කමිඳු මෙන්ඩිස් ගේ ද්විත්ව ශතකය සහ ශ්‍රී ලංකා ඉනිම අවසන් කිරීම

දෙවන ටෙස්ට් තරගය අවසන් වූවත්, කමිඳු මෙන්ඩිස් ගේ ද්විත්ව ශතකය සහ ශ්‍රී ලංකා ඉනිම අවසන් කිරීම පිළිබඳ සංවාදය තවමත් නිමා වී නැහැ.
සිදුවීම පිළිබඳව මට ඇත්තේ මිශ්‍ර අදහසක්.
ප්‍රථමයෙන්ම ඒ මොහොතේ, තරගය ක්‍රීඩා කරද්දී මම එය කළ යුත්තක් ලෙස දුටුවා.
කමිඳු මෙන්ඩිස් ට ලකුණු 1000 සම්පූර්ණ කිරීමට ඉඩ දීම අත්‍යවශ්‍යයි. එය පුද්ගලික සන්ධිස්ථානයකට වඩා ලෝක වාර්තාවක්.
එය ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවටත් වටිනා වාර්තාවක්. එය සම්පූර්ණ කිරීමට ඉඩ දීම පිලිබඳ තර්කයක් නැහැ.
එය සම්පූර්ණ කිරීමෙන් අනතුරුව කණ්ඩායම වෙනුවෙන් තරගය ජය ගැනීමේ අරමුණෙන් ඉනිම අත්හිටුවීම ඒ මොහොතේ නිවැරදි තීරණය ලෙස මම දුටුවා.
මන්ද සෑම විටකම ක්‍රීඩකයන්ගේ පුද්ගලික සන්ධිස්ථාන වලට වඩා වැදගත් වන්නේ තරගයේ ජයග්‍රහණයයි.
දකුණු ආසියාතික රටවලට වාර්තා සහ සන්ධිස්ථාන ඉලක්ක කිරීම තරමක තරමක් පොදුයි.
ශ්‍රී ලංකාව එතැනින් මිදී, ජයග්‍රහණය ඉලක්ක කිරීම මා දුටුවේ කළ යුත්තක් ලෙසයි.
ඒ මොහොතේ නවසීලන්තයේ පිළිතුරු ඉනිම පිළිබඳ අපට අදහසක් තිබුණේ නැහැ.
ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවට පහර දෙමින් සිටි ආකාරය අනුව තරගය ජය පරාජයකින් තොරව නිමා කරගැනීමේ ඉඩක් නවසීලන්තය සතුව ඇතැයි පෙනෙන්නට තිබුණා.
තරගය ජය ගැනීමට නම් හැකි ඉක්මණින් පන්දු යැවීම ආරම්භ කිරීමට තිබුණා.
එම නිසා ඒ මොහොතේ දී එය නිවැරදි තීරණයක්.
නමුත් කමිඳු පන්දුවට පහර දෙමින් සිටි ආකාරය අනුව ඔහුට ද්විත්ව ශතකය ලබා ගැනීමට අවශ්‍ය වූයේ තවත් පන්දු කිහිපයක් පමණක් බවත් පැහැදිලියි.
ඔහු ඉතා හොඳින් පිත්තේ මැදින් පන්දුවට පහර දෙමින් සිටියා. හයේ සහ හතරේ ලකුණු ලබා ගනිමින් සිටියා.
ලකුණු 18 ක් ලබා ගැනීමට ඔහුට තවත් පන්දු 10 ක් අතිශය ප්‍රමාණවත් වීමට තිබුණා. එය අවශේෂ කාරණයක්.
නමුත් එදින ශ්‍රී ලංකා ක්‍රීඩා විවේකාගාරයෙන් ලැබුණු තොරතුරු කිසිසේත්ම බලාපොරොත්තු වූ ඒවා නොවෙයි.
නායකයා සහ කළමනාකාරීත්වය ඉනිම අත්හිටුවීම ප්‍රමාද කර තිබුණේ කමිඳු මෙන්ඩිස් ගේ ලෝක වාර්තාව ඉලක්ක කරමින් නොවෙයි.
කුසල් මෙන්ඩිස් ශතකය ලබා ගන්නා තුරු ඉනිම අත් නොසිටුවීමට ඔවුන් තීරණය කර තිබුණා.
කුසල් ශතකය ලබාගත් පසු, කමිඳු ට ලෝක වාර්තාව ලබා ගැනීමට ඉඩ දී ඔවුන් ඉනිම අත්හිටවූවා.
කුසල් ශතකය ලබා නොගෙන තිබුණා නම්, ඉනිම අතිහිටුවීම ඔවුන් ප්‍රමාද කරනවා.
එම ප්‍රවේශය වැරදියි.
මන්ද කුසල් ගේ ශතකය වැදගත් නම්, කමිඳු ගේ ද්විත්ව ශතකය ඊට වඩා වැදගත්.
එසේනම් නායකයා සහ කළමනාකාරීත්වය කළ යුතුව තිබුණේ කමිඳු මෙන්ඩිස් ට ද්විත්ව ශතකය කරා යෑමට ඉඩ දීමයි.
මන්ද ටෙස්ට් ශතකයක් යනු සාමාන්‍ය සහ සුලභ ලකුණක්. නමුත් ද්විත්ව ශතකයක් යනු අතිශය අසීරු, විශේෂ සන්ධිස්ථානයක්.
ශතකයකට ඉඩ දී, ද්විත්ව ශතකයකට ඉඩ නොදීම යනු පිළිගත නොහැකි තර්කයක්.
එහි පසුපස පුද්ගලික අනුග්‍රහයක්, කඹ ඇඳීමක් පවතින බව පැහැදිලියි.
කොහොමත් ලකුණු 182 ලබා සිටියේ කමිඳු මෙන්ඩිස් නොවී, කුසල් මෙන්ඩිස් නම් ඔවුන් ද්විත්ව ශතකය ලබා ගන්නා තුරු කුසල් ට ඉඩ දෙනවා.
ඒ වෙනුවෙන් කුසල් ට සමස්ථ තරගය පුරා හෝ පිතිකරණයෙහි යෙදීමට අවස්ථාව හිමි වෙනවා.
එය කණගාටුදායක, පුදුම සහගත එහෙත් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ මේ මොහොතේ යථාර්තයයි.
මා ප්‍රකාශ කරන්නේ කමිඳු ගේ ද්විත්ව ශතකය ඇහැරීම වරදක්ය කියා නොවේ.
කුසල් ට ලබා දුන් වරප්‍රසාදයම ඔහුට ලබා දීම වැරදි ය යන්න පමණයි. කුසල් මෙන්ඩිස් ට විශේෂ වරප්‍රසාදයන් හිමි වීම වරදක් ය යන්න පමණයි.
එය එළිපිටම ප්‍රකාශ කිරීමට තරම් නායකයා නිර්භීත වීම වරදක් සහ ලැජ්ජාවක් යන්න පමණයි.
නායක ධනංජය එළිපිටම සිදුකළ ප්‍රකාශයෙන් නවක කමිඳු ගේ මානසිකත්වයට සහ විශ්වාසයට කෙතරම් බලපෑමක් කළාද යන්න ගැනිය නොහැකියි.
ක්‍රිකට් යනු මානසිකත්වය සහ විශ්වාසය සමග මත රදා පවතින ක්‍රීඩාවක්.
කමිඳු මෙතෙක් ක්‍රීඩා කළ ආකාරය අනුව නූතන ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවේ විශිෂ්ටතම ආරම්භය සහිත ක්‍රීඩකයා ඔහු.
එයත් තරග බහුතරය නොම්මර හත ස්ථානයේ ක්‍රීඩා කරමින්. එවැනි පසුබිමක ශ්‍රී ලංකා ක්‍රීඩා විවේකාගාරය තුළ කමිඳු ට අතිශය වැදගත් ස්ථානයක් හිමිවිය යුතුයි.
නමුත් සිදුවන්නේ එය නොවෙයි.
තමන් කොතරම් ලකුණු ලබා ගත්තත්, ජයග්‍රහණ ගෙන ආවත් තමන් අවශේෂ ක්‍රීඩකයන් යැයි ද, කණ්ඩායමේ විශේෂ වරප්‍රසාදිත කුමරෙක් සිටිනවා ය යන හැගීම මෙම නවක ක්‍රීඩයන් තුළ ඇතිවීම කණ්ඩායමටත්, ඔවුන්ටත් යහපත් සාධකයක් නොවේ.
එය ඔවුන් තවදුරටත් දක්ෂතා දැක්වීමට දිරිමත් නොවීමටත්, මානසිකව කඩා වැටීමටත් හේතු විය හැකියි.
කණ්ඩායමේ වරප්‍රසාද හිමි විය යුත්තේ දක්ෂතාවය අනුව පමණයි.
එසේ නොවී වැඩවසම් ක්‍රමයට කුමන තත්ත්වයක් යටතේ හෝ ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව එක් ක්‍රීඩකයෙක් වටා කැරකීම අයහපත්.
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවට දක්ෂතාවයන් අදාල නොවන රාජකීය කුමරෙක් සිටීම අයහපත්.
එය ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ කඩාවැටීමත් හේතුවක්. මේ ප්‍රවේශය කමිඳු මෙන්ඩිස් ලා උපන් ගෙයිම අහිමි විය හැකි තත්ත්වයක්.
මෙරට ක්‍රිකට් කළමනාකාරීත්වය තේරුම් ගතයුත්තේ එයයි.

ඉරේෂාන් සිරිවර්ධන

    2024. 09. 30

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Share post:

Popular

සබැඳි
Related

ස්තුතියි කුමුදු “කොළඹ මතක“ ලිව්වට

කෙනෙකු ස්වකීය ජීවිත මතකයන් ලියා තබන්නේ එය තවකෙකුට වැදගත්වේ...

ඩබ්ලියු ජයසිරි!!!

මා මුළින්ම ඩබ්ලියු ජයසිරි දුටුවේ, මට මතක විදිහට, 1986...

“සංස්කෘතික කොදෙව්වෙන් සොරාගත් ජීවිත X – ray කිරීම” – සාරි ඇඳපු පිරිමි

ලාංකේය නුතන නවකතාව තුළ හමුවන දුර්ලභ ගණයේ කතා වස්තුවකින්...

සේනක බටගොඩ ජීවිතේ ගැන සංදෘෂ්ටිකවාදී දෘෂ්ටියක් තිබ්බ කලාකරුවෙක්

මං සේනක බටගොඩ ගායකයෙක් විතරක් කියලා කියන්නේ නැහැ. ඔහු,...