බුත්සරණේත් අමාවතුරේත් එන ‘නාලාගිරි දමනය’ මගේ සම්භාව්‍ය සාහිත්‍යය නහර කවදත් ප්‍රීණනය කරන කතාවක්. අලියෙක් ඇතෙක් වගේ නමක් එදිනෙදා කතාබහකදි ඇහුණත් මට මතක් වෙන්නෙ නාලාගිරි. අලි ඇත්තුන්ගෙ හැබෑම හැසිරීම් ඉතා ම සියුම් ව අධ්‍යයනය කරල ඇඟට පත්තියම් කරගෙන ලිව්ව කතාවක් බුත්සරණේ තියෙන්නෙ. අමාවතුරෙදි මේක බුද්ධිවාදී ප්‍රවේශයක් සමඟ මුල් බුදුදහම තුළ හිටගන්නව. බුත්සරණෙ අලංකාර බාහුල්‍යයෙන් වීර රස මවමින් අපිවත් ඇතෙක් ගානට ම කුලප්පු කරනවා.
මේ කතාවෙදි මගේ සිත්ගත්තම තැන නාලාගිරි මත්වෙලා දඟලන (තමන්ගෙ හෙවනැල්ල බිම වැටිලා තියෙනව දැකල ඒ ඉන්නෙ තව අලියෙක් කියල හිතල දළ දෙකෙන් පොළොවෙ පස් විසිරෙන්න ම පොළොවට අනින) ස්වභාවයටත් වඩා, “ඈත දූලින් වැසී ගිය ඇත් රජයැ..” නමින් කරන බුදු- ඇත් තුලනයටත් වඩා, දමනය වුණායින් පස්සෙ එයාගෙ විපර්යාසය පෙන්වන අමු අව්‍යාජ හැසිරීම් ටිකටයි. වල්ගය කකුල් අස්සෙ ගහගෙන, බුදුන් දිහා වසීකෘතව බලමින්, බුදුන් හිටි තැන පොළොවෙ තියෙන පස් අරන් ප්‍රීතියෙන් හිසේ ඕමින්, බුදුන් දිහා බලබල පස්සෙන් අස්සට අඩි තිය තිය ඇත් හලට යන දැමුනු නාලාගිරි ගැන කියවද්දි ඇතිවෙන්නෙ සුරතල් බව මුසු අනුකම්පාවක්.
නාලාගිරිගෙ මේ සොබාවෙ මට ආයෙ මතක් වුණේ, නදුන් යසිත දසනායකගේ ‘විල් නෙතක මල් මතක’ කවි පොතේ කවියක් ආයෙ අහම්බෙන් පෙරළලා කියවද්දි. කවියෙ නම ‘ඇත් වලප’. සුරාසොඬ සැමි වලප, කිඳුරු වලප කියවල තිබුණට ඇතෙක් අඬනවා අපි අහල නෑ ඇතාගෙ ම හඬින්.
මස්ඉඹුලගේ ‘හස්ති වියරුව’ත්, රත්න ශ්‍රීගේ ‘සත්වෝද්‍යානයකදීය’ත්, නන්දසිරි කීඹියහෙට්ටිගේ ‘ගජමුතු සහ කඳුළු’ වලදීත්, රුවන් බන්දුජීවගේ ‘වියළි නැළවිලි’ත්, ලක්ෂාන්ත අතුකෝරලගේ ‘තනියාට හසු වූ මහඉලුප්පල්ලම ශ්‍රී ලාල්ගේ කොළඹ කවිය’ත් අලි – මිනිස් හැඟීම් කලාප එක්ක විවිධ තලවලින් බද්ධ වෙනවා. ‘ඩොනා හෙවත් ඩොනල්ඩ් මාමා’ කවියෙදි ‘අර නාලාගිරි ඇතා වගෙයි බීලා නැති පුතා’ පැදිපෙළේ තනුවෙන් මංජුල වෙඩිවර්ධන කවියෙන් බයිලා සාජ්ජයක් මවනවා. අතුල අධිකාරී ගයන “සොඬින් නෙලුම් මල ගෙනියන” සිංදුවෙ කුංචනාද තාලෙ, පයේ බැඳලූ දම්වැල බිම දිගේ ඇදෙන කිනිකිනි සද්දෙ එක්ක ඒ වදන් පෙළ අපිව කරුණ රසයෙන් වුණත් බමවනවා. ඔය සේරම වෙද්දි, නදුන් යසිත කරඬුව ගෙනියන ඇතා පේනමානයෙ ඉඳගෙන, ඇතාගෙ දෘෂ්ටියෙන් කවියට එබෙනවා.
මම කැමතියි ඔහු මේ කවියේ නිමිත්ත ලියලා තියෙන විදියට. හරියටම කිව්වොත් මේ වචන ටිකට, “කරඬුව පිටින්ම පෙරළුණු ඇතාට…”. කවියට යන්න කලින් නිමිත්තෙන් ම අපිට වාග් චිත්‍ර මැවෙනවා. මේ වචන ටික උපහාසමය බවකුයි ගෙනෙන්නෙ. කරඬුව රකින්නයි ඇතා ඉන්නෙ, කරඬුවට ඇතා ගරුකරනවා වගේ දේවල් අපිට පෙරහැර කාලෙට අහන්න ලැබෙනව. හැබැයි, ඇතා කුලප්පු වුණාම කරඬු මතක නෑ, ඒවා කැලේ. මේ ඉන්නෙ එක්තරා විදියකින් හීලෑ කළ සතෙක්. ඇතා වැටුණෙ නිකම්ම නෙමේ කරඬුව පිටින්මයි කියද්දි අර කියන හින්ට් පහර ලාවට වදිනව දැනෙනවා. ඇතා වැටුණෙ අර පුහු මතවලටත් පහර දීගෙනමයි. නිමිත්තට යොදන වචන සාධනීයයි.
මේ කවියෙ පෙරහැරේ ජංජාලයක් වෙලා. පෙර්හැරේ කරඬුව ගෙනිච්ච ඇතා කුලප්පුවෙලා. ඇතාගෙ ග්‍රහනයෙන් ඇත්ගොව්වායි තව පිරිසකුයි මියගිහින්. ඇතාට කතාකරන්න අඬන්න පුලුවන් වුණා නම් මොනවා කියාවිද? ඇතා ඉන්න තත්වෙ තේරුම්ගන්න නම් අපිට ඇතාගෙ සපත්තුවට බහින්න වෙනවා.
“සෙනඟ මහ ගොඩක් මට දකිද්දිත් බය වුණා
ඇත්තමයි කරඬුවත් මගෙ හිතත් හෙල්ලුණා
ඇඳුම අස්සෙන් ඇවිත් හෙණ්ඩුවත් කැරකුණා
‘හෙමිං යං හෙමිං යං’ ඇත්ගොව්ව සැරවුණා”
අලංකාර ඇතිපමණ යොදලා මේ කවිය කුරුවල් කරන්න කවියගෙ අදහසක් නෑ. ඔහුට හිතෙන දැනුනු ටික සෘජු කථන ක්‍රමයෙන් ඔහු කියනවා. වනේ නිදහසේ හිටි ඇතාව හෙණ්ඩුවෙන් මේච්චල් කරල ඇත්ගාලක හුදකලාව තියන් ඉදලා, අවුරුද්දකට සැරයක් පෙරහැරක් වගේ මිනිස්සු බහුලව ගැවසෙන, මහ හඬ ඇහෙන, එළි දැල්වෙන තැනකට ගෙනාවම තිරිසන් සතෙක්ට මීට එහා දෙයක් දැනෙන්න පුලුවන්ද? ඇතා කියනවා, “සෙනග දැක්ක ම, හෙන්ඩු තුඩ ඇනුනම, මං විතරක් නම් බැරියැ ඔයාලා ඉහළින් වන්දනා කරන මේ කරඬුවත් හෙල්ලුණා”. ආයෙ අර හීනි උපහාසෙ එනවා.
ඊළඟ කවියෙ තියෙන්නෙ මෙවැන්නක්. “දවල් කන්න දීපු පොල්බඩේ දිරපු එකක් නිසා හරියට කරඬුව දරන්න ඇඟට හයියක් තිබ්බෙ නෑ බඩ පුරෝ දාල. ඇත්ගොව්ව හිටියෙ අඩි ගහලා නිසා මට ඒ අමුත්ත, ආගන්තුක බව, දුරස්බව, ඒ ගඳ ඇල්ලුවෙ නෑ, මං හිතේ අවුලකින් හිටියෙ මිත්‍රයෙක් නැතිව”. මෙතනදි කවියා, ඇතාගෙ මෙන්ටලිටියෙ පඩි පේළි අතරින් කිඳා බහිනවා මිනිහෙක්ගෙ ස්වභාවය වුණත් තේරුම්ගන්න පුලුවන් වෙන විදියට. ඒකිව්වෙ කායිකවත් මානසිකවත් කෙනෙක් වැහැරිලා ඉද්දි ඒ කෙනා පත්වෙන අපහසුව. ඒවෙලාවට කරඬුවක් නෙමේ, මහාමේරු පර්වතය හිස උඩ තිබ්බත් දරන්න අමාරුයි.
“හොඬේ කාගෙද අතක පැටලිලා කැරකුණා
ඇත්‍තමයි මට මතක එච්චරයි එච්චරයි…”
අන්තිම කවියට එද්දි තමන් කළේ මොකක්ද කියල තමන්ටවත් මතක නැති බව ඇතා කියනවා. මේ ඇතා කුලප්පු වුණු මොහොත. හොඬේ කාගෙද අතක පැටලුණා විතරක් දැනුණා, ඉන් එහාට මොකක් වුණාද මතක නෑ. ඔහු මේ කවිය අවසන් කරන විදිය බලන්න. ඇතාගෙන් කවුරුහරි ප්‍රශ්න කරද්දි ඇතා දුකෙන් “මං දන්නෑ මට මොකක් වුණාද කියල, මට අන්තිමට දැනුනෙ මෙහෙමයි, මට මතක එච්චරයි, මං දන්න සේරම කිව්ව, තවත් මට වද දෙන්නපා” වගේ දෙයක් මේ කියන්නෙ.
කවියේ පීක් එක මේ, අපිව හිතන්න ඉතිරිකරන තැන මේ, භාව කම්පනය කරන වචන දෙක මේ,
“එච්චරයි එච්චරයි..”
ඩිල්ශානි චතුරිකා දාබරේ