ස්තුතියි කුමුදු “කොළඹ මතක“ ලිව්වට

කෙනෙකු ස්වකීය ජීවිත මතකයන් ලියා තබන්නේ එය තවකෙකුට වැදගත්වේ යැයි සිතනා හෙයිනි. කුමුදු ලියා තබන මේ මතක ඇයට පමණක් සීමා වූ ඒවා නොවේ. සැබෑ ලෙසම ඇයගේ මේ මතකයන් දශක ගණනාවකට එපිට අපේ සමාජ මතකයන්ද වන්නේය.

“කොළඹ මතක“ ඔස්සේ කුමුදු කුමාරසිංහ ඇගේ ජීවිත මතක අපූර්ව ලෙස සිත්තම් කර තිබේ. ඇය ඒ මතකවලට ප්‍රවේශයක් ගන්නේ සරල වාග් රීතියක පිහිටමිනි.

“අම්මා අපිව දෙමටගොඩ අම්මගෙ මහ ගෙදරට ගෙනාව දවසෙ ඉඳලා අපි ඒ ගෙදර පරිසරයට හෙමින් හෙමින් හුරු වෙන්න ඇති. මම ගොඩක් නිහඬව දේවල් දිහා බලා ඉන්න පුරුදු වෙලා තියෙන නිසා හින්දම වෙන්නැති මගේ මනසේ ගොඩක් සිද්ධි තැන්පත් වෙලා තියෙන්නෙ රූප විදිහට. මම හරිම ආසයි කාලය හරහා එහෙට මෙහෙට යන්න…“

කුමුදුගෙ ඒ ආසක්තභාවයන් ඔස්සේ ඇගේ ජීවිතයේ අතීත ස්මරණ විඳින්න ගන්නා වෑයම සමග අපද සම්බන්ධ කරගෙන තිබේ. එකී ස්මෘතීන් ඔස්සේ ලාංකීය කොළඹ සමාජ දේශපාලන ජීවන කලාපයේ දශක 5 කට ආසන්න කාලයක එක් පැති කඩක් අපට නිරූපණය කර පෙන්වීමට ඇයට මෙමගින් හැකිවී ඇත.

“දුප්පත්කම” යන වදන ඇය එනයින්ම අරුත් ගන්වා තිබේ. උදෑසන අවදිව දවස ඇරඹීමේ සිට රාත්‍රි නින්දට යන තෙක් එකී දුප්පත්කම විසින් වෙලා ගෙන ඇති නාගරික කම්කරු ජීවිතවල පීඩනයේ මතකයන් අප සිත් තුළ කුමුදු සිත්තම් කරන්නේ මින් පෙර නොවූවිරූ මානුෂීය ගැඹුරකිනි.
“අනන්තවත් අපේ පැත්තෙ මිනිස්සු බඩගින්නෙ ඉන්නවා. සමහර වෙලාවට එක වේලක් කාල ඉන්නවා. කවුරු හරි කීයක් හරි හම්බුකරන් ආවොත් රෑ වේල විතරක් හොඳට උයාගෙන කනවා. අපිට ඒ කාලෙ බඩගින්න කියන එක හොඳට හුරුයි. මෙහේ මිනිස්සු හැමෝටම බඩගින්න දරාගෙන ඉන්න පුළුවන්කම තිබුනා. බඩගින්නෙ ඉඳලා ඉඳලා කන්න ලැබුනම දැනෙන හැඟීම, ඉවසන්න බැරි බඩගින්නක හිටියම රෑට අම්මා ඇවිල්ලා උයනකොට හොදිවලින් එන සුවඳ මට තාම මතකයි. ඒ හොද්දෙ සුවඳට බඩගින්න ඩබල් වෙනවා. බඩගින්නෙ ඉඳලා, ඉඳලා කනකොට දැනෙන කෑමවල රස… ජීවිතයෙ ඊට පස්සෙ කාපු කිසිම කෑම වේලක ඒ රස දැනිලා නැහැ. එහෙම බඩගින්නෙ ඉඳලා කද්දී අම්මා තමයි හැමෝගෙම පිඟන්වලට බත් බෙදන්නෙ. හැමෝම එකට එකතුවෙලා කන්නෙ එතකොට. දුප්පත්කම එක්ක තිබුනු බඩගිනි ප්‍රශ්නය නිසා අපිට දේවල් කරන්න සල්ලි තිබුනෙ නැහැ. ගෙවල් දොරවල් හදන්න, බඩු මුට්ටු ගන්න අපි හීනෙන්වත් හිතුවෙ නැහැ. අපේ ජීවිත කොහොම තීරණය වෙයිද කොහාට යයිද කියලවත් අපේ පැත්තෙ මිනිස්සුන්ට අවබෝධයක් තිබුණෙ නැහැ. දුප්පත්කම එක්ක පොරබදමින් ජීවත් වුනා අපි. ඒ අස්සෙ එක එක රජයන් ආවා ගියා. නොයෙකුත් සිදුවීම් වුණා. මිනිස්සු එක එක ආණ්ඩුවලට රැවටුනා. රැවටෙමින්ම ජීවිතය එක්ක පොරබැදුවා. මට හිතෙන්නෙ වැඩි වැඩියෙන් රැවටුණෙත් දුප්පත්කම නිසාමයි කියලා.“

කොළඹ මතක පොතෙහි 169 වනි පිටුවෙහි සඳහන් වන දරිද්‍රතාව පිළිබඳ කතාව මිනිස් ජිවිත කොල්ලකනු ලැබ ඇති අයුරු හා ජීවිත තුළ ජීවිතය අතුරුදහන් කරනු ලැබ ඇති අයුරු සංකේතවත් කරන අපූර්ව සංවාදයක් ලෙස කිව හැකියි. ලංකා සමාජයේ දුප්පත්කමේ ශාපය ගැන කුමුදු ලියා තබන කාලය හා වත්මන් තත්වය වෙනස් වී ඇතැයි කෙනෙකු පවසනවා නම් එය බරපතල දේශපාලන මුසාවකි.

සිය ජීවන අත්දැකීම් ඔස්සේ නව යොවුන් වියේ සිටම වෙනස් සිතීමකට හුරු වීමට කුමුදු දැක්වූ ඇල්ම ත්‍රිමාවිතාන සහෝදරයා කෲර වධහිංසාවට ලක් කර ඝාතනය කළ අවස්ථාවේ ඇය කුඩා පාසැල් දැරියක ලෙස පාසැල් නිළ ඇඳුමෙන් එයට සහභාගි වූ බව ප්‍රකාශ කිරීමෙන් පැහැදිලිවෙයි.
දරා සිටීමට අසීරු අමානුෂික නිමේෂයන් දරා සිටින දේශපාලන සමාජයක සැරිසරමින් එකී විඳ දරාගැනීම් මැද දිවි ගෙවමින් පසු කලෙක හෝ ඒ පිළිබද සමාජ සංවාදයක් ගොඩ නැංවීමේ සිහිනය කුමුදු කුමාරසිංහ සහෝදරිය ඇයගේම ප්‍රකාශනයකින් එළිදැක්වීමට සමත්ව තිබේ.

“නොනිමි අරගලයක මතක ගිනි පුපුරු” ඔස්සේ මා අත්විඳි දේශපාලන මතක ගොන්නද “කොළඹ මතක” හරහා කුමුදු කුමාරසිංහ විවරණය කරන මතක නිමේෂයන්ද සැබවින්ම අපගේ ජීවිත විනිවිද ගිය ජීවන පීඩාවන් මුදා හැරීමකි. කුමුදු නාගරිකයාගේ දිළිඳුභාවය ගැන අපට පවසන විට මෙයට වසර කිහිපයකට පෙර Upul Sannasgala උපුල් සන්නස්ගල රචනා කල “අම්මා” ඔස්සේ චිත්‍රණය කළ ග්‍රාමීය දුප්පත්කම ද නිතැතින්ම මතකයට නැගෙන්නකි. මේ ප්‍රකාශන ද්වය ලංකාවට අදාළව කාසියක දෙපැත්ත මෙනි.

මෙවන් මතකයන් කියවා ගත යුත්තේ දේශපාලනික මෙන්ම මානවවාදී දෘෂ්ටියයක් ඔස්සේය. මේ වෙද්දී කොළඹ මතක ඇසුරින් අපේ සමාජීයිය පාඨකයා වෙත ඇයගේ දෙවන පොතද “කොළඹ මතක 2” ලෙසින් එළිදක්වා තිබේ. මෙම පොත් දෙකම මේ දිනවල කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ විදර්ශන ප්‍රකාශක කුටියෙන් ඔබට මිලදී ගත හැකිය.

“කොළඹ මතක” ඔස්සේ කුමුදු අවදි කළ අපගේම ජීවන ස්පන්දනය අගය කරන අතරම ඇයගේ නිදහස් අදහස්වලින් අනාගතයේ තවත් පුළුල් මානවීය සමාජ සංවාදයක් ගොඩ නැංවීමට හැකි ශක්තිය හා ධෛර්යය පතමි. සුබ පැතුම් කුමුදු!

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Share post:

Popular

සබැඳි
Related

කමිඳු මෙන්ඩිස් ගේ ද්විත්ව ශතකය සහ ශ්‍රී ලංකා ඉනිම අවසන් කිරීම

දෙවන ටෙස්ට් තරගය අවසන් වූවත්, කමිඳු මෙන්ඩිස් ගේ ද්විත්ව...

ඩබ්ලියු ජයසිරි!!!

මා මුළින්ම ඩබ්ලියු ජයසිරි දුටුවේ, මට මතක විදිහට, 1986...

“සංස්කෘතික කොදෙව්වෙන් සොරාගත් ජීවිත X – ray කිරීම” – සාරි ඇඳපු පිරිමි

ලාංකේය නුතන නවකතාව තුළ හමුවන දුර්ලභ ගණයේ කතා වස්තුවකින්...

සේනක බටගොඩ ජීවිතේ ගැන සංදෘෂ්ටිකවාදී දෘෂ්ටියක් තිබ්බ කලාකරුවෙක්

මං සේනක බටගොඩ ගායකයෙක් විතරක් කියලා කියන්නේ නැහැ. ඔහු,...