එලොන් මස්ක් – The American Oligarch

එලොන් මස්ක්ගෙ නම නොදන්න කෙනෙක් ඉන්නවානම් ඒක පුදුමයක්.
ව්‍යාපාරිකයෙක්ද.. විද්‍යාඥ්ඥයෙක්ද.. දේශපාලකයෙක්ද.. .. බැංකුකරුවෙක්ද.. සුපිරි ධනවතෙක්ද…මුලු ලෝකයම පාලනය කරන්න සැලසුම් හදන ඒකාධිපතියෙක්ද? නැත්තං මේ සියල්ලේම එකතුවක්ද?

පහුගිය මාසයේ ඉතාලි අග්‍රාමාත්‍ය ජෝර්ජියා මෙලොනි ( Giorgia Meloni) විසින් ගනු ලැබූ තීරණයක් එරට ශ්‍රේෂ්ඨ අධිකරණය විසින් නිෂ්ප්‍රභ කරන්නෙ දේශපාලන ලෝකයේ ලොකු හඬක් ඇතිකරමින්. දක්ශිණාංශික දේශපාලනයේ නියැලෙන මෙලොනි ගත් තීරණය වන්නේ අනවසර ඉතාලි සංක්‍රමණිකයන් තාවකාලිකව ඇල්බේනියානු කඳවුරකට පිටුවහල් කිරීම.
මේ තීරණය ඉතාලි ශ්‍රේෂ්ඨාධිකරන විසින් බලරහිත කිරීමත් සමග කෝපයට පත්වෙන එලොන් මස්ක් තමන්ගෙ එක්ස් ( X) මාධ්‍ය ජාලය ( කලින් ට්වීටර්) හරහා ප්‍රකාශ කරන්නෙ ඉතාලි අධිකරණය හා විනිසුරුවන් සංශෝධනය කලයුතු බවයි.
මේ ප්‍රකාශය ලොව පුරා පුවත් නිර්මාණය කරද්දි ඉතාලි ජනාධිපති සර්ජියො මතරෙල්ලා (Sergio Mattarella) ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටින්නේ ව්‍යාපාරිකයන් හා ධනවතුන් තමන් නොදන්නා දේශපාලනය ගැන කතා නොකර සිටිනවානම් වඩා හොඳ බවයි.

මේ ආකාරයටම වෙනසියුලාව… ආර්ජෙන්ටිනාව.. මෙක්සිකෝව ආදී රටවල දේශපාලනයට මැදිහත්වෙන එලොන් මස්ක්ගේ අවශ්‍යතාවය කුමක්ද.? බොහෝ දෙනෙක් මේ ප්‍රශ්ණය අහනවා. සී එන් එන් ප්‍රවෘත්ති සේවාවට අනුව එලොන් මස්ක් .. ඩොනල්ඩ් ට්‍රම්ප් හා රුසියානු නායක වැල්ඩිමීර් පුටීන් දුරකථන සාඛච්ඡාවක් පවත්වා තිබුනත් ක්‍රෙම්ලීනය ඒ පුවත බැහැර කරනවා.
ලෝක දේශපාලනයේ පුවත් මවන කවුද මේ ධනවත් ව්‍යාපාරිකයා. ?

එලොන් මස්ක් උපදින්නෙ 1971 වසරේ දකුණු අප්‍රිකාවේ ප්‍රෙතෝරියා නගරයේ. එලොන්ගේ මව කැනේඩියානු ජාතික මෝස්තර නිරූපිකාවක්. එලොන්ගේ පියා එරොල් මස්ක් ඉංජිනේරුවෙක්.. ගුවන් නියමුවෙක් වගේම අති දක්ශ ව්‍යාපාරිකයෙක්. පසුකාලීනව අප්‍රිකානු රටවල එමරල්ඩ් මැණික් පතල් රාශියක හිමිකරුවෙක් බවට පත්වෙන එලොන් මස්ක්ගේ පියා ඉතා බුද්ධිමත් වගේම ධනවත් ව්‍යවසායකයෙක් ලෙසයි සැලකෙන්නෙ.

ධනවත් පවුලක උපත ලැබුවත් මස්ක් ගෙවන්නේ ඉතාම කටුක හා වේදණාකාරී ලමා වියක්. ඊට එක හේතුවක් තමන්ගෙ මව හා පියා අතර පවතින ගැටුම් හා රණ්ඩු සරුවල්.
අනෙක් හේතුව පාසැලේදී නිතරම තමන්ගෙ පන්තියේ සිසුන් අතින් බුලී කිරීමට හෙවත් වද හිංසාවලට ලක්වීම. එලොන් මස්ක් කියන්නෙ අති දක්ශ දරුවෙක්. අවුරුදු තුනේදී ඔහු අහන ප්‍රශ්ණ වෙන්නෙ කොහෙද මේ ලෝකය හෙවත් පෘථිවිය තියෙන්නෙ.? ඇයි මේ හැම සුපර් හීරෝ කතාවකම වීරයාට සිදුවෙන්නෙ නපුරන්ගෙ ලෝකය බේරාගන්න.? ඒ කියන්නෙ මේ ලෝකයේ ඉන්නෙ නපුරු මිනිස්සුද.?
යුනිවර්සල් සෝල්ජර් කෙනෙක් වෙන එක මෝඩ හීනයක්ද.? මෙවැනි ප්‍රශ්ණ අවුරුදු තුනේ දරුවෙකුගෙන් අහන්න ලැබීම අසාමාන්‍යයයි.
එලොන් තමන්ගෙ සහෝදරයා හා සහෝදරිය සමග මවගේ නිවසේ පදිංචියට එන්නෙ මව හා පියා එකිනෙකාගෙන් වෙන්වීමත් සමගයි.
එලොන්ගේ මව මායේ හැල්ඩොර්මන්ට රැකියාවන් දෙකක් කරන්න සිදුවෙනවා. තමන්ගෙ ස්වාමිපුරුශයා කොයිතරම් ධනවත් වුවත් ඔහුගෙන් කිසිදු සහයක් නොලැබෙන නිසා තමන්ගෙ දරුවන් ජීවත්කරවන්න මායේ බොහොම මහන්සිවෙනවා.
එලොන් හා ඔහුගේ පියා අතර ඇති සම්භන්ධය ඉතාම කර්කශ ගැටුම්කාරී එකක්.

එලොන් මස්ක් තමන්ගෙ ලමා විය විස්තර කරමින් කියනවා… “මගේ පියා මට නිතරම කර්කශ වචනයෙන් බැණ වදින්නෙ හිතා ගන්න බැරි අපහාස වචන එක්ක.. ස/මලිංගිකයෙක්, දූ/ෂිතයෙක්, පා/දඩයෙක්, ද්‍රෝ/හියෙක්, මීයෙක්, ජ/රාවක්, අ/වජාතකයෙක් සහ තවත් බොහොම අපහාස වචන මට හැමදාම අහන්න වුනා.
මගේ ආදරණීය අම්මා පවා මට චෝදනා කළා මම නිර්දය .. දුක හඳුනන්නෙ නැති කෙනෙක් කියලා.”
ඔහුගේම වචනවලින් කීවොත්…
By my dad.. I’ve been accused of Being Gay, Miso/gynist, a pae/.ddophile, a t/raitor, a Rat, A S/hit, A b/astard, and much more.
My own loving mother accused me I am ruthless.

පාසැල් වියේදී පහරකෑමටත් .. බුලී වීමටත් සිදුවීම මත ජූඩෝ හා කරාටේ ඉගෙන ගන්න පෙලඹෙන තරුණ එලොන් පසුකාලීනව පවසන්නේ තමන්ගේ ප්‍රතිවාදියා පරාජය කිරීමට නම් නහය බිදෙන ලෙස මුහුණට පහරදිය යුතු බවයි.

අවුරුදු දහ අටේදී තමන්ගෙ මවගෙ රට වූ කැනඩාවට සංක්‍රමණය වෙන එලොන් ඔන්ටාරියෝ විශ්ව විද්‍යලයේ ආර්ථික විද්‍යාව හදාරන්න පටන් ගත්තත් ඔහුගේ අවශ්‍යතාවය තියෙන්නෙ ඇමරිකා එක්සත් ජනපදයට ඇතුල්වීම.
එලොන් මස්ක් විසින් ඇමරිකා එක්සත් ජනපදය
හ​ඳුන්වන්නෙ ඩ්‍රීම් වර්ල්ඩ් ( Dream World) හෙවත් සිහින ලෝකය විදිහට.
1995 වර්ශයේදී එක්සත් ජනපදයේ පෙන්සිල්වේනියා විශ්ව විද්‍යාලයට ඇතුලත්වෙන තරුණ මස්ක් ආර්ථික විද්‍යාව හා භෞතික විද්‍යා අංශවලින් අධ්‍යාපනය ලබන්නෙ සැලසුමක් සහිතව.
ඉන්පසු කැලිෆෝනියා ප්‍රාන්ථයේ මෘදුකාංග ආයතනයක් හා ඉංජිනේරු පර්‍යේශණ ආයතනයක් ආරම්භ කරන එලොන් මස්ක් ලොව ධනවත්ම හා බලවත්ම පුද්ගලයන් අතරට එකතුවෙනවා වසර කීපයකට පස්සෙ.

ධනය හා ප්‍රසිද්ධිය තිබුනත් බලය හා මාධ්‍ය බලය ඊට වඩා වටින බව වටහා ගන්නා එලොන් මස්ක් ට්වීටර් නම් සමාජ මාධ්‍ය ජාලය 2022 වසරෙදි මිලදී ගන්නෙ ඩොලර් බිලියන 44ක මිළකට.
ෆේස්බුක් .. ඉන්ස්ටග්‍රෑම් හා ට්වීටර් මිළදී ගනිමින් ලෝක මාධ්‍ය නියමුවා වෙන්න මස්ක් උත්සාහ ගත්තත් ඊට එරෙහි වන්නේ ෆේස්බුක් හිමිකරු වූ මාර්ක් සුකර්බර්ග්.
මේ හේතුව මත එලොන් හා මාර්ක් අතර ඇතිවන්නේ තරඟයකටත් වඩා ගැටුමක්.

ට්වීටර් මාධ්‍ය ජාලය එක්ස් බවට පත්වීමත් සමග මිලියන ගණනක සාමාජිකයන් ඉන් ඉවත් වී බ්ලූ ස්කයි හා ත්‍රෙඩ්ස් නැමැති සමාජ ජාලා හා එකතුවෙන්නෙ මස්ක්ගේ දේශපාලන පරමාර්ථ හා පණිවිඩ හා එකඟ නොවීම මත. ට්වීටර් මිළදී ගත් ඉක්මනින් මස්ක් සිදුකරන පලමු ක්‍රියාව වන්නේ ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ට්විටර් තහණම ඉවත් කිරීම.
විශේෂයෙන්ම ට්වීටර් නිර්මාණය කල ජේ ගාබර් විසින් (Jay Graber) නිර්මාණය කරන බ්ලූ ස්කයි ( Blu Sky)වෙත මිලියන ගණනක සාමාජිකයන් ඇදී එන්නෙ එලොන් මස්ක් ට්‍රම්ජ් ඡන්ද ව්‍යාපාරයට සම්භන්ධ වීමත් සමගයි. “X ” මාධ්‍යයේ සාමාජිකයන්/පරිහරණය කරන්නන් සංඛ්‍යාව 2024 වර්ශයේ මුලවන විට මිලියන 429ක්.
මෙයින් මිලියන 109ක් ඇමරිකා එක්සත් ජනපදයෙන් වාර්තා වෙන්නෙ. මේ හරහා ට්‍රම්ප් ඡන්ද ව්‍යාපාරයට කලහැකි බලපෑම සුළුපටු නැහැ.
ට්වීටර් හරහා එලොන් මස්ක් ලබන පාඩුව ගැන බොහෝ විචාරකයන් මත පලකරත් ඒ කිසිවෙකුටත් නොදැනී මස්ක් අති විශාල ලාභයක් ලබනවා ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිවරනය ජයග්‍රහණය කිරීමත් සමගම. නොවැම්බර් 5 වෙනිදා ඩොලර් 240 කට මිළ නියම වූ ටෙස්ලා සමාගමේ කොටසක් නොවැම්බර් 6 වෙනිදා වනවිට ඩොලර් 350 සීමාවට ලඟාවෙනවා.

ඩොනල්ඩ් ට්‍රම්ප් රජය යටතේ එලොන් මස්ක්ගේ ව්‍යාපාරවලට බදු සහන වගේම විශේෂ නීතිමය අවසරත් ලැබීමට නියමිතයි. විශේෂයෙන්ම චීන විදුලි වාහන හා තරඟ කිරීමට ටෙස්ලා ව්‍යාපාරය ඔසවා තැබීම ඩොනල්ඩ් ට්‍රම්ප් රජයේ අරමුණ විය හැකියි.

Oligarch ඔලිගාර්ක් කියන වචනය භාවිතයට එන්නෙ 1990 සෝවියට් දේශය බිඳවැටීමත් සමග නිර්මාණය වූ නවතම ව්‍යාපාරික පන්තියත් සමගයි.
සෝවියට් රජය සතුවූ අති විශාල තෙල් හා ගෑස් ව්‍යාපාර.. කෘශිකාර්මික බිම්.. ගොවිපල.. ප්‍රවාහන ආයතනවල හිමිකරුවන් බවට පත්වන දේශපාලන හිතවතුන් හා ව්‍යාපාරිකයන් අති විශාල ධනවතුන් බවට පත්වෙනවා.
මෙන්න මේ පිරිස හදුන්වන නම ඔලිගාර්ක්. ව්‍යාපාරවලින් පමණක් සෑහීමට පත්නොවන මේ පිරිස සෘජුවම දේශපාලනයට සහභාගි වෙන්නෙ පවතින රජයේ අවසරය හා එකගත්වය මතයි.
Oligarch- Form of government run by a small number of people such as wealthy landowners, royalty or powerful military figures.
මේ අනුව උපතින් ඇමරිකානුවෙකු නොවුනත් එලොන් මස්ක් නවතම ඇමරිකානු ඔලිගාර් ලෙස හඳුන්වන්න ලෝක මාධ්‍ය පෙලඹෙනවා.

එරොල් මස්ක් සුදු ජාතික ආධිපත්‍යයත්.. පුරුෂ මූලික සමාජයත් තදින්ම විශ්වාස කරන පුද්ගලයෙක්. තමන්ගෙ පියාට කොපමණ අකමැති වුනත් එලොන් මස්ක්ට පුළුවන් කමක් නෑ මේ ගතිගුණ උරුම වූ බව සඟවා ගන්න.
පහුගිය දවසක නැන්සි පෙලෝසි හා ඇයගේ සැමියා සම්භන්ධව මස්ක් විසින් පලකරනු ලැබූ ටට්විටර් පණිවිඩය ඔහු විසින්ම මකා දමන්නේ LGBTQ ප්‍රජාව ඉලක්ක කරමින් සිදුකල විවේචනයක් වන නිසා බව ෆොක්ස් නිවුස් මාධ්‍යවේදී ඉයන් ශෙයර් පවසනවා.
ඔබගේ පියා ඔබට අන්ධයා යැයි බැනවැදුනොත් ඔබ අන්ධ ප්‍රජාව පිලිකුලට ලක්කරනවාද මාධ්‍යවේදියෙක් ප්‍රශ්ණ කරනවා.
ඒ කෙසේ වෙතත් අද එලොන් මස්ක් කියන්නෙ ඉතාම ප්‍රසිද්ධියටත් පිලිගැනීමටත් ලක්වූ අති දක්ශ ව්‍යාපාරිකයෙක්. අපි කැමති වූවත් නැතත් මස්ක්ගේ දේශපාලනයට අනුගතවීමට ලෝකයට සිදුවෙනවා.

සමහරවිට එලොන් මස්ක්ගේ බලාපොරොත්තුව ඇමරිකානු ජනාධිපති හෝ ලෝක දේශපාලනයේ ප්‍රමුඛතම පුද්ගලයා හෝ ලෝක පොලිස්කාරයා බවට පත්වීම විය හැකියි. එය සැබෑකරගත නොහැකි සිහිනයක් නොවන බව මස්ක්ගේ ගමන් මග දෙස විමසීමෙන් බැලුවොත් අපට වටහා ගන්නට පුළුවන්.

එලොන් මස්ක්ගේ ව්‍යාපාරික හැකියාව.. ව්‍යවසායකත්වය.. නායකත්වය ගැන සැකයක් නෑ. නමුත් ඔහු කුඩා කාලේ මුහුණ දුන් සිදුවීම් ඇසුරින් ලෝකය දැකීම කොයිතරම් ප්‍රායෝගිකද.?
කුඩා දරුවෙකු ලෙස මුහුණදෙන අත්දැකීම් හා කටුක සිදුවීම් මුළු ලෝකයේම ගමන් මග වෙනස්වීමට බලපාන ආකාරය ගැන දිය හැකි හොඳම උදාහරණය එලොන් මස්ක් මිස වෙන කිසිවෙක් නොවේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Share post:

Popular

සබැඳි
Related

වයස 27 ක ජේක් පෝල් සහ මයික් ටයිසන් අතර තරගය

ලොවක් බලා සිටි ජේක් පෝල් සහ මයික් ටයිසන් අතර...

පිරිමින්ට එරෙහි කාන්තාවන්ගේ සටන

ඇමෙරිකානු ජනාධිපතිවරණය සහ පීනට් නම් සුරතල් ලේනෙකු ඊට බලපෑ...

Life and nature sometimes show no mercy

Life and nature sometimes show no mercy

අජිත් පැරකුම් ජයසිංහගේ ‘සූදුරු අබා’

ටෘමන් කැපෝටේ කෙටිකතා රචනය පිළිබඳව මෙවන් අදහසක් පල කරයි.බරපතල...