හසන්තිව මට මුණගැහෙන්නෙ අහම්බෙන්. මංජුල සේනාරත්න අයියගෙ දෙවැනි ගැහැනිය පොතේ Signing event එකකදි තමයි ඒ මුල්ම මුණගැහීම සිද්ධවෙන්නෙ. පොත් කවර ගැන එදා ඒ මුණගැහුණු වෙලාවෙත් අපි ගොඩක් දේවල් කතා කරා. ඒ මුණගැහීමෙන් මාස කීපයකට පස්සෙ හසන්ති තීරණය කරනවා එයාගෙ අලුත් නවකතාවෙ සම්පූර්ණ වැඩ කටයුතු අපට භාරදෙන්න.
ඇතිවෙන්න කාලයක් සහ නිදහසක් එක්ක මගේ ලඟට ආව ඒ හුරුබුහුටි පොත තමයි ‘කවි වරම’ කියන්නෙ.
ඇත්තටම හසන්තිගෙ පොත කියවන්න මට ගතවුණේ පැය කීපයයි. ඒ තරම්ම උනන්දුවක්, ආසාවක් ඇතිකරපු පොතක් ඒක. එක හුස්මට කියවගෙන යන්න පුළුවන් කතාවක්.
මේ කතාවෙ ඉන්නවා චරිත කීපයක්. ප්‍රධාන චරිතය අරුන්දතී. අනිත් කෙනා කස්සප. අරුන්දතීට එයා කැමැත්තෙන් හිටපු එයාගෙ ජීවිතේ අහිමි වෙන්නෙ කස්සප නිසා. එහෙම අහිමි වුණු තමන්ගෙ ජීවිතේ හොයාගෙන අරුන්දතී යන ගමන තමයි කතාවට පාදක වෙන්නෙ. ඇත්තටම මේ කතාවෙ සමහර තැන් මගේ ජීවිතේ ඉතාම සමීප අත්දැකීම් විදියට මම විඳල තිබුණා මීට කලින්. ඒ නිසාම මට හසන්තිගෙ නවකතාව ටිකක් සැරට දැනුණා.
කතාව කියවලා කවරය හදන්න පටන් ගනිද්දිම මගේ ඔලුවට ආවෙ රොබරෝසියා මල්. මොකද නවකතාවෙ හැම තැනකම සහ අරුන්දතීගෙ ජීවිතේ හැම තැනකම විසිරිලා තිබුණෙ රොබරෝසියා මල්. ඒ වගේම කස්සපගෙයි, අරුන්දතීගෙයි සම්බන්ධය, ඒ දෙන්නගෙ ජීවිත, ඒ ජීවිතවල ස්වභාවය වගේ කාරණාත් මට කියන්න ඕන වුණා.
මෙතන ගැහැනු කෙනෙකුගේ පිළිමයක් පාවිච්චි කරන්න තීරණය කළෙත් හේතු කීපයක් ඇතුව. පළවෙනිම කාරණය තමයි, පිළිමවලට තමන්ට ඕන විදියට අඬන්නවත්, හිනාවෙන්නවත් බෑ. හරියට අරුන්දතීට වගේ. එයාගෙ ආත්මය වෙන දෙයක් ඉල්ලද්දි ජීවිත කාලයක්ම එයාට සිද්ධ වෙනවා කස්සප විසින් අඹපු හිනාවෙන පිලිමයක් ඇතුලට වෙලා ගල් ගැහිලා ඉන්න. එයාගෙ ආත්මය හඬාවැටෙද්දි පවා පිළිමය හදපුකෙනාගෙ නියමය පරිදි අරුන්දතී කියන පිළිමයට හිනාවෙන්න සිද්ධ වෙනවා. තමන් සතුටින් ඉන්න බව හැමෝටම කියන්න එයාට සිද්ධවෙනවා. අවුරුදු සීයක් ගියත් ඒක එහෙමමයි. එයාට බෑ තමන්ගෙ ඇත්ත හැඟීම් එලියට දෙන්න. අඩුතරමේ කඳුළු බිංදුවක්වත් පිට කරන්න තහනම් පිළිමවලට.
තව කාරණයක් තමයි,
ඒ තීරු තීරුවලට ඉරලා තියෙන පිළිමයේ කොටස් ටික තියෙන්නෙ හරිම පිලිවෙලට නෙමෙයි. ඇස් තියෙන කොටස එහෙම තියෙන්නෙ අනිත් පැත්තට හැරිලා. ඒ කියන්නෙ අපේ ඇහැට හුරු, ස්වාභාවික කාන්තා රූපයේ හැඩය නෙමෙයි, ඒක ටිකක් විකෘති වෙලා තියෙන්නෙ.
ඇත්තටම විකෘතිය තියෙන්නෙ කොතනද? ලස්සනට අඹලා තිබුණු පිළිමෙද? එහෙම නැත්නම් තීරු තීරුවලට ඉරලා ආයෙ එක යට එක තියලා හදපු රූපයෙද?
සමහරවිට පිළිමයේ ඉන්න ලස්සන කාන්තාව ඇත්ත අරුන්දතී වෙන්නත් පුලුවන්. ඒක තීරු තීරුවලට ඉරලා තමන්ට ඕන පිලිවෙලට තියාගන්න උත්සාහ කරේ කස්සප වෙන්නත් පුලුවන්. එහෙමත් නැත්නම් කස්සප තමන්ට ඕන විදියට හදපු පිළිමය තීරු තීරුවලට ඉරලා අරුන්දතී තමන්ට ඕන විදියට තමන්ව හදාගත්තා වෙන්නත් පුලුවන්. කොහොම වුණත් එතනින් කියවෙන්නෙ කෙනෙක් තව කෙනෙක්ව තමන්ට ඕන විදියට නිර්මාණය කරගන්න යන එකෙන් සිද්ධවෙන අවුල. ගොඩක් වෙලාවට අපි අපේ ජීවිත තව කෙනෙකුගෙ අත්දෙකක් උඩින් තියන්නෙ ලොකු විශ්වාසයක් ඇතුව. එහෙම කරද්දි අපි හිතන්නෙ නෑ එතන තමන්ට තමන්වම අහිමි වීමේ අවදානමකුත් හැංගිලා තියෙන බව.
ඇන්ටික් බඩු එකතු කරන මිනිස්සුත් ආසාවට ඔය වගේ පිළිම එකතු කරනවා. ගොඩාක් ලොකුවට සල්ලි වියදම් කරලා ඒ වගේ වටිනා පිලිම අරගෙන එයාලගෙ පෞද්ගලික ගැලරි ඇතුලෙ ලස්සනට තියල තියනවා. ඒත් ඒ පිලිමවලට තමන්ගෙම ජීවිතයක් තිබුණු බව කාලෙන් කාලෙට වෙනස් වෙන ඒ අයිතිකාරයො දන්නෙ නෑ. එයාලට වැදගත් වෙන්නෙ පිළිමෙ හිනාවෙන එක විතරයි. එතනින් එහා දෙයක් එයාලට දැනෙන්නෙ නෑ. පිළිමවලටත් බෑ තමන් ඇත්තටම ඉන්නෙ සතුටින්ද නැද්ද කියලා කියන්න. ඉතිං ඒ පිළිමවලට සිද්ධවෙනවා සියවස් ගණනාවක් තිස්සේ අතින් අතට, ගැලරියෙන් ගැලරියට මාරු වෙවී ඉන්න සහ ඒ හැම දෙයක්ම දරාගෙන කිසිම වෙනසක් නැතුව හිනාවෙන්න. තමන්ව නිර්මාණය කරද්දි කවුරු හරි කෙනෙක් මූණට එකතු කරපු සුන්දර හිනාවකින් හැම වේදනාවක්ම වහගන්න.
ඒ වගේම ඒ පිළිමය සම්බන්ධ කොටසේ තියෙන්නෙත් ටිකක් දුර්වර්ණ වුණු, පෞරාණික පෙනුමක්. හරියට කස්සපට ගෑනු සම්බන්ධයෙන් තියෙන සම්ප්‍රදායික, අටුවන් බැහැපු පරණ අදහස් වගේ. එහෙම දුර්වර්ණ වුණු පසුබිමක පිළිමය තියෙන්නෙ.
ඒත් පෙරබිමේ තියෙන සජීවී සහ වර්ණවත් රොබරෝසියා මල් ගොන්න ඊට හාත්පසින්ම වෙනස්. හරියට අරුන්දතීගෙ ඇත්ත ජීවිතේ වගේ. ඒකයි පසුබිමේ තියෙන කස්සප විසින් හදපු පරණ, අඳුරු ජීවිතෙයි අතරෙ ලොකු වෙනසක් තියෙනවා.
ඒ වගේම මේ රොබරෝසියා මලුත් අරුන්දතීගෙ ජීවිතේ හැම තැනකටම සම්බන්ධයි. කොටින්ම කිව්වොත් එයාගෙ ආත්මය එක්කම සම්බන්ධ දෙයක් රොබරෝසියා මල් කියන්නෙ. ඒකත් එක්ක බැඳුණු අතීත මතකය තමයි අර දුර්වර්ණ පසුබිමේ පවා අරුන්දතීව ජීවත් කරවන්නෙ.
මේ තමයි ‘කවි වරම’ කවරය ගැන මගේ අදහස. මම කරන හැම කවරයක් ගැනම මට කියන්න කතාවක් තියෙනවා. සමහරවිට ඒක කවරය දකින කෙනාට ඒ ගැන දැනෙන දේ ම නොවෙන්න පුළුවනි. ඒත් මම කැමතියි මේ විදියට මගේ කතාවත් බෙදාගන්න. මොකද මේ හැම දෙයක්ම මේ විදියට එකතු වෙන්නෙ හේතුවක් ඇතුව.
කොහොම වුණත්, මේ වෙනකොට ඒ පොත මුද්‍රණය වෙලා හසන්තිගෙ අතට ලැබිලත් ඉවරයි. ඉතාම උසස්, අනර්ඝ නිමාවකින් ඒ පොත මුද්‍රණය කරන්න මහන්සි වුණේ නියෝ ග්‍රැෆික්ස් කට්ටිය. ඒ සැලකිල්ලට අනේක වාරයක් ස්තූතියි.
මේ පොතට Pocket Novels කියන සංකල්පය කිට්ටුවෙන් යන හුරුබුහුටි පෙනුමක් දෙන්න අපට ඕන වුණා. මේ වගේ අමාරු කාලෙක මිනිස්සු සහ පොත් අතරෙ සම්බන්ධය තියාගන්න ඒ වගේ වැඩ උදව්වක් වෙයි කියන විශ්වාසය ඇතුවයි අපි එහෙම කළේ.
ඉතින්,
හසන්ති තුඩුහේන ලියපු ‘කවි වරම’ කියන ඒ ආදරේ හිතෙන නවකතාව ඊයේ (නොවැම්බර් 12) ජනගත වුනා.
සෞම්‍ය සඳරුවන් ලියනගේ