ග්‍රාහකයක නම රැන්දූ ශ්‍රී ලාංකික තාරකා විද්‍යඥයා

මේ සටහන ආචාර්ය නලින් සමරසිංහ පිළිබඳවයි. ඔහු එක්සත් ජනපදයේ ඇරිසෝනා වල ටක්සන් හි පිහිටි ග්‍රහලෝක විද්‍යා ආයතනයේ ( Planetary Science Institute – PSI ) සේවය කරන ජ්‍යේෂ්ඨ විද්‍යාඥයෙක් වෙනව.

ග්‍රහක ( Asteroids ) නමින් ද හඳුන්වනු ලබන කුඩා ග්‍රහයන් ( Minor Planets ) කීපයක්ම සොයාගත් ග්‍රහලෝක විද්‍යාඥයෙකු වන මේ ශ්‍රී ලාංකික පුත්‍රයා සෞර ග්‍රහ මණ්ඩලයට අයත් ධූමකේතු,, ග්‍රහක සහ කුයිපර් පටියට අයත් වස්තු පිළිබඳව පර්යේෂණ වල නියැලී සිටිනව.

පරිපාලන නිලධාරියෙකු ලෙස සේවය කළ ඩී.ජේ. සමරසිංහ පියාණන්ට දාව 1958 වසරේදී උපත ලද නලින් සමරසිංහයන් 1964 වසරෙදි රත්මලාන හේන විද්‍යාලයට ඇතුල්ව 8 වෙනි ශ්‍රේණිය දක්වා ඉගෙනුම ලබනව.
අනතුරුව 1972 වසරෙදි කොළඹ නාලන්ද විද්‍යාලයට ඇතුල් වන ඔහු 9 වෙනි ශ්‍රේණියේ සිට 1976 වසරේ උසස් පෙළ විභාගය දක්වා එහි ඉගෙනුම ලබනව.

ගණිත අංශයෙන් ඔහු උසස් පෙළ හදාරන්නෙ තාරකා විද්‍යාව කෙරෙහි තිබූ උනන්දුව නිසාමයි.
නාලන්දයේ ඔහුගේ පන්තියේම සිටි තවත් තාරකා විද්‍යා ලෝලියෙකු වන තිලක් හේවාගම අද නාසා ආයතනයේ සේවය කරන තවත් ශ්‍රී ලාංකීය පුත්‍රයෙකු වෙනව.

උසස් පෙළ විභාගය සමත්ව 1977 වසරේදී කොළඹ විශ්ව විද්‍යාලයට ඇතුල් වන නලින් සමරසිංහ 1981 වසරෙදි භෞතික විද්‍යා පිළිබඳ ගෞරව උපාධියක් ( B.Sc. Hons. )හිමි කර ගන්නව.

ඉන්පසු එක්සත් ජනපදය බලා යන හෙතෙම එහි මේරිලන්ඩ් වල College Park වල පිහිටි මේරිලන්ඩ් සරසවියට ඇතුල්ව 1985 වසරෙදි තාරකා විද්‍යාවෙන් විද්‍යාපති උපාධිය ( M.Sc. ) ලබා ගන්නව.

අනතුරුව වල්ගා තරු පිළිබඳව ලොව සුපතල විද්‍යාඥයෙකු වූ ආචාර්ය මයිකල් ඒෆන් ගේ අධීක්ෂණය යටතේ හැලී ගේ ධූමකේතුවෙහි භ්‍රමණය පිළිබඳව සිදු කළ ආකර්ෂණීය පර්යේෂනයක් තම පර්යේෂණ පත්‍රිකාවට යොදාගත් ඔහු මේරිලන්ඩ් සරසවියෙන්ම 1992 වසරෙදි ආචාර්ය උපාධිය දිනා ගන්නව.

ඉන්පසු පශ්චාත් ආචාර්ය උපාධි අධ්‍යයනයන් ඇරඹීම පිණිස එක්සත් ජනපදයේ ජාතික ප්‍රකාශ තාරකා විද්‍යා නිරීක්ෂණාගාරයේ ( NOAO ) සේවයට එකතු වෙනව.

ඉන් අනතුරුවයි ඔහු එක්සත් ජනපදයේ ග්‍රහලෝක විද්‍යා ආයතනයේ ( PSI ) සේවයට එක් වෙන්නෙ.
ආචාර්ය නලින් සමරසිංහ ඇමරිකානු තාරකා විද්‍යාඥ Tod R. Lauer සමග එක්ව 2000 වසරේ නොවැම්බර් මස 30 වෙනි දින සොයාගත් කිලෝ මීටර් 1.3 ක් වන කුඩා ග්‍රහ වස්තුව තම ප්‍රථම උපාධිය ලබාගත් ස්වකීය මව්බිමේ පිහිටි කොළඹ සරසවියට කෙරෙන ප්‍රණාමයක් ලෙසින් 607372 Colombounilanka යන නමින් නම් කරන්නට තරම් කෘතවේදී වෙනව.
1999 වසරේ අගෝස්තු මස 13 වෙනි දින ඔහුගේ මූලිකත්වයෙන් සොයාගත් ප්‍රධාන ග්‍රහක පටියට අයත් කිලෝ මීටර් 4 ක් පමණ විශාල ග්‍රහකය ඔහුගේ ම යෝජනාවකට අනුව දැන් නම් කර තිබෙන්නෙ, ” 22802 සීගිරිය ” යන නාමයෙන්.
ශ්‍රී ලංකාවේ කිසියම් ස්ථානයක නාමය ග්‍රහකයකට ලබා දුන් ප්‍රථම අවස්ථාව එයයි.

2005 වසරේ ජනවාරි මස 16 වෙනි දින සොයාගත් කිලෝ මීටර් 1 ක විශාලත්වයක් ඇති ග්‍රහකය ” 311231 අනුරාධපුර ” යනුවෙන් නම් කර තිබෙන්නේ ද ආචාර්ය නලින් සමරසිංහ යන ශ්‍රී ලාංකික පුතණුවන් ගේ යෝජනාවකට අනුවයි.

සෞර ග්‍රහ මණ්ඩලයේ පිහිටි කුඩා ග්‍රහ වස්තු ලෙස සැලකෙන ග්‍රහක කීපයක්ම සොයාගත් මේ විශිෂ්ඨ ආදි නාලන්දීයයාට ගෞරවයක් ලෙසින් 1998 වසරේ ජූනි මස 24 වෙනි දින සොයාගත් කිලෝ මීටර් 3.6 ක් විෂ්කම්භය ඇති ග්‍රහකය ” 12871 Samarasinha ” එනම් ” 12871 සමරසිංහ ” යන නමින් නම් කිරීමට ජාත්‍යන්තර තාරකා විද්‍යා සංගමයේ ( IAU ) කුඩා ග්‍රහලෝක මධ්‍යස්ථානය 2002 වසරේ ජූලි මස 24 වෙනි දින තීරණය කරනව.

ඒ අනුව එවකට ශ්‍රී ලාංකික පුරවැසිභාවය තිබූ නිසාම සෞර ග්‍රහ මණ්ඩලයට අයත් ග්‍රහකයට තම නම ලබා දුන් ප්‍රථම ශ්‍රී ලාංකිකයා වන්නෙ ආචාර්ය නලින් සමරසිංහයි.
අද ඔහු ඇමරිකානු පුරවැසියෙක්.

මේ කීර්තිමත් තාරකා විද්‍යාඥයා කිහිප වාරයක්ම තම මාතෘ භූමියට පැමිණ තිබෙනව.
ඉන් එක් වාරයකදී 2005 වසරේ ජූනි මස 14 වෙනි දින ඔහු කොළඹ සරසවියේ දී පැවත්වූ දේශනය වන ” Comets : Visiters from the Past ” නම් දෙසුම ඇසීමට එහි ගිය අවස්ථාව අදත් මට මතකයි.

ධූමකේතු සම්බන්ධව එක්සත් ජනපදයේ පෙර සඳහන් කළ NOAO මගින් මවෙත එවන ලද ධූමකේතු පිළිබඳ තොරතුරු පත්‍රිකාවක ඔහුගේ නම සඳහන්ව තිබෙනු වසර ගණනකට පෙර මා දුටු අවස්ථාවේ සිතට දැනුන අභිමානය අදත් මට මතකයි.ඒ පත්‍රිකාවේ පිටු 2 ක් මේ සමග පින්තූර වලට එකතු කර තිබෙනව.

එක්සත් ජනපදයේ වෙසෙන තවත් ශ්‍රී ලාංකික පුත්‍රයෙකු හා තාරකා භෞතික විද්‍යාඥයෙකු වන මහාචාර්ය දේවමිත්ත අසෝක මැන්ඩිස් විසින් තම ස්වයං ලිඛිත චරිතාපදානය වන ” Events On My World Line ” යන ග්‍රන්ථය ශ්‍රී ලංකා විද්‍යාභිවර්ධන සංගමයේ ( SLAAS ) ශ්‍රවණාගාරයේ දී එළි දැක් වූ 2017 වසරේ මැයි මස 23 වෙනි දින එම සුවිශේෂී අවස්ථාවේදී ආචාර්ය නලින් සමරසිංහයන් විසින් ” Understanding Comets ” නමින් කළ දෙසුම ඇසීමට එහි යාමට මට නොහැකි වූයේ ඒ පිළිබඳව මා නොදැනුවත්ව සිටි නිසයි.

එහෙත් පසුව එය දැනගත් මම ප්‍රවීණ මාධ්‍යවේදී නාලක ගුණවර්ධනයන්ගෙන් දැනගත් පරිදි ඒ අවස්ථාවට සහභාගී වුණු මෙරට තවත් තාරකා විද්‍යාඥයෙකු වන ආචාර්ය කාවන් රත්නතුංගයන් පෙන්වූ මංපෙත් ඔස්සේ ගොස් පිටු 851 ක් ඇති එම කෘතිය මිලයට ගත්තෙ 2018 වසරෙ ජනවාරි 11 දිනයෙ.

මේ වසරේ තම 65 වෙනි ජන්ම දිනය සමරන ආචාර්ය නලින් සමරසිංහයන් වෙත මගේ ප්‍රණාමය පළ කරනව.

ප්‍රේමශාන්ත කුමාරසිරි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Share post:

Popular

සබැඳි
Related

‘මළකඩ සහ අස්ථි’

වයස අවුරුදු හතක පමණ වයසැති කුඩා පුතු සමඟ ඇවිදින...

‘මේ ගසට ගල් ගසන්න’- ලක්ෂාන් මධුරංග වික්‍රමරත්න

කම්කරු දිනයෙහි සන්ධ්‍යාව පසුගිය දින කිහිපයෙහි පැවති අකුණු සහ...

සත්‍ය ගවේෂණයෙන් ප්‍රවාදයන් සත්‍ය කළ මිනිස්සු කෝන්ටිකී

ඉතිහාසයේ ඇතැම්‍ දේ පිළිබඳව ඇතිවන කකුස හා එය විමසා...

“ලෝකයම ෆේක් නිවුස් වලින් පුරවන ඇලීසා කාර්සන් ගේ අඟහරු ගමන”

ඇලීසා කාර්සන් උපත ලබන්නේ 2001 මාර්තු 10 වැනි දින...