මා මුළින්ම ඩබ්ලියු ජයසිරි දුටුවේ, මට මතක විදිහට, 1986 දෙසැම්බර් මාසයේ 31වන දින කොළඹ විශ්වවිද්‍යාලයේ නව කලාගාර ශාලා වේදිකාව මත, සුගතපාල ද සිල්වා විසින් සිංහල භාෂාවෙන් නිෂ්පාදනය කරනු ලැබූ පීටර් වයිස් ගේ ‘මරා සාද්’ නාට්‍යය රඟ දක්වනු ලැබූ අවස්ථාවේ දීය. එම නාට්‍ය යේ ප්‍රධාන චරිත දෙක වූ මරා සහ සාද් අතර විටින් විට සිදු කෙරෙන දීර්ඝ සංවාද මා තුළ විශ්මයක් ජනිත කළේය. මරාගේ චරිතය රඟපෑ ජැක්සන් ඇන්තනි මා ඊට පෙර දැන සිටියෙමි. ඒ ඔහු ඒ වනවිටත් ප්‍රසිද්ධ චරිතයක් වී තිබූ බැවිනි. නමුත් මා සාද්ට රඟපෑ නළුවා කවුරුන්දැයි දැන සිටියේ නැත. ඔහුගේ නම ඩබ්. ජයසිරි බව මා දැනගත්තේ ඊට පසුවය.
ඉතිහාසය විශේෂ උපාධිය සඳහා සූදානම් වෙමින් සිටි උපාධි අපේක්ෂකයෙක් නිසාත් එවකටත් බෙහෙවින් ක්‍රියාකාරී ශිෂ්‍ය දේශපාලන ක්‍රියාකාරිකයෙක්ව සිටි නිසාත් මරා හා සාද් අතර කෙරුණු සංවාද සම්බන්ධයෙන් මට උනන්දුවක් ඇති විය. ඒවා මා තුළ විශාල බුද්ධිමය උත්තේජනයක් ඇති කළේය. එවකට 21 හැවිරිදි ලාබාල තරුණයෙක් වූ මට ඒ සංවාදවල ගැඹුරු අරුත් ඒ අවස්ථාවේ මුළුමනින්ම ග්‍රහණය නොවූ බව කිව යුතුය. නමුත් විප්ලවය සම්බන්ධයෙන් මාරා ඉදිරිපත්කළ බෙහෙවින් රොමෑන්තිකවාදී අදහස්වලට එරෙහිව සාද්ගෙන් පැමිණි කර්කෂ විවේචනය මා හට ආකර්ශණිය විය. මේවන විය මා අයත් ශිෂ්‍ය සංවිධානයේ නායකයා වූ දයා පතිරණ ඝාතනය කරනු ලැබ සති දෙකක් ගත වූවා පමණි. ඒ වන විටත් අපි එම ඝාතනයට චෝදනා ලැබී ජනතා විමුක්ති පෙරමුණට විරුද්ධව තීව්ර ප්රචාරක ව්‍යාපාරයක් ගෙන යමින් සිටියෙමු. එම පසුබිම මරා හා සාද් අතර සංවාද කෙරේ මගේ උනන්දුව තීව්ර කළා දැයි මට දැන් හරිටම මතක නැත. දයාපතිරණ ඝාතනය හා මුල් අවස්ථාවේ තිබූ ජවිපෙ හී සන්නද්ධ නැගිටීම මරා හා සාද් අතර විප්ලවය සම්බන්ධව කෙරුණු අතිශයින් ගැඹුරු සංවාදය සමග සම්බන්ධ කිරීමට තරම් බුද්ධිමය පරිණතභාවයක් මා තුළ තිබිණියැයි සිතීමට අපහසුය. එසේ වුවද ඒ වනවිටත් මා විප්ලවය සම්බන්ධයෙන් දැරූ අදහස් නියෝජනය කළ මරාගේ පාර්ශවයට අවිවේචනාත්මක සහාය දීමක් මගෙන් සිදු නොවූ බව කිව හැක.
ඒ කෙසේ වෙතත් ඩබ්. ජයසිරි මගේ ලෝකයේ ප්රමුඛ සංස්කෘතික වීරයෙක් බවට පත්විය. ඉන් වසර පහකට හයකට පමණ පසුව විභවි සංස්කෘතික මධ්‍යස්ථානයේ දී ඔහු පුද්ගලිකව දැන හඳුනා ගැනීමටත් ඔහු කිට්ටුවෙන් ඇසුරු කිරීමටත් ලැබුණි.
ජයසිරි මා සිතන ආකාරයට හැට හැත්තෑව හා අසූව යන දශකවල ලංකාවේ මහජන ජීවිතය තුළ අතිශයන් බලෑපෑම් සහගත සංසිද්ධියක් වූ සංස්කෘතික ව්‍යාපාරයක කේන්ද්‍රීය ක්‍රියාධරයෙක් විය. මේ සංස්කෘතික ව්‍යාපාරය මා වෙනත් තැනක හඳුන්වා ඇත්තේ ඇවන්ගාඩ් වාමාංශය ලෙසයි. මේ ඇවන්ගාඩ් වාමාංශය විකල්ප සංස්කෘතික-දේශපාලන ව්‍යාපාරයක් ලෙස ප්‍රකාශයට පත්වන්නේ 1960 දශකයේ මුල දී වුව ද, එහි මූලයන් ඊට පෙර කාලයකට ඉහත දක්වා දිව යයි. විශේෂයෙන් 43 කණ්ඩායම යනුවෙන් හඳුන්වනු ලැබූ පිරිසගේ හා පසුව පේරාදෙණි ගුරුකුලය යන නමින් හඳුන්වනු ලැබී පිරිසගේ සංස්කෘතික ක්‍රියාකාරකම් තුළ මේ ව්‍යාපාරයේ බීජ හා මුල් දක්නට ලැබිණි. විශේෂයෙන්ම සිරි ගුණසිංහගේ හෙවනැල්ල, ගුණදාස අමරසේකරගේ යලි උපන්නෙමි වැනි කෘතීන් හී මේ ව්‍යාපාරයේ ආරම්භක අවධියේ ලක්ෂණ දැකිය හැකිය. දෙවන ලෝක යුද්ධයෙන් පසුව යුරෝපය තුළ වර්ධනය වූ ස්ථාපිත සමාජ පර්යාය සම්බන්ධ බරපතල විවේචන සහිත, විකල්ප සමාජ හා සංස්කෘතික පර්යායක් සඳහා වූ කතිකාව මේ ව්‍යාපාරය දේශපාලන වශයෙන් වැදගත් ව්‍යාපාරයක් ලෙස වර්ධනය වීමේ ලා හේතුවිය. මේ ව්‍යාපාරය හැඳින්වීම සඳහා භාවිත වූ ප්‍රකට නාමය වූයේ ‘සාංදෘෂ්ටිකවාදය’ යන්නයි. (මෙය 1990ගණන් වල දී පශ්චාත් නූතනවාදය ලෙසින් අළුතෙන් බෞතීෂ්ම කෙරිණි.) මෙය මුලින්ම අපට දැකගත හැකි වූයේ 1960 දශකයේ නිර්මාණය වූ නවකතා කෙටිකතා, කවි හා නාට්‍ය වලයි. මේ ව්‍යාපාරයේ ආභාෂයට ලක්වූවන්ගේ සංස්කෘතික හා දේශපාලන මනස වැඩ කළ ආකාරය මෙන්ම ඔවුන්ගේ ජීවන ශෛලිය පවා හොඳින් අවබෝධ කරගැනීම පිණිස 1960 ගණන් හා 1970 ගණනවල නාට්‍ය කරුවෙක් ලෙස කටයුතු කළ සුමන ආලෝක බණ්ඩාරගේ ‘සුමන මතක’ කෘතිය කියැවීම වැදගත් වේ.
ඩබ්. ජයසිරි මේ ව්‍යාපාරයේ ඓන්ද්‍රීය සාමාජිකයෙක් ලෙස හඳුන්වාදිය හැක. මේ සංස්කෘතික-දේශපාලන අවකාශයේ සාමාජිකයෙක් බවට පත්වීමට අවශ්‍ය සුදුසුකම් ඔහුට ඕනෑවටත් වඩා තිබුණි. බොහීමියානු ජීවන ශෛලිය, නිර්මාණාත්මක ලේඛනය සඳහා පැවැති දක්ෂතාවය, රංගන කුසලතාවය මෙන්ම වාමාංශික දේශපාලන හා වෘත්තීය සමිති කටයුතු සමඟ පැවැති ඓන්ද්‍රීය සම්බන්ධය මේ අතරින් ප්‍රධාන වේ. විශේෂයෙන්ම ඔහු මේ සංස්කෘතික-දේශපාලන අවකාශයේ අතිශය ඓන්ද්‍රීය හා ක්‍රියාකාරී සාමාජිකයෙක් බවට පත්වන්නේ 1970ගණන්වල හා 1980 ගණන්වලයි. ධර්මසේන පතිරාජගේ සිනමා කෘති මෙහිදී අතිශයින්ම වැදගත් වේ. තේමාව අතින් මෙන්ම නිෂ්පාදන ක්‍රියාවලිය අතින්ද අතිශයින්ම විකල්ප මුහුණුවරක් ගත් බඹරු ඇවිත් කෘතිය තුළ ජයසිරි අතිශයින් වැදගත් භූමිකාවක් රඟ දැක්වීය. ඔහු එම චිත්‍රපටයේ රඟපෑ චරිතය දෙවන හෝ තෙවන මට්ටමේ එකක් ලෙස සැලකිය හැකි වුව ද, දැනට පුරාවෘත්තයක් බවට පත් වී ඇති එහි තේමා ගීතයේ රචකයා ලෙස ඔහු ඉටුකළ භූමිකාව ඔහුගේ නළු භූමිකාවට වඩා වැදගත් විය. ඊට අමතරව ඔහු එම සමූහයේ කේන්ද්‍රීය සාමාජිකයෙක් විය.
මේ ඇවන්ගාඩ් වාමාංශය තුළ ඔහුගේ කාර්යභාරය මෙවැනි කෙටි සහ ක්ෂණික සටහනකින් ආවරණය කළ හැකිවාට වඩා විස්තරාත්මක එකක් වුව ද, මා සිතන ආකාරයට ඔහු මරාසාද් නාට්‍යයේ සිදු කළ අමරණීය භූමිකාව ඒ තරම් බලසම්බන්න ලෙස රඟපෑමට ඔහුට හැකියාව ලැබුණේ මේ ඇවන්ගාඩ් වාමාංශය සමග ඔහුට තිබූ සම්බන්ධය නිසා බව කිව හැක. විශේෂයෙන් සාංදෘෂ්ටිකවාදී චින්තනයේ ගැබ්ව තිබූ සංශයවාදී ලක්ෂණ මේ ඇවන්ගාඩ් වාමාංශික අවකාශට හරහා ජයසිරිගේ සංස්කෘතික ශරීරයට හා මනසට කාවැදී තිබීම විප්ලවය පිළිබඳ රොමෑන්තිකවාදී දෘෂ්ටිය තියුණු ලෙස ප්‍රශ්න කෙරෙන සාද්ගේ භූමිකාවට පණදීමට ජයසිරිට හැකියාව ලබා දුන් බව නිසැකය.
ඔහුට මරාසාද් නාට්‍යට තිබූ තවත් සම්බන්ධයක් කිව යුතුය. රැකියාවක් නොමැතිව ජීවත්වීමට ක්‍රමයක් නැතිව සිටියදී සෞදි අරාබියට ගොස් හම්බකරගෙන ආ ධනය ඔහු කිසිදු ආර්ථික වාසියක් නොලැබුණු මරාසාද් නාට්‍යයට පරිත්‍යාග කළේය. එසේ නොකලා නම් ලංකාවේ නාට්‍ය ඉතිහාසය තුළ මගේ මතයට අනුව විශිෂ්ටතම නාට්‍යය වූ මරාසාද් නිර්මාණය නොවනු ඇත. අද වැනි කාලයක නම් සිතීමට පවා නොහැකි මේ පරිත්‍යාගය මේ ඇවන්ගාඩ් වාමාංශය තුළ මුදල් සම්බන්ධයෙන් තිබූ බෙහෙවින් විප්ලවීය ආකල්පය හෙළදරව් කරයි.
මාගේ ජීවිතය පොහොසත් එකක් කිරීමට ඔහු නොදැනුවත්ව වුවද දායක වීම සම්බන්ධයෙන්ම ජයසිරිට මගේ ප්‍රණාමය. ඔබ මරණයට පත් වූ ඔබගේ මිතුරු මිතුරියන්ට ප්‍රාර්ථනා කරන්නාක් මෙන් ඔබට දිගු සුව නින්දක් ජයසිරි!!!