Non- fiction කැටගරියේ ලා උප / සුළු ශානරයක් බවට පත්කිරීම නිසාදෝ නවකතා, කෙටිකතා, කවි, පරිවර්තන මෙන් අවධානයට ලක්නොවූ නමුත් සාහිත්‍ය ප්රවර්ගයක් වශයෙන් වඩවා ලිවීමෙන් ද දිරිදීමෙන් ද සහය විය යුතු ‘සංචාරක සටහන්’ කෙරේ කියවන්නන්ගේත් විමසන්නන්ගේත් අවධානය යලි යලි යොමුවිය යුතු බව සිහිකැඳවෙන පොතකි, ‘ශුක්රාන් කටාර්’. සමන් අතාවුදහෙට්ටි, නීල් විජේරත්න, රොඩ්නි විදානපතිරණ ඈ ලේඛකයන් කිහිපදෙනෙකුගේ නම් මිස මම ද එම සටහන් කියැවුමෙහි ප්‍රාමාණිකයෙක් නොවීමි. එහෙත්, මැදපෙරදිග රැකියාවට යන පිරිස පිළිබඳව මින් පෙර කියවා නැති බව පමණක් දනිමි.
රශ්මික මණ්ඩාවලගේ පරිවර්තන සහ කෙටිකතා කියවා ඇති මම ඔහුගේ පළමු පොත වන මෙය කියවන්නට වූයේ මීට කිහිප දිනකට පෙරදී ය. මෑතකදී සංජය දොළමුල්ල ලිවූ ‘මදුරාසි සැරිසර- මසාලා චායි’ කියවමින් සිටින අතරතුර මද විරාමයක් වෙනුවෙනි මා ‘ශුක්රාන් කටාර්’ කියවන්නට වූයේ. විරාමය අවසාන වූයේ පොත ම කියවා අවසන් කිරීමෙනි. කියැවූ පළමු ජේද දෙකෙන් ම ඒත්තු ගියේ, සංචාරයක් ගැන ලී පමණින් එය පාඨකයා වැළඳගන්නවා නොව, එය කෙතරම් රසට, ආකර්ෂණීයව සහ විශ්වසනීයව ලියන්නේ ද යන්න මත එය තීරණය වන බවයි. රචකයා භාවිතයට ගෙන ඇති රචනා විලාසය, ජී.බී.සේනානායක, අමරසේකර ඈ ලේඛකයන්ගේත් කුලසේන ෆොන්සේකා, සිරිල් සී පෙරේරා ඈ මුල්කාලීන පරිවර්තකයන්ගේත් කෘති කියවීමෙන් වඩවාගත් බසක ලකුණුත්, එය නූතන බස හා එක්කරගෙන පදමට අනා සුමට කර තැනූ බසක ලකුණුත් සහිත භාෂා සංයමයක් ඇති එකක් බව පැහැදිලිය. ඔහුගේ ම අත්දැකීම් වූ බැවින් රාමුවලට නොබැස අත දිග ඇර කතාව හොඳින් ගලා යාමට බසට ඉඩ තිබේ. ඔහුගේ දිදුලන භාෂා අනන්‍යතාව ඇත්තේ ඔහුගේ පරිවර්තනයටත් වඩා මෙහි බව මගේ අදහසයි.
ඔබ වෙනුවෙන් පළමු ජේදය මෙහි බහාලමි.
‘හිත වාවනු බැරි වී එන්නට, හිතුනොත් ආපහු ගම රට’
කාගේ හෝ ටැබ් යන්ත්‍රයකින් කාමරය පුරා විසිරෙන සේනානායක වේරලියැද්දයන්ගේ ගීතය සිත තව තවත් ඔද්දල් කර දමයි. සේවා මුර අවසන්ව වරින්වර කාමරයට පැමිණෙන නිත්‍ය සාමාජිකයන් අතින් විදුලි බල්බය දැල්වෙන වාරයක් පාසා අවදිවීම සිදුවෙයි. තට්ටු ඇඳන් පිහිටා ඇති කාමරයේ මට හිමිවූයේ උඩ තට්ටුවේ ඇඳක් ය. ඒ අසළ ම ඇති විවර කර ඇති ජනේලය තුළින් කටාරයේ සීතල සුළඟ කාමරයට රිංගා ගන්නේ, පළමුව අසුවන මා අධික සීතලෙන් පෙළා දමමිනි…”
කටාරය ගැන මේ සටහන ලියන්නේ රශ්මික වුණාට, අපිත් ඔහු සමඟ ම කටාරයේ සංචාරය කරන්නාක් මෙන් දැනෙන මට්ටමට ඔහු ලියයි. දනිපනි ගා එක් තැනකින් අනෙක් තැනකට පැනීමේ වුමනාවක් රචකයාට නැත. ඔහු යන තැන, දැනෙන හඟින දේ ගැන තත්පර වෙයි. ඒ වටා ඇති සංස්කෘතිය, අනන්‍යතාව, බස ඈ විස්තර කියාදෙන්නේ කටාරයේ වසර ගණනක් වාසය කළ දැනමුත්තෙකු ලෙසිනි. ඒ විස්තර අමු දැනුම් පද්ධති ලෙස කතාවට නොබස්සා, කතාව ගලා යන අතරේ ම ඇඟට පතට නොදැනෙන සේ රිංගවීමට ඔහු දනී. ඔහු කටාරයේ යන්නේ කොහෙටද, එහිදී දකින, විඳින දෙයට අමතරව ඒ ගැන කීමට ඔහුට ද වෙන ම යමක් ඇත. එක්කෝ එය සිංදුවක්, පිරුලක්, කතාවක්, පුදගල චරිතයක් විය හැක. ‘ලංකාවේ මෙහෙමයි එහෙ මෙහමයි’ යනුවෙන් සංසන්දනයක් කරමින්, කතාන්දර කියාදෙන ආච්චිලා සීයලා මෙනි ඔහු සංචාරක සටහන ලියනුයේ.
‘ශුක්රාන් කටාර්’ වල මා දකින අනෙක් ලකුණ නම්, ලිවීමට අවංක වීමයි. එනම්, ‘මෙය ලිවිය යුතු නැහැ’යි තෝරාගැනීමක් නොකර, අත්දුටු දෑ අව්‍යාජව සටහන් කිරීමයි. ඔහු යන තැනක සිටි සුන්දර කාන්තාවක් දුටුවොත් ඇය සුන්දර නම් සුන්දරයි කීමට මැලි නොවීමයි, ‘ඇය සුන්දරයි කිව්වොත් කියවන අය මා ගැන මොකක් හිතාවිද’ යි කියා නොසිතා ලිවීමයි. ඔහු කාගෙන් හෝ දොසක් ඇහුවේ නම්, එය ද ලියයි. මතු නොව ඒ දොස් කිවූ කෙනාගේ පැත්තෙනුත් හිටගනී. අවසානයේ දොස් කිවූ කෙනාව හොඳ කෙනෙක් කරයි. අත හිල් කර ලේ ගෙන ඔහේ කූඩාරමෙන් තමාව එලියට දැමූ දොස්තරව ඔහු ඩ්රැකියුලා කෙනෙකු කරයි. රචකයා එහි කළ රැකියා කටයුතු, ආශ්‍රය කළ මිනිස්සු, ඔවුන්ගෙන් විවිධ භාෂා ඉගෙනගත් හැටි, විඳි කරදර වැලි කුණාටු මේ සියල්ල මෙහි එයි. එබැවින් මෙය කටාරයේ දින සටහන් එකතුවක් තරම් සමීපවෙයි.
කටාරය ගැන කටාරයේ කෙනෙක්වත් නොලියන මට්ටමේ රසවත් ලිවිල්ලක් රශ්මික ලියා ඇත. ලෝකයේ තවත් බොහෝ රටවල් ඇති නිසා, ඒ සියලු ම රටවල් කරා රශ්මික යවා මාස දෙක තුනක් ඉන්නට ඉඩ දී මෙවැනි ආකාරයේ සටහන් පොත් ඒ එක් රටකට එකක් බැගින් ලියවා ගැනීමේ ආසාවක් මා තුළ පහල වූ බව කීමට ලොබ නොවෙමි. වැනිය යුතු පොත් වැනිය යුතු බැවින් මෙසේ වැනීමි !
ඩිල්ශානි චතුරිකා දාබරේ