ඔක්කොම පාට කූරු
ඔයා අරන් ගිහින් කියල හිතුවත්
තැන තැන අහුමුළු ගානේ
පොඩි කෑලි ටිකක් තිබුණා
ඒ හින්දා මගේ පින්තූරෙ
අහස රෝසයි කළුයි
ඉර ටිකක් දුඹුරුයි
මල් පෙති වුනත්
එක එක පාටයි
මුහුද නිල් උනේම නෑ
ගොඩක් ඉතිරි වෙලා තිබුණෙ කොළ
පොල් ගස් එක දෙකක්
කහ ගැහිලා තිබුණා
වෙරලේ වැලි දම් පාටයි
ඒක මං ගෑවෙ ශේඩ් කරලයි
හරි කැතයි කියල හිතුනත්
මං කළු පාට ෆ්‍රේම් එකක් ගැහුවා
ඒක වෙනස් ලස්සනයි
මාර දේවල් කියවෙනවා
ස්ට්‍රෝන්ග් ඇඳීමක්
මං නිහඬව අහන් උන්නා
“සියල්ලම මඟ හැරුනු පසුවත්
ආදරය හමුවිය හැකිය”
චම්පා කුමාරි දිසානායක