රෝහණ පොතුලියද්ද තම දෙවන කවි පොත සහෘදගත කරන්නෙ පළමු පොතෙන් එකළොස් වසරක ඇවෑමෙන්. තරමක් දීර්ඝ විරාමයක් වුව ද ඒ කාලය පුරා ඔහු ‘නිකන්’ සිට නැති බව කියන්නට ‘ඒක ඓන්ද්‍රීයජාලික ඉසව්වක්’ කවි හොඳට ම ප්‍රමාණවත්. විශේෂයෙන් ම අපේ පැවැත්මේ සාරය ප්‍රශ්න කරන කවියක් ලියන්නට ඔහු ඒ කාලය පුරා කාව්‍යකල්පනයක යෙදී ඇති බව මේ කවි හඬගා කියනව.
ජීවිතය, ජීවිතය ලෙසින් ගෙවන්නට නොහැකි වීම තරම් ඛේදයක් මනුෂ්‍යයින් අරභයා තවත් තිබිය නොහැකියි. ජීවිතයට නෛසර්ගික ව සම්බන්ධ නොවන දේවල් ජීවිතයේ මහා හඹායාම් බවට උත්කර්ෂණය කර ඇති ලෝකය, පොතුලියද්දගේ කවිය රිදවනව (hurt the poem).
එදා සිට පාළොස් වසක් ඇදන් ගියා අපි ජීවිතය
අපේ පයටමයි පෑගුණේ ඒ සාද කතා හැන්දෑව
එළ එළා දුන්නට දිගට හරහට හතර අතටම
අධිවේග උඹ තියා මට මාවවත් හමු වුණේ නෑ මිතුර
(අපිට කොහෙ හරි වැරදුණා බං)
සෙලෝලයිඩ් පටි නෙමේ දරුවනේ මේ
එහෙමයි තටු කැපුවෙ ඇවිත් කපන මණ්ඩලේ
තැබුවෝය බරසාර කරඬුව කර පිටේ
මාලිගාවේ ඇතා වගෙයි අපි දුර ගියේ
(නෑ… නෑ… ඒ අපි නෙමෙයි)
මිනිසුන් උපදින්නෙම ඒ වන විටත් නිර්මිත ලෝකයක් ඇතුළට. ඒ ලෝකය හුදෙක් භෞතික වශයෙන් පමණක් නොව සංකල්පීයව ද නිර්මිත බව අපට අමතක වෙලා තියෙන්නෙ… ඒ නිසා මේ නිර්මිතය ස්වාභාවිකයි කියල මිනිස්සු හිතනව. ලස්සන වගේ සාපේක්ෂ දේවල් පවා ඒ ස්වාභාවිකකරණය ඇතුළෙ නිර්මිත ගල්ගැසුණු සංකල්ප බවට පත් කරල තියනව. මේ, ඒ නිර්මිත සංකල්ප ලෝකයට ගොඩවෙන්න දඟලන ජීවිතවල කවිය…
ඔහොම ඉන්න කොටයි ඇය කිව්වෙ
සැලෝන් එකක් දමා ඇති වග
“පාට ඩිංගක් මාත් ගාගන්නද
තැනක් නෑ මේ ලෝකෙ කළුවරට”
මධ්‍යම පාන්තික සිහින රාජ්‍යය නමැති ඒකාකෘතිය හඹායාම ඒකීය අරමුණ කරගත් ජීවිත ආතතිය පොතුලියද්දගේ කවියකින් පිටාර ගලන්නෙ මේ විදිහට….
මහගෙයක් නොවේ ඒ
පරම්පරාවේ දුම් හපුට නගන
ඉතාලි තාලෙට නැගුණී
බැංකුවක අතහිත ලැබුණී
ඉහළ ඇන්ටෙනා දීසියකි – විශ්වයට ඇහැ තියන
පහළ ඉන්දියන් කාරයකි – ස්කූටියක් ළඟ නිදන
උයන සින්න ය චීන සෙල්ලම් බඩුවලට
‘බුදුසරණ’ බැනරයකි තවම එල්ලී තියන
(නිවසක් තිබේ අරුම)
මිනිස්සුන්ට තමන්ගෙ ජීවිතය සම්මුඛ වන නිමේශය කොතැන කොයි මොහොතක ද කියල නිශ්චිත ව කියන්න බැරි එක ලෝක ස්වභාවයකක්. මේ අහඹුවෙහි නියතතාව තමයි මිනිස් ජීවිතය වෛවර්ණ කරල තියෙන්නෙ. ඒත් එවන් අහඹු වෛවර්ණ සම්මුඛ වීම් ඒ හැටියෙන් විඳගන්න මේ ව්‍යුහ ලෝකය එච්චර ලේසියෙන් ඉඩ දෙන්නෙ නෑ. හැමෝටම භූමිකා තියනව. භූමිකාවක් කියන්නෙම රංගනයක්… මේ භූමිකා අතර බරපතළ ම භූමිකාව තමයි ‘හොඳ ළමයා’ භූමිකාව. පාසල් ශ්‍රමදානයකට පැමිණෙන මාපියන් දෙදෙනෙකු අතරේ පිපී පරවෙන එවන් ජීවිතාශා මොහොතක් ඇසුරේ පොතුලියැද්ද අපව විශාල ජීවිත – සමාජ කියවීමකට ගෙනියන්නෙ මේ විදිහට.
අවසාන සීනුවත් නාදවෙයි ගොම්මන් අඳුරත් අරන්
ගෙදර වැඩ නම් එපා තව මොකුත් නිඳි බිඳිනා මහ රැයෙත්
වැරදි පිටුවක තිබී අහුලගත් ශෝකී කවියත් අරන්
ආපු විදිහට හැරී යමු අපි ඉතින් හොඳ ළමයි අපි තවත්
(පාසලක ප්‍රේමයක්)
‘ඒක ඓන්ද්‍රජාලික ඉසව්වක්’ ඇතුළෙ පොතුලියැද්ද ඉන්ද්‍රජාලික කවියක් ලියල තියනව. ඒ අර magical realism කියන අරථයෙන් නෙමෙයි. එක්තරා ආකාරකට මේ ග්‍රන්ථ නාමයම උත්ප්‍රාසයක්. අපිට අද ඉන්ද්‍රජාලයක් වෙලා තියෙන්නෙ මනුෂ්‍යයා මනුෂ්‍යයෙකු වීම නිසාම විඳිය යුතු නෛසර්ගික දේවල්. පොතුලියැද්ද කරන්නෙ ඒ ඉන්ද්‍රජාලය කවි ඇඟිල්ලෙන් ඇනලා පෙන්නන එක…
ළහිරු කරුණාරත්න
January 25, 2022 ‘අයිතිය’ (aithiya.lk)