ඉලොන් මස්ක් ගේ SpaceX සමාගම විසින් ගුවන්ගත කිරීමට නියමිත පස්වෙනි වාණිජ අභ්‍යවකාශ චාරිකාව වන SpaceX – Crew – 5 මෙහෙයුම හෙට ඔක්තෝබර් 5 වෙනි බදාදා ග්‍රිනිච් වේලාවෙන් 1600 හෝරාවේදී දියත් කිරීමට නියමිතව තිබෙනවා.
මෙහි ප්‍රධාන විශේෂත්වයක් වන්නේ ස්වදේශික ඇමරිකානු කාන්තාවක් අභ්‍යවකාශයට යන ප්‍රථම චාරිකාව මෙය වන නිසයි.
Nicole Aunapu Mann නම් ඇය උතුරු කැලිෆෝර්නියාවේ Round Valley ඉන්දියානු ගෝත්‍රික කාණ්ඩයක් වන වයිලාකි සමූහයට අයත් සාමාජිකාවක්.
45 වෙනි වියේ පසුවන ඇය මෙම මෙහෙයුමේ අණදෙන නිලධාරී ලෙස ක්‍රියා කරමින් NASA ආයතනයේ වාණිජ අභ්‍යවකාශ චාරිකාවක ප්‍රථම අණ දෙන නිලධාරිනිය ලෙසද ඉතිහාසයට එක්වනු ඇති.
ඇයත් ඇතුළු අභ්‍යවකාශගාමීන් සිව්දෙනෙක් මෙම SpaceX Crew – 5 මෙහෙයුමෙන් ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය බලා පිටත්ව යනවා.
මෙම මෙහෙයුමේ අනෙක් විශේෂත්වය නම් වාණිජමය අභ්‍යවකාශ යානයක අසුන් ගන්නා ප්‍රථම රුසියානු ජාතිකයා ලෙස Anna Kikina නම් 38 හැවිරිදි රුසියානු ඉංජිනේරුවරියගේ සහභාගිත්වයයි.
මෙහෙයුමේ දෙවෙනි මෙහෙයුම් විශේෂඥවරිය ලෙස ක්‍රියාකරන ඇගේද පළමු අභ්‍යවකාශ චාරිකාව මෙයයි.
මෙම මෙහෙයුමේ අනෙක් කෝඩුකාර අභ්‍යවකාශගාමියා වන්නෙ මෙහෙයුම් නියමුවා ලෙස ක්‍රියා කරන ඇමරිකානු භෞතික විද්‍යාඥ , 49 හැවිරිදි Josh Aaron Cassada යි.
මෙහෙයුමේ පළමු මෙහෙයුම් විශේෂඥයා ලෙස ක්‍රියාකරන 59 වෙනි වියේ පසුවන ජපන් ජාතික ඉංජිනේරු Koichi Wakata ගේ පස්වෙනි අභ්‍යවකාශ චාරිකාව මෙයයි.
මොවුන් සිව්දෙන පස්මසක පමණ කාලයක් ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ නැවතී සිටීමට නියමිතව තිබෙනවා.
එක්සත් ජනපදයේ ෆ්ලොරිඩා වල කෙනඩි අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ 39A දියත් කිරීමේ වේදිකාවෙන් ඔවුන් සිව්දෙන රැගත් Crew Dragon Endurance යානය Falcon 9 වර්ගයේ රොකටයක් ආධාරයෙන් හෙට බදාදා දිනයේ ගුවනට එක්වනු ඇති.
ප්‍රේමශාන්ත කුමාරසිරි 🙁 තරුලොව FB පිටුව)
Anna Kikina, Jish Cassada, Nicole Mann , Koichi Wakata ( වමේ සිට )