කෙටිකතාව ක්ෂණයකින් කම්පනයට පත් කළ සාහිත්‍ය කලා මාධ්‍යයකි. එය කෙසේ කම්පනයකට ලක් කරනවාද යන්න තීරණය කෙටිකතාකරුවාගෙන් කෙටිකතාකරුවාට වෙනස් වේ. ප්‍රභාත් ජයසිංහයන් කෙටිකතා සංග්‍රහයන් දැනට හයක් රචනා කර ඇති අතර මා හට හමුවූ පළමුවෙනි කෙටිකතා සංග්‍රහය මෙය වේ. (මකර තොරණ ද මේ දිනවල කියවමින් පවතී.)
කෙටිකතාවක් තුළ මා බලාපොරොත්තු වන ක්ෂණික තිගැස්ම කෙටිකතා සංග්‍රහය තුළ ඇති ඇතැම් කෙටිකතා තුළින් ප්‍රබල ලෙස දැනුණු මුත් ඇතැම් කෙටිකතා තුළින් එතරම් ප්‍රබලත්වයත් ඉස්මතු නොවී ය.
මෙහි පළමු කෙටිකතාව වන හීන බන්ධන කෙටිකතාව ඉතා සාර්ථක කෙටිකතාවකි. කතුවරයා වාක්‍ය අතර සැඟවූ යටිපෙළත් භාෂාව තුළින් ව්‍යංග්‍යාර්ථවත් කරන අදහසුත් තුළින් ප්‍රබල සමාජ විමර්ශනයක් සිදුවේ. ආකෘතිමය වශයෙන් පවා කලාත්මක බවක් ගන්නා හීන බන්ධන කෙටිකතාව සාලිය අශෝකමාලා පුරාණෝක්තිය වර්තමානයට කැඳවාලයි. ඇතැම් තැන් නොගැළපෙන මුත් ඇතැම් තැන් ඉතා සියුම් ලෙස කතුවරයා දැක්වීම නිසාවෙන් පාඨකයාට වින්ඳනයක් ලද හැකි ය.
අශ්ව මූණ හා මුගටි මූණ නම් වූ මෙහි එන දෙවැනි කෙටිකතා යාථාර්ථවාදී ලක්ෂණ යම් තරමක් දුරට ඉක්මවා යන කලාත්මක කෙටිකතාවකි.කෙටිකතා සංග්‍රහය තුළ ප්‍රබලම ලෙස පාඨකයා සහකම්පනයකට ලක් කරනුයේ මෙම කෙටිකතාව බැව් මගේ අදහසයි. එයද අතීත ජනප්‍රවාදයක් මත පිහිටමින් රචනා වන මුත් කායර්බහුල සමාජයක දිවිගෙවන තරුණ යුවලක් සාම්ප්‍රදායික පවුල් ඒකකයක සම්පූර්ණත්වය පතා සිදුකරන නවීම විද්‍යාත්මක පර්‍යේෂණත් සම්ප්‍රදාය මත වන අදෘශ්‍යමාන බලවේගයන් ද තුළ මංමුලා වන ස්වරූපයක් දක්වාලයි. කෙටිකතාවේ අවසානය සහෘදයා කම්පනයට ලක් කරනුයේ ඔවුන්ගේ අනාගතය ගැන අවිනිශ්චිතාර්ථ දනවමිනි.
“කොල්ලෙක්” නම් කෙටිකතාවද මෙහි සාර්ථක ලක්ෂණ වඩාත් තීව්‍ර ලෙස පෙන්නුම් කරන කෙටිකතාවකි. අතීතයේ සිදු වූ යම් සිදුවීමක ප්‍රතිඵල වර්තමානයට අනිසි අයුරින් බලපෑම් කරන අයුරු සියුම් ව ඉදිරිපත් කරයි. මෙය කියවන විට අප්පච්චී ඇවිත් නම් වූ නවකතාවද සිහි ගැන්වුණ මුත් මෙය වෙනත් තේමාවකින් හා ආකෘතිමය වශයෙන් ද වෙනස් ය. සුජී නම් වූ තරුණයාගේ චිත්තවේග නිරූපණය කරන අයුරු ඉතා අපූර්ව ලෙස කෙටිකතාකරුවා සිදු කර ඇත.
රිටයර්ඩ් (අන්)හර්ට් නම් වූ කෙටිකතාව ද මෙහි එන සාර්ථක නිර්මාණයකි. කෙටිකතාකරුවා ආකෘතිමය වශයෙන් මෙය ගොඩ නගා ඇති අයුරු සිත් ගනී. ඔහුගේ මකර තොරණ කෙටිකතා සංග්‍රහයේ එන පොලිස් නිළධාරියා මරුට කෙටිකතාවද මෙම කෙටිකතාවේ ද හැඩතල ගන්නා තේමාව ද මීට යම් තරමක් දුරට සමාන කෙටිකතාවකි. නමුත් ඊට වඩා සාර්ථක ලක්ෂණ මෙම කෙටිකතාව තුළ දැන ගත හැකි ය.
කෙටිකතා සංග්‍රහය තුළ අනෙක් කෙටිකතා තුන වන
ස්වර්ණ කාය
කිඳුරු සිංහයා සහ නජීබ්
ඇද හිනාව, නටන ඇස් සහ මැෂින් තුවක්කු
නම් කෙටිකතා තුළ එතරම් සිත් ගත්තේ නැත. මෙහි ස්වර්ණ කාය කෙටිකතාව කතුවරයාගේ පරිකල්පනයේ අග්‍රස්ථානයක් පෙන්නුම් කරන මුත් පිටු 40කට ආසන්න කියවීම තුළ ඒකීයධාරණාවට අතරව තව තවත් අනු ධාරණා මතු වීම නිසාවෙන් රස තුනී වී යයි. එය සංස්කරණය වූයේ නම් මෙහි එන හොඳ ම කෙටිකතාව වන්නට ඉඩ තිබේ. කිඳුරු සිංහයා සහ නජීබ් යන කෙටිකතා තුළින් මාධ්‍ය නිදහස සහ පුද්ගල චිත්තවේග සමාජ විවේචනයයක් සිදු වන මුත් එයද පිටු 40කට වඩා අතිශය දීර්ඝ වීම නිසා පාඨකයා අවසානය වන තුරු ඉවසීම ප්‍රගුණ කළ යුතු ය. ඇද හිනාව, නටන ඇස් සහ මැෂින් තුවක්කු පෞද්ගලික ව මා කැමති මාතෘකාවක් නොවන නිසාත් සැහැල්ලු කතා ශෛලිය නිසා එතරම් සිත් ගොත් නමුත් වෙනකෙක්ට එය හොඳ ම කෙටිකතාවක් විය හැකි ය.
සමස්තයක් වශයෙන් ගත් කළ කෙටිකතා සංග්‍රහය තුළ සෑම කෙටිකතාවකම දැක්වෙන උත්ප්‍රාස රසය අගය කළ මනා ය. කෙටි වැකි තුළින් ධ්වනිත කරන ව්‍යංග්‍යයන් ද කෙටිකතාවලට අගයක් ලබා දේ. එලෙස ගත් කළ වසරේ හොඳ ම කෙටිකතා සංග්‍රහ අතර මෙය තිබීම පුදුමක් නොවන්නේ ය.
ගොඩගේ සාහිත්‍ය සම්මානය – 2019
විද්‍යෝදය සාහිත්‍ය සම්මානය – 2019
රාජ්‍ය සම්මාන නිර්දේශිත
රජත පුස්තක සම්මාන නිර්දේශිත
අකලංක මාතරගේ