තමා මුහුණදෙන අත්දැකීම් කිහිපවර පෙරීමකට ලක් නොකර හෝ කැබලි අඩුවන සේ කපා දැමීමට නොසිතා ඒ මොහොතේ හැඟුණු දැනුනු දෙය ස්වභාවික ස්වරයෙන් ම කවියට ගැනීමකට නම්, නිර්මාණකරුවෙකුට මෙන් ම මිනිසෙකුට වුව ද නොදැමුණු ආත්ම විශ්වාසයක්, නැත්නම් නිර්භයත්වයක් අවශ්‍ය වෙයි. වෙන රටක කෙසේ වෙතත් එය මේ රටේ දී බලවත් වෙයි.
ඉසුරිනී මල්ලවආරච්චිගේ ‘Flowers Teach Me To Let Go’, පළමු කවි සරණිය කියවන්නට ලැබූ මොහොතේ, අප අවධානයට ලක් වූ පළමු කරුණ නම්, පෙර කී ලෙසින් ඇය නිර්මාණකරනයෙහි ලා පෑ නිර්භයත්වයයි. මිනිසුන් ලෙස එකිනෙකා ඇසුරෙහි, පොදු සමාජයේදී හෝ අති සමීප කුටුම්භ ඇසුරේදී වුව කුඩා දැරියක්, තරුණියක්, කාන්තාවක් අත්විඳින, ඇතැම්විට සාම්ප්‍රදායික හැන්දෙන් බෙදීම්, අයථා භාවිත කිරීම්, නොතකා හැරීම්, රාමුගත කිරීම් පිළිබඳ ස්වාත්ම කථන ඇතුළු සුළුපටු නොවන මනෝභාවයන්, සංසිද්ධීන් සම්බන්ධව තම මතය ද මතුවන සේ නිර්භය අදහස් කවියට ගැනීමට ඇය දක්වන සමත්කම මට එකෙනෙහි ම මතක් කළේ, කමලාදාස්ව යි. විටෙක එය පූරුෂමූලික සමාජයට එල්ල කරන කඩු පහරක් මෙන් දිසෙයි. තවත් විටෙක එය තමා තුළ ම කරන සටනක් මෙන් හැඟෙයි. තවත් විටෙක පොළොව දෙදරවන ගල්බෝර පුපුරවන හඬකට පෙරළෙයි.
පළමු මාසික ඔසප් වීමේ දී කුඩා ගැහැනු ළමයෙකුට සිතෙන්නේ කුමක් ද? ඒ ළමයා ලොකුවී යළි එය මතක් කළවිට හැඟෙන්නේ කොහොමද? දරුවෙකු දැරීමට ඔබ සිරුර සූදානම් කියා ගෙදර සාද දැමුවාට, ඇගේ සිතිවිලි ඒ මට්ටමට පැමිණ තිබුණාදැයි ඉසුරිණී විමසයි. දැරියකට තම දිවිය පුරා අසන්නට සිතෙන සාධාරණ නමුත් සමාජය විසින් කට වසා ගිල්වන්නට යෙදුණු මෙවැනි පැන කවියට ගැනීම නිර්භයත්වය මිස වෙන අන් කුමක්ද?
“When I first got my period
My mother threw a party
Your body is ready for
Child – bearing but
Your emotions aren’ yet, my
Health science book read”
බස් රථයකදී කාන්තාවන් මුහුණදෙන අතවර, විවිධ අයුරින් ඔවුන්ව වර නැගෙන සැටි, ගෑස් – පෙට්‍රල් පෝලිම්වල හිඳ දුරකතනයෙන් සොයන ආදරය, සම්බන්ධතාවල ගනුදෙනු ස්වරූප, වත්මන් ලංකාව ඇති තැන ගැන ක්‍රෝධජනක හැඟීම්, විශාදය ආදිය ඉසුරිනීගේ කවිවල එන අනෙක් විශයන් ය.
දැරියක් අඳින පළඳින විදිය ප්‍රශ්න කිරීම බොහෝ මිනිසුන් කරන, නොතරම් දෙයකි. මේගැන හිතන ඉසුරිණී, රුසියන් සුරඟන කතා පොතේ හමුවන වසිලිස්සාට කියන්නේ “බාබායිගා යකින්න වුණත් අහාවි ඔයා ඇඳපැළඳගෙන හිටියෙ මොනවද එදා කියල(වරද ඔයාගෙ බව කියන්න) ඒත්, ඔයා එයාට කියන්න මං ඇඳන් හිටියෙ වෙන මොකුත් නෙමේ මගේ ම ආත්ම විශ්වාසය ” කියල. එතනින් නොනැවතී, සුරංගනා කතා ලියන රචකයන්ටත් ඇය ටොක්කක් අනී.
“Never go to sleep, Vasilissa,
For no time is wise in a patriarchy.
Take care of your step sisters
And tell the storytellers
That you’ll battle this together.
Little Ivan can wait, but abuse cannot”
ඉසුරිනීගේ කවි, කතාවක් මෙන් කියවාගෙන යා හැකි ඒවා ය. ඒවා ගලා යන්නේ ඉහළටත් පහළටත් ඉඩ කඩ ඇති බිමක් දිගේ ය. විශේෂත්වය නම්, කවිය අවසන්වී ඇති බවක් අපට නොදැනීමයි. එනම්, කවියේ මැදින් නවතා ඇති බවක් පෙනීයාමයි. ගඟ ගලායද්දි දඩස් ගා වේලි බැඳීමයි. මේ නිසා, කියවන්නා වේල්ල ළඟදී තාවරවෙමින් කුමක්විණිදැයි සිතන්නට ගනී.ඇය මෙයින් කරන්නේ, කවියේ ඉතිරිය තම සිතැඟි පරිදි පුරවා ගැනීමට හෝ මවා ගැනීමට කියවන්නාට ම ඉඩ තැබීමයි. හිතන්න වෙලාවක් නාමිකව කවියේ ආකෘතිය තුළින් ම ඉතුරු කිරීමයි.
නොදැමුණු නිර්භීත කවි ලියන ඉසුරිණීගේ කවියෙහි තියුණු බව තවතව වැඩේවා !
දිල්ෂානි චතුරිකා දාබරේ