මොහාන් රාජ් මඩවලගේ ‘මන්දෝදරී’

ආදරය නැමති සංකල්පයත් ආදරය පිළිබඳ හැඟීමත් ආදරයේ භාවිතයත් යථාර්ථවාදී රාමුවකින් පැහැදිලි කිරීම අතිශයින් ම දුෂ්කරය. එයට ෆැන්ටසිමය හෝ ඉන්ද්‍රජාලික ආකෘතියක සහාය අත්‍යවශ්‍ය වේ. මන්ද , යථාර්ථවාදී පැහැදිලි කිරීමකදී එය ව්‍යාජයක් වන හෙයිනි; ඇතැම්විට යථාර්ථයේදී එය වෛරයම වන බැවිනි . එහෙයින් ආදරයේ සාරය ස්ථානගත කිරීමට අපට ෆැන්ටසි අවකාශයක පිහිට පැතීමට සිදු වේ. ඒ අනුව , ආදරය යනු යථාර්ථය තුළ නොපවතින ෆැන්ටසිය තුළ පමණක් පවතින යමක් ද? මොහාන් රාජ් මඩවලගේ මන්දෝදරී ආදරයේ මෙකී උභතෝකෝටිකය සමඟ පොරබැදීමට පාඨකයාට අවකාශ සලසන නවකතාවකි.

මෙහි කතාපුවත ගොඩනැංවනුයේ පසුකාලීනව මන්දෝදරී බවට රූපාන්තරණය වන තරුෂි නම් චරිතය වටාය. ඇයගේ මව (ටානියා) සහ පියා (සුරංග) යන දෙදෙනාම සමරිසි ප්‍රේමයට ආශක්ත වූවෝ වෙති. එහෙයින් තරුෂි යනු අහඹු රමණයක අහඹු ඵලයකි. මෙම නවකතාවේ සැරිසරන චරිත සැවොම වයස , සමාජ පංතිය , ලිංගිකත්වය යනාදී කිසිදු භේදයකින් තොරව ආදරය හඹා යන්නෝ වෙති. එහෙත් මේ සැමට යථාර්ථයේදී ආදරය අහිමි වස්තුවකි. යථාර්ථයේදී ඔවුනට ආදරයේ වේශයෙන් හමුවන්නේ වෛරය, කාංසාව හෝ ඉච්ඡාභංගත්වය පමණි. එහෙත් එකිනෙකාගේ ෆැන්ටසි තුළ දී ඒ අහිමි වස්තුවට සමීප වීමට අවස්ථාව හිමි වේ. මෙම ආදර ෆැන්ටසි පවා සඳ එළිය මෙන් අචින්ත්‍ය ඒවා නොවේ. නවකතාවේ එන අර්ජුන , සුරංග, ටානියා, ඈන්, තරුෂි, සිරියලතා යනාදී කවරෙකුට හෝ යථාර්ථයේදී ආදරය නමින් මුණගැසෙනුයේ ව්‍යාජයකි. ඔව්හු සංකේතීය ලෝකයේදී මෙම ව්‍යාජය නඩත්තු කිරීමෙන් විනෝද වෙති. මහා සමාජය වෙත මෙම ව්‍යාජය මුදාහැරීමට මුහුණු පොතේ සරණ යති. ටානියා සහ තරුෂි⁣ හෙවත් මව සහ දියණියගේ චර්යාව ඊට නිදසුනකි. සැබෑ ජීවිතයේදී එකිනෙකාගේ මුහුණ පවා නොබලන, වදනක් හෝ නොදොඩන මොවුන් මුහුණු පොතේදී ලොව සිටින ආදරණීය ම මව සහ දියණිය වේ. ඉහළ මැද පංතිය මෙවන් ව්‍යාජයක් නඩත්තු කරන අතර සිරියාවතීලා වැනි පහළ සමාජ තීරුවලට අයත් වූවෝ ටෙලිනාට්‍ය හරහා ආදරය අර්ථ ගන්වා ගනිති. මේ කවර අර්ථ ගැන්වීමකදී වුවද පිරිමි සහ වෙළඳපොළ තර්කණයෙන් ගැලවීමට ස්ත්‍රිය අසමත් වේ.

ආදරයේ කතිකාව පොහොසත් කිරීමට සමත් අතුරු මාවත් ගණනාවක රිසි සේ සැරිසරමින් වල්මත් වීමට මන්දෝදරී පාඨකයාට ඉඩ සලසා දෙයි. සැබැවින්ම පාඨකයා මන්දෝදරී සංකීර්ණය තුළ ගිලී යයි. මොහාන්ගේම වචනවලින් කිවහොත් “ආදරය නැතිව ජීවත් වෙන්නෙ කොහොමද, මිනිහෙක් ඇත්තටම මැරෙන්නෙ ආදරය නැති වුනහමද, මිනිහෙක් ඇත්තටම ජීවත් කරවන්න පුළුවන් ආදරය ඇරුණහම වෛරයට පමණක් ද?”එ⁣හෙත් නවකතාව අවසන් වනවිට අපට දැනෙනුයේ මිනිසෙක් ජීවත් කරවන්නේ ආදරය ම නොව ආදරයේ ෆැන්ටසිය බවය.

මන්දෝදරී ආදරයේ වික්ටෝරියානු හෙළුව නිර්දය ලෙස පාඨකයාට නිරාවරණය කරයි. ආදරය සහ ලිංගික ෆැන්ටසිය අතර ඇත්තේ අවියෝජනීය බැඳීමකි. පූර්ව වික්ටෝරියානු සමයේ ආදරය සහ ලිංගික ආශාව අතර පැල්මක් නොවීය. එහිදී මිනිසාගේ ස්වාභාවික සරාගය අස්වාභාවික සදාචාරයෙන් වසා නොදැමිණි. වික්ටෝරියානු රාමුව තුළ “ගැහැණියකට විවාහ වෙන්න ලැජ්ජාව අමතක කරන්නම” වන්නේ එහෙයිනි.

ඔබටත් ආදරයේ ස්ත්‍රී ෆැන්ටසියට අභිමුඛ වන පිරිමි යථාර්ථය දැක ගැනීමට අවශ්‍ය නම් , නොපමාව මන්දෝදරී සංකීර්ණයට පිවිසෙන්න.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Share post:

Popular

සබැඳි
Related

කමිඳු මෙන්ඩිස් ගේ ද්විත්ව ශතකය සහ ශ්‍රී ලංකා ඉනිම අවසන් කිරීම

දෙවන ටෙස්ට් තරගය අවසන් වූවත්, කමිඳු මෙන්ඩිස් ගේ ද්විත්ව...

ස්තුතියි කුමුදු “කොළඹ මතක“ ලිව්වට

කෙනෙකු ස්වකීය ජීවිත මතකයන් ලියා තබන්නේ එය තවකෙකුට වැදගත්වේ...

ඩබ්ලියු ජයසිරි!!!

මා මුළින්ම ඩබ්ලියු ජයසිරි දුටුවේ, මට මතක විදිහට, 1986...

“සංස්කෘතික කොදෙව්වෙන් සොරාගත් ජීවිත X – ray කිරීම” – සාරි ඇඳපු පිරිමි

ලාංකේය නුතන නවකතාව තුළ හමුවන දුර්ලභ ගණයේ කතා වස්තුවකින්...