බලවතා බලවත්ම පුටුවට

ගෝලීය ක්‍රිකට් ක්‍රීඩාවේ බලවත්ම තනතුර වන, අයි.සී.සී සභාපතිවරයා ලෙස ඉන්දීය ක්‍රිකට් ලේකම් ජේ ෂා පත්ව තිබෙනවා.
විශේෂත්වය වන්නේ ජේ ෂා මෙම තනතුරට පත්වන්නේ නිලවරණයකින් තොරව, ඒකමතික ඡන්දයෙන් වීමයි.
සාමාන්‍යයෙන් මින්පෙර අයි.සී.සී සභාපතිවරයා තෝරා ගැනීමේදී කිහිපදෙනෙක් නිලවරණයට ඉදිරිපත් වූ අතර, වැඩිම සාමාජික රටවල් ප්‍රමාණයක ඡන්දය ලබාගන්නා පුද්ගලයා එහි සභාපතීත්වයට පත්විය.
අයි.සී.සී යෙහි ඡන්ද බලය හිමි සාමාජිකයන් 16 දෙනෙකු සිටියි.
ඉන් සාමාජිකයන් 15 දෙනෙකුම මෙවර සභාපතිවරයා ලෙස ජේ ෂා ට සහය පළ කර තිබුණි.
එය මෑත ඉතිහාසයේ සභාපතිවරයෙකු ලබා ගත් වැඩිම ඡන්ද ගණනයි.
ඒ අනුව නිලවරණයක් පැවැත්වීමේ කිසිදු අවශ්‍යතාවයක් තිබුණේ නැත.
ජේ ෂා ට සහාය ලබා නොදුන් සාමාජික රට, නිල වශයෙන් තවමත් හෙළිව නොමැති අතර බොහෝ දුරට ඒ පකිස්ථානය විය හැක.
එළඹෙන දෙසැම්බර් පළමුවැනිදා සිට ඔහුගේ ධූර කාලය ආරම්භ වේ.
36 හැවිරිදි ජේ ෂා අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සලයේ සභාපතිත්වය දරන ලාබාලතම පුද්ගලයා ද වනු ඇත.
කෙසේ වෙතත් නිල වශයෙන් අයි.සී.සී සභාපතිත්වය හොබවන්නේ පළමුවරට වුවත් බොහෝ කාලයක සිට අයි.සී.සී යෙහි වැදගත් සියලුම තීන්දු තීරණ ලබා ගත්තේ ජේ ෂා විසිනි.
බොහෝ කාලයක සිට ඉන්දියාවේ, ආසියාවේ සහ ලෝකයේ ක්‍රිකට් පාලකයා ලෙස කටයුතු කළේ ඔහුය.
ජේ ෂා ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ පාලකයා (ලේකම්) මෙන්ම ආසියානු ක්‍රිකට් කවුන්සලයේ සභාපතිවරයා ද වේ.
ඔහු ඉන්දියාවේ බලවත්ම අමාත්‍යවරයා වන අමිත් ෂා ගේ පුත්‍රයායි.
එරට කැබිනට් ව්‍යූහය අනුව අගමැතිවරයාගෙන් පසුව බලවත්ම අමාත්‍ය ධූරය වන ස්වදේශ කටයුතු අමාත්‍ය ධූරය දරන්නේ අමිත් ෂා විසිනි.
අමිත් ෂා යනු අගමැති නරේන්ද්‍ර මෝදි ගේ හිතවත්ම පුද්ගලයා සහ පාලක භාරතීය ජනතා පක්ෂයේ ඊළග නායකයා ද වේ.
එමෙන්ම ජේ ෂා පාලක භාරතීය ජනතා පක්ෂයේ තරුණ සංවිධානයේ ප්‍රබලයෙකු වන අතර, නරේන්ද්‍ර මෝදි බලයට පත් වූ පසු ක්‍රිකට් ක්‍රීඩාව හැසිරවීම භාර දුන්නේ සිය කළණ මිතුරාගේ පුත්‍රයා වූ ජේ ෂාටයි.
ලොව විශාලතම ක්‍රිකට් ක්‍රීඩා පිටිය මෝදි ගේ උපන් බිම වූ ගුජරාතයේ ඉදිකර, එය නරේන්ද්‍ර මෝදි ක්‍රිකට් ක්‍රීඩාංගණය ලෙස නම් කළේ ද ජේ ෂා විසිනි.
එමෙන්ම ඉන්දීය ප්‍රීමියර් ලීගයට අලුථෙන් එක් වූ ගුජ්රාත් ටයිටන්ස් කණ්ඩායමේ සැඟවුණු හිමිකාරීත්වය දරන්නේත් ෂා පවුල විසිනි.
බොහෝ විට ඊළග ඉන්දීය රජයක ක්‍රීඩා සහ යෞවන කටයුතු අමාත්‍යධූරය දරන පුද්ගලයා ලෙස භාරතීය ජනතා පක්ෂය විසින් හඳුනාගෙන තිබෙන්නේ අයි.සී.සී සභාපති ලෙස පත් වූ ජේ ෂා මයි.
ජේ ෂා ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලයේ සමීපතම මිතුරෙකු ලෙසද සැලකේ.
ඉදිරියේදීත් අයි.සී.සී ය සහ ගෝලීය ක්‍රිකට් ක්‍රීඩාව පාලනය කරනු ඇත්තේ ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ ප්‍රධානියා විසිනි.
ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ ප්‍රධානියා පත්කෙරෙනු ඇත්තේ ඉන්දීය රජයෙනි.
ඒ අනුව ඉදිරියේදීත් බලයට පැමිණෙන ඉන්දීය රජයන් අනුව ගෝලිය ක්‍රිකට් ක්‍රීඩාවේ බලවතා තීරණය වනු ඇත.
මින්පෙර ICC යේ සහ ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපතීත්වය දැරූ ඉන්දීය ජාතිකයෙකු වූයේ එන් ශ්‍රීනිවාසන් ය. ඔහු ද ඉන්දීය ප්‍රීමියර් ලීග කණ්ඩායමක හිමිකරුවෙකු වූ අතර, චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමේ හිමිකරුවා ඔහු විය.
ඉන්දීය දේශපාලනයේ බල කණුවක් වූ හිටපු තමිල්නාඩු මහඇමතිනි ජයලලිතා ජයරාම් ගේ සමීපතමයෙකු වූ ඔහු, එවකට ඉන්දීය කොංග්‍රස රජයේ ප්‍රබලයෙකු විය.
ක්‍රිකට් ක්‍රීඩාව ඉන්දීයකරණය වූයේ ඔහු ගෙන ආ බිග් ත්‍රී පනත සමගයි. කොංග්‍රස් පාලනය බිඳ වැටී භාරතීය ජනතා පක්ෂය බලයට පැමිණි පසු අයි.සී.සී යේ ඔහුගේ බලය අහෝසි විය.

 2024. 08. 28

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Share post:

Popular

සබැඳි
Related

කමිඳු මෙන්ඩිස් ගේ ද්විත්ව ශතකය සහ ශ්‍රී ලංකා ඉනිම අවසන් කිරීම

දෙවන ටෙස්ට් තරගය අවසන් වූවත්, කමිඳු මෙන්ඩිස් ගේ ද්විත්ව...

ස්තුතියි කුමුදු “කොළඹ මතක“ ලිව්වට

කෙනෙකු ස්වකීය ජීවිත මතකයන් ලියා තබන්නේ එය තවකෙකුට වැදගත්වේ...

ඩබ්ලියු ජයසිරි!!!

මා මුළින්ම ඩබ්ලියු ජයසිරි දුටුවේ, මට මතක විදිහට, 1986...

“සංස්කෘතික කොදෙව්වෙන් සොරාගත් ජීවිත X – ray කිරීම” – සාරි ඇඳපු පිරිමි

ලාංකේය නුතන නවකතාව තුළ හමුවන දුර්ලභ ගණයේ කතා වස්තුවකින්...