ද්විත්ව තාරකා ( Binary stars ) පිළිබඳ විශේෂඥයකු ලෙස සැලකෙන බ්‍රිතාන්‍ය තාරකා විද්‍යාඥයකු වන එක්සත් රාජධානියේ වෝර්වික් සරසවියේ මහාචාර්ය තෝමස් මාෂ් ගේ අජීවී සිරුර චිලී රාජ්‍යයේ ඇටකාමා කාන්තාර ප්‍රදේශයට ආසන්නව තිබී සොයාගෙන තිබෙනවා.
පසුගිය සැප්තැම්බර් මස 16 වෙනි දින සිට අතුරුදහන්ව සිටි ඔහුගේ සිරුර සොයාගෙන තිබෙන්නේ යුරෝපීය දකුණු නිරීක්ෂණාගාරයට අයත් උතුරු චිලී රාජ්‍යයේ La Silla නිරීක්ෂණාගාරයට ආසන්න ප්‍රදේශයක තිබියදීයි.
61 වියැති මහාචාර්ය තෝමස් මාෂ් පසුගිය සැප්තැම්බර් මස 14 වෙනි දින දින හතරක පර්යේෂණ කාර්යයක් සඳහා මෙම නිරීක්ෂණාගාරය වෙත පැමිණ තිබුණා.
එහෙත් පසුගිය සැප්තැම්බර් 16 වෙනි දින අවසන් වරට ඔහු දැකීමෙන් පසු අතුරුදහන්ව සිටි ඔහුගේ සිරුර දින 55කට පසුව පසුගිය නොවැම්බර් 17 වෙනි බ්‍රහස්පතින්දා දින සොයාගෙන තිබෙනවා.
එයට පෙර නොවැම්බර් 15 වෙනි දින ඔහුගේ ජංගම දුරකතනය සහ ඇඳුම් සමහරක් එම ප්‍රදේශයේ තිබී හමු වූ අතර සිරුර සොයා ගන්නා විට පාවහන් සහ කොට කලිසමක් තිබුණු එහි ඉණෙන් ඉහළ කොටසේ ඇඳුම් තිබුණේ නැහැ.
ලොව තිබෙන තාරකා විද්‍යා නිරීක්ෂණාගාර වලින් හොඳම එකක් වන La Silla නිරීක්ෂණාගාරය තෝමස් මාෂ් වාර ගණනාවක්ම පර්යේෂණ සඳහා පැමිණ තිබෙන ස්ථානයක් වෙනවා.
මුහුදු මට්ටමෙන් මීටර් 2,400ක් ඉහළින් පිහිටි මේ නිරීක්ෂණාගාරයට දුරේක්ෂ 13ක් අයත් වෙනවා.
මහාචාර්යවරයාගේ සිරුර සොයාගෙන තිබෙන්නේ නිරීක්ෂණාගාරයට කිලෝ මීටර් 3.2ක් ඈතින් ඇටකාමා කාන්තාරය කෙළවර ඇති කඳුකර ප්‍රදේශකින්.
ඔහු මේ පර්යේෂණ චාරිකාව පැමිණ තිබුණේ 23 හැවිරිදි බ්‍රිතාන්‍ය ජාතික ආචාර්ය උපාධි සිසුවෙකු සමගයි.
මාෂ් ගේ අතුරුදහන් වීමට පෙර දින රැයේ ඔහු තමාගේ කාර්යයන් පිළිබඳව සෑහීමකට පත් නොවන බවත් , තාරකා විද්‍යාව, භෞතික විද්‍යාව හෝ විද්‍යාව පිළිබඳව තමාට උනන්දුවක් නැති බවත් පවසා දෝෂාරෝපණය කළ බව එම සිසුවා සාක්ෂි දී තිබෙනවා.
එහෙත් මාෂ් ගේ අතුරුදහන් වීම හෝ මරණය සම්බන්ධයෙන් මෙතෙක් එම සිසුවා සැකයට භාජනය වී නැහැ.
ද්විත්ව තාරකාවල පරිණාමය සහ ඒවායේ වර්ධනය පිළිබඳ ජාත්‍යන්තරව පිළිගත් විශේෂඥයකු වන මහාචාර්ය තෝමස් මාෂ් දශක හතරක් පුරා නිරීක්ෂණාත්මක තාරකා භෞතික විද්‍යාව වෙනුවෙන් කළ මෙහෙවර නිසාම එක්සත් රාජධානියේ රාජකීය තාරකා විද්‍යා සංගමයෙන් පිරිනැමෙන හර්ෂල් පදක්කම 2018 වසරේදී දිනා ගත්තා.
ඔහුගේ මරණයට හේතුව තවමත් නිශ්චිතව සොයාගෙන නැහැ.
ප්‍රේමශාන්ත කුමාරසිරි