වසර කිහිපයක් තිස්සේ කාව්‍යකරණයේ සහ පරිවර්තනයේ යෙදී සිටි ඉන්දික ගුණවර්ධනගේ ප්‍රථම ස්වතන්ත්‍ර නවකතාව “සුළි මැද පිපි තඹර” මාස කිහිපයකට පූර්වයෙන් ප්‍රකාශයට පත් විය. ඒඩ්ස් පවා සුළඟින් බෝ වෙතැයි විශ්වාස කරන මිනිසුන් සිටින රටක ගැහැනියකට විදෙස් මිතුරියකගෙන් තිළිණයක් ලෙස ලැබෙන කෘත්‍රිම පුරුෂ ලිංගයක් නිසා හට ගන්නා සංකේතීය ඝට්ටනයන් හා එහි ඛේදවාචක අන්තය වටා නවකතාව දිවෙයි.
හදිසියේ හමු වූ නෙළුම් නමැති මිතුරිය විසින් හෙළි කරන ලද ඇගේ ජීවිත කතාව ඔස්සේ, සංස්කෘතියේ අනුභාවයෙන් සිරගත ලාංකේය ස්ත්‍රියගේ පීඩිත නීරස ජීවිතය ලින්ඩා නම් ජර්මානු කාන්තාව වටහා ගනියි. ඔවුන් සමුගන්නා අවස්ථාවේ දී මතක සටහනක් ලෙස ලින්ඩා දෙන තිළිණය නෙළුම් විවර කර බලන්නේ යළි සිය රට පැමිණි පසු ය. ඇගේ පහළ මධ්‍යම පන්තික අතෘප්තිමත් ජීවිතයට “මනුස්ස තෑග්ගක්” වශයෙන් ලින්ඩා දී ඇති තිළිණය දකින නෙළුම් ස්වකීය කුටුම්බයට බියෙන් ත්‍රස්ත වන්නී ය. එක් පසෙකින් ප්‍රජනන පාඩම මඟ හරින සෞඛ්‍ය ගුරුවරුන් සිටින, අනෙක් පසින් දරුපල ලැබීමට ශිව ලිංගය වඳින පුදන සමාජයකට ලිංගික අධ්‍යාපනය අහිමි ය. නෙළුම්ගේ ස්ත්‍රීත්වයේ තැති ගැන්ම ලාංකේය සංස්කෘතියේ ලිංගික භීතිකාවේ නියෝජනයකි. ලේඛකයා කෘත්‍රිම පුරුෂ ලිංගය ආශාවේත් භීතිකාවේත් සංකේතීය වස්තුව බවට පත් කරයි.
“දරුණු සතෙක් අල්ලා කූඩු කරන තරම් හදිස්සියකින් ඈ එය නැවතත් පෙට්ටියට දමා වැහුවේ අප්පිරියාවෙන් මෙන් යාන්තම් ඇඟිලිවලින් පෙට්ටිය තුළට එය තල්ලු කරමින්.”
බුද්ධිය විසින් තීව්‍ර කරන ලද පිළිකුල සහ බියට අවනත ව නෙළුම් ලින්ඩාගේ ත්‍යාගය අල්මාරියේ රෙදි ගොඩ අස්සේ සඟවා තබයි. වික්‍රමසිංහගේ ගම්පෙරළියේ නන්දා ද පියල් දුන් ලියුම කියවා අල්මාරිය අස්සට “විසි කළා” ය. දීර්ඝ කාලයක් තිස්සේ ලාංකේය ගැහැනිය ස්වකීය ආශාව ම භීතිකාවක් කොට අල්මාරිය අස්සේ සඟවා රහසේ සුරක්ෂිත කරමින් සිටින්නී ය. රහසිගත උද්‍යෝගය අල්මාරිය අස්සට විසි කර හැඟීම් යටපත් කිරීමේ බුද්ධිවාදී පියවර විසින් හෙළි කෙරෙන්නේ, නැවත නැවත එය විඳ ගැනීමේ අවිඥානික ආශාව ම ය.
නිවසේ පැවැත්වෙන ප්‍රදර්ශනාත්මක සාදය මැද්දට කෘත්‍රිම පුරුෂ ලිංගය අතැති ව නෙළුම්ගේ දරුවා ආකස්මික ව ප්‍රාදූර්භූත වූ විට එතෙක් ඔවුන් ව්‍යාජ ලෙස නඩත්තු කළ ඊනියා මධ්‍යම පන්තික ලෝකය පුපුරා යන්නේ ය. පුරුෂ ලිංගය කුඩා දරුවාට මැජික් එකක් නො වේ. ඔහුට සිය අලුත් සෙල්ලම් බඩුව ප්‍රසිද්ධියේ ප්‍රකාශයට පත් කිරීමට අවැසි ය. එහෙත් වැඩිහිටි විඥානයේ ප්‍රකාශනයට අනුව මේ වස්තුව සිංහල බෞද්ධකමට, දේශීය සංස්කෘතියට, ජාතික අනන්‍යතාවට, වසර දෙදාස් පන්සීයක සභ්‍යත්වයට හානි කරන පිළිකුල් සහගත භයානක අවියකි. ගැහැනු පිරිමි දෙපිරිස ම ගෝත්‍රික සංස්කෘතියේ පරිණාමීය සත්තු වෙති. විසි එක් වන සියවසේ දීත් ලිබරල්වාදී ගැහැනුන්ට එරෙහි ව ගැහැනුන් ම කැරලි ගසන වහල් විඥානයක් සහිත සමාජ අවකාශයක අපි දූපත්වාසීහු වෙමු. එවැනි සමාජයක ලිබරල්වාදී වීමේ උත්ප්‍රාසාත්මක ආදිනව එකින් එක ලිහා පෙන්වීමට “සුළි මැද පිපි තඹර” සමත් ය.
“ආසාව තිවුණට ආසාවට ඉඩ දෙන්න බැරි, ආදරේ දැනුණට ආදරේ ප්‍රකාශ කරන්න බැරි, නිදහස තිබුණට නිදහස විඳගන්න බැරි ජීවිතේ ගැන ඈට අපුලක් දැනෙන්න ගත්තා.”
දහවල් කාලයේ විවිධ වෙස් ගෙන සිටින්නා වූ ගැහැනුන් සහ පිරිමින් රාත්‍රී අඳුරත් සමග හුදෙකලා වූ විට ජාගර සිත් අවදි කර ගන්නා බව වික්‍රමසිංහ ලියා තබන්නේ දිගු කලකට පූර්වයෙනි. නෙළුම්ගේ සැමියා, ඇගේ රැඩිකල් සරසවි ප්‍රේමය හෙවත් සංස්කෘතික අමාත්‍යාංශයේ අතිරේක ලේකම්, ඔහුගේ මාමණ්ඩිය වන මැණික් ව්‍යාපාරිකයා, නිතර දළදා මාලිගාව වඳින නුවර ජීවත් වන්නිය යනාදි චරිත සියල්ල ම ජාගර සිත් නිදි කරවා මතුපිටින් මැද පන්තියේ අභිමානය රකිති. පරමාදර්ශී යැයි බැලුබැල්මට පෙනෙන ප්‍රදර්ශනකාමී “ලස්සන” ජීවිත කණපිට ගැසූ විට ගඳ ගහන කුණු ගොඩවල් හමු වන ආකාරය නවකතාවේ බහුල සංසිද්ධීන් ය. සිංහල සාහිත්‍යයේ, පහළ මැද පන්තික ජීවිතයේ ව්‍යාජ ප්‍රතිරූප නඩත්තුව සහ මතුපිටින් අලංකාර කරන ලද හිස්කම පිළිබඳ යථාර්ථය ඇතුළත් නිර්මාණ සුලබ ය. ගම්පෙරළියේ පටන් යශෝරාවය ආදි නවකතා රාශියකට ප්‍රස්තුත වූ පසුබිමක් “සුළි මැද පිපි තඹර”හි ද දක්නා හැකි ය. එය නවකතාව ඔස්සේ විචිත්‍ර සංස්කෘතික කියැවීමකට තිබූ අවකාශය අහුරා දැමීමකි.
සංස්කෘතික අමාත්‍යංශයේ අතිරේක ලේකම් බවට පත් වන වරුණ හෙවත් නෙළුම්ගේ පළමු පෙම්වතා විශ්වවිද්‍යාල සමයේ වමේ ශිෂ්‍ය නායකයෙකි. ප්‍රගතිශීලී යැයි පෙනෙන ‘කොලිටි’ ශිෂ්‍ය නායකයෙකුට රැවටෙන සුලබ සරසවි ශිෂ්‍යාවක වශයෙන් නෙළුම් ඔහුට ආසක්ත වන්නී ය. සමාජවාදී අරගලයක් ගැන කියවමින් විශ්වවිද්‍යාලයේ දී ඊනියා දේශපාලනයක යෙදෙන ඔහු සරසවි ජීවිතයෙන් ඉක්බිති පවතින ආණ්ඩුවට හේත්තු වී සංස්කෘතික අතිරේක ලේකම් වීම සහ මැණික් ව්‍යාපාරිකයෙකුගේ දියණියක හා විවාහ වීම දක්වා විතැන් වීම, සමස්ත ලාංකේය විශ්වවිද්‍යාල ශිෂ්‍ය දේශපාලනයේ යථාර්ථයයි. මාක්ස්වාදය හෝ ලිබරල්වාදය ගැන න්‍යායන් කිසිත් නො දන්නා සමාජ අද්දැකීමෙන් පමණක් ජීවිතය වටහා ගන්නා සාමාන්‍ය මිනිසා පවා ලාංකේය සරසවි ශිෂ්‍යයාට වඩා සවිඥානික ය. වරුණ පසුකාලීන ව නැවත හමු වන නෙළුම් සමග තානායමකට යෑමත්, ඊනියා පන්ති සටන පාවා දී අමාතා්‍යංශ ලේකම්වරයෙකු වීමත් අතීතයේ නඩත්තු කළ ව්‍යාජ කොලිටියේ රෙද්ද ගැලවී වැටීමකි.
සිය ප්‍රතිරූපය සහ ආත්මාභිමානය වඩවා ගන්නට නෙළුම්ගේ ජීවිත සිහින බිල්ලට ගන්නා ඇගේ පියා නිහඬ ඒකාධිපතියෙකි. ඔහුගේ ජීවිත කාලය තුළ උද්ගත වූ, සිහින සැබෑ කර ගැනීමේ නො හැකියාවන් නිසා එකී සියලු “ඇරියස්” ඇගෙන් පියවා ගැනීමට තතනන ඔහු නෙළුම්ට තනි ව තීරණයක් ගැනීමට කිසි දා ඉඩ නො දේ. මැස්ස ගසා දෙන අතකට ඇදෙන්නට නියමිත මෑ වැලක් සේ හෝ නත්තල් දා මරන්නට ඇති දැඩි කරන ඊරියක සේ ඇයට තමා පෙනෙන්නේ එහෙයිනි. පවුලේ තනි දරුවා ලෙස පියාගේ සිත නො රිද්දීමේ පරම වගකීම හිසට පැටවුණු හෙයින් සිය පෞද්ගලික අභිප්‍රායන් වෙනුවෙන් මාපියන්ට එරෙහි ව කැරලි නො ගැසීමේ ස්වයං වාරණයක් ඇය ම පනවා ගෙන සිටින්නී ය. වැඩවසම් පීතෲත්ව අධිකාරියේ වහලියක සේ ජීවත් වන තරුණියක ස්වකීය ජීවිතයේ පළමු ස්වාධීන තීරණය ගන්නා අවස්ථාවේ දී ම ගොදුරක් වීමට ඉඩ තිබේ. චුල්ල ධනුද්ධර ජාතකයේ කුමරියගේ සිට මනමේ බිසව හරහා වර්තමාන තරුණිය තෙක් එසේ නො කඩවා බලපෑම් කරන්නේ සංවෘත ගෘහයේ පීඩනය ය. පවුලේ ආධිපත්‍යය නිසා නිසි කල සපුරා ගත නො හැකි ව කල් ඉකුත් වූ සිහින, සංස්කෘතික බැමි කඩා බිඳ දමමින් පසු කාලයේ දී යළි සම්මුඛ වූ විට ජීවිතය අවුල් කර දමන ආකාරය නෙළුම් ජීවිත අද්දැකීමක් කොට ගනියි.
“කොහේ ගියාම මොකෝ? මේ දරුවා අපේ පවුල්වලින් රට යන පළවෙනියා වෙච්චි. ඉතින් ඒක ම මදි ද? ඈ කිව්වෙ ගමන යුරෝපයට නො වන බැව් දැන ගැනීමෙන් තරමක් හෝ අභිමානය බිඳුණු පියාගේ හිත හැදෙන්න.”
සාම්ප්‍රදායික කුටුම්බ ආකෘතියේ සිර වූ ගතානුගතික සමාජ පුරුකක් වන නෙළුම් ප්‍රථම වරට දරුණු සංස්කෘතික ඝට්ටනයකට ලක් වන්නේ විදෙස් සංචාරයක නිරත වීමත් සමගිනි. විදෙස් සමාජයකට අවශෝෂණය වී විවෘත වීමෙන් හට ගන්නා මෙකී ඝට්ටනය පහළ මධ්‍යම පන්තියට මිස ඉහළ පන්තියට කිසිදා නො දැනෙන්නේ ඔවුන් ශිෂ්ට සම්පන්න වන්නේ පතපොත කියවා අමුතුවෙන් ඔළුව හදා ගැනීමෙන් නො ව, ජීවන රටාවෙන් බැවිනි. සංස්කෘතිය ම ඔවුන්ගේ දේශපාලන කියැවීමකි. අටපහ රැකියාවට යනඑන, රෑට සියලු ටෙලිනාට්‍ය නරඹන පහළ මැද පන්තියේ නීරස ජීවිතවල ආරෝපිත සතුට සැබෑ සතුට නො වන බව නෙළුම්ට අවබෝධ වන්නේ මෙකී සංචාරයෙනි. සතුට යනු නිදහස ය. ලංකාවේ නිදහස පිළිබඳ කියැවීම ම වරද්දා ගත් එකකි. ලිබරල් ගැහැනියකැයි පෙනී සිටීමට කෙතරම් උත්සාහ කළ ද, කුමක් කරන්නට ගියත් දූපත් මානසික ගෝත්‍රිකකම සියල්ල පරයා පෙරට එනු නෙළුම්ට වැලැක්විය නො හැකි ය. සතුට ඇති තැන නිරායාසයෙන් ම හදවත නැවතුණ ද, බුද්ධිය කෑගසා සංස්කෘතික කඩතුරා මතක් කොට ඈ සතුටෙන් මුදවා නැවත ඒකාකාරී ජීවිතයට ඇද දමන සිදුවීම් නවකතාව පුරා විසිර ඇත. ඈ අයිති පන්තියට මුහුණ දීමට සිදු වන මෙකී අනිවාර්ය සංස්කෘතික ඝට්ටනය ම නිරන්තර ව ඈ වේදනාවට පත් කරයි.
“ඇගේ මතකෙට එක වර ම ආවේ විශ්වවිද්‍යාලේ යන කාලෙ වරුණගේ වුවමනාවට ලෝක සිනමා උළෙලක දී බැලූ චිත්‍රපටයක්. එහි නම හෝ රඟපාන නළු නිළියන් ඇගේ මතකයේ නැති වුණත්, ජීවිතෙන් වැඩි කාලයක් හිරේ ගත කළ මිනිහෙක් ඔහුගේ මහලු කාලයේ දී නිදහස් කරාම, හිරගෙයි බිත්තිවලින් පිටත නිදහස් ලෝකය ඔහුට හිරගෙයක් වෙන හැටිත්, අවසානයේ එළියේ දැනෙන නුහුරු නිදහස දරාගන්නට බැරුව සියදිවි නසා ගන්නා හැටිත් එහි තිබුණු බව ඇයට මතක් වුණා.”
සදාචාරවාදී විඥානයේ රෙද්ද පල්ලෙන් බේරෙන නරිවාදම සියුම් ව පුපුරවා හරින්නේ නෙළුම්ගේ සැමියා ජයතිස්සට හමු වන ගණිකාව වන රෝසි නොහොත් මංගලී ය. ජයතිස්ස ඇගේ ජීවිත කතාව ඇසූ විට ඈ ඔහුට රස කර පවසන්නේ සම්පූර්ණ ප්‍රබන්ධයකි.
“සර්ට නිකමටවත් හිතිලා නැද්ද, ගොඩක් නවකතාවල ඔය සර්ලා වගේ හරි ඊටත් වඩා තරුණ, ලස්සන කරුණාවන්ත මහත්තයෙකුට හම්බ වෙන ලස්සන තරුණ ගණිකාවියෝ ඔක්කොටම එක වගේම දුක හිතෙන කතාවල් තියෙන්නෙ කොහොමද කියලා? හැමෝම අනුරාධපුරෙන් හරි වෙන දුර පළාත්වලින් ආපු අන්ත අසරණියෝ. ගෙදර අගහිඟකම් හින්දා, කරන්නම දෙයක් නැතිකමට කොළඹ ඇවිත්, මෙහෙ ඉන්න කපටි පිරිමින්ගෙන් සල්ලං වෙලා, බඩ වෙලා… මේ වගේ කතා.”
“මං දැන් සර්ට කිව්වෙත් මම මේ ළඟදි දවසක කියවපු පොතක තිබිච්ච කතාවක්. පුදුමෙ කියන්නේ මං කියවපු එකම පොතකවත් ගණිකා වෘත්තියට කැමැත්තෙන් ආපු කෙල්ලෙක් හරි ගෑනියෙක් හරි මට ජීවිතේට මුණ නො ගැහිච්ච එක.”
“මගේ කතාව ඔච්චර ලස්සන නෑ සර්. කවුරුවත් කැමති නෑ ඒ වගේ කතාවක් අහගෙන ඉඳල සල්ලි දෙන්න. මිනිස්සුන්ට ඕනෙ අනුන්ගෙ දුකෙන් පොඩි විනෝදයක් ගන්න. ඉතින් මං මොකටද එයාලගේ ආතල් කඩන්නේ මගේ ඇත්ත කතාව කියලා.”
අනේ පව් පන්නයේ “ලස්සන දුක හිතෙන” කතාවක් අසා, “අපි ඊට වඩා කොච්චර හොඳට ඉන්නව දැයි” සිතමින් සදාචාරවාදියෙකු ලබන අවිඥානික සංතෘප්තිය සහ ගුප්ත සැනසීම පිළිබඳව ඇය ජයතිස්සගේ හිස මතට අත හරින බෝම්බයෙන් නවකතා ප්‍රබන්ධය මතු නො ව නවකතා විචාරය ද පුපුරවා හැරේ. පාඨකයා එය කියවා ලබන විනෝදයත්, විචාරකයා ඒ ගැන විචාරයක් ලියා ලබන තෘප්තියත් රෝසි පවසන ආතල් එකේ ම කොටස් ය.