නෙ ඉල් මිලියොන් පොත නිසා බව පසු කාලීනව සඳහන් කරනව.
මේ පොත වර්ණනාවට වගේම විවේචනයන්ටත් බදුන් වෙනව.
සමහරෙක් අදත් තර්ක කරනව මාර්කෝ කොන්සතන්තිනෝපල් නගරයෙන් මදක් ඈතට සංචාරය කලත් මොංගෝලියානු අධිරාජ්‍ය හරහා ගමන් නොකල බවට.
තේ, චීන මහා ප්‍රාකාරය, චීන කාන්තාවන්ගේ කුඩා පාද හා සපත්තු, චොප්ස්ටික් වැනි ඉතාම වටිනා කරුණු මාර්කෝගේ පොතේ ඇතුලත් නොවුනේ මක්නිසාද කියල විචාරකයන් ප්‍රශ්ණ කරනව.
ඉල් මිලියෝනෙ පොත පසුකාලීනව ඉංග්‍රීසි භාශාවට පරිවර්තනය වෙනව The Travel of Marco Polo විදිහට.
මාර්කෝ පෝලෝ පසු කාලීනව සඳහන් කරන්නෙ මා දුටු දෙයින් අඩක්වත් මේ පොතට ඇතුලත්ව නැහැ.
ඒ තරම් විස්තර ගොඩක් එක පොතකට ඇතුලත් කරන්නේ කෙසේදැයි මට වැටහෙන්නේ නෑ යනුවෙන්.
කොයිතරම් විවේචන තිබුනත් මාර්කෝ පෝලෝ මෙන්ම නිකොලෝ පෝලෝ හා මෆෙයෝ පෝලෝද විශිෂ්ඨ ගවේශකයන් ලෙස වැනීස් ජනයා අදටත් පිලිගන්නව.
1324 ජනවාරි 8 වෙනිදා…. ඒ කියන්නෙ අදින් හරියටම වසට 700කට කලින් මාර්කෝ පෝලෝ ජීවිතයෙන් සමුගන්නෙ විශිෂ්ඨ ගවේශකයෙක් විදිහට.
කශ්ගාර් කඳුකරයේ එළුවන් අදත් හඳුන්වන්නෙ මාර්කෝ පෝලෝ ශීප් විදිහට.
( අද උදෑසන මගේ ඉතාලි මිත්‍රයෙක් කතා කරල අහනව මාර්කෝ පෝලෝ මියගිහින් අදට අවුරුදු 700ක්. ඒ ගැන යමක් නොලිව්වොත් හරි නෑ නේද… මගෙ මුතුන් මිත්තො පැවතෙන්නෙත් වැනීසියෙන් … අන්න ඒ ඇමතුම නිසා කෙටි සටහනක් නොලියා ඉන්න බැරිවෙනව)