කලකට පසු සුපිරි ජයක් – ඇෆ්ගනිස්ථානය සමග ඉදිරි තරගාවලිය ලෙහෙසි පහසු නොවේ

තම හැකියාව, ශකත්තිය පෙන්වා කලකට පසු ලැබූ සුපිරි ජයක් ලෙස සිම්බාබ්වේ පිලට එරෙහිව අද ලැබූ ජයග්‍රහණය හැඳින්වීමට පුළුවන්. ඇත්තටම සිදුවිය යුත්තේ මෙයයි. මෙවැනි කණ්ඩායම් ඉදිරියේ අප ජයග්‍රහණය කළ යුත්තේ අතපය දිග හැර මිස අතපය හකුලාගෙන නොවේ. අද ලැබූ ජයග්‍රහණය අතපය දිගහැර ලැබූ ජයක් ලෙස හැඳින්වීමට පුළුවන්.

සිම්බාබ්වේ පළමු කඩුල්ල එක් ලකුණක් තුළ දැවී ගියත් දෙවැනි කඩුල්ල වෙනුවෙන් ඔවුන් ලකුණු 34ක වේගවත් සබඳතාවක් ගොඩනැගුවේ අපේ පන්දු යවන්නන්ට බය නැතුව පහර දෙමින්. නමුත් අවසානයේ ක්‍රියාත්මක වූ ශ්‍රී ලංකා පන්දු බලඇණිය ඉදිරියේ සිම්බාබ්වේ පිල අසරණ වූයේ ඇන්ජලෝ මැතිව්ස් ලබාගත් ආරම්භයත් සමගින්. නායකත්වයේ වගකීම සමග නිසි එල්ලයට පන්දු යැවූ වනිඳු කඩුලු 4ක් දවා ගත්තේ ප්‍රතිවාදීන්ට ලකුණු 15ක් පමණක් ලබා දෙමින්. මැතිව්ස්, මහීෂ් අතරේ කඩුලු 02 බැගින් බෙදී ගියා. නමුත් අද දිනයේත් අපේ පන්දු රැකීමේ දුර්වලතා දක්නට ලැබුණා. එයට පිළියම් යෙදුවේ නැත්නම් අනාගතයේදී එය විශාල කරදරයක් වන බවනම් නොඅනුමානයි.

පන්දුවට පහර දීමේදී වෙනදාට වඩා හොඳින් අතදිග හැර පන්දුවට පහර දීමට ශ්‍රී ලංකා පිතිකරුවන්ට හැකිවීම සුබවාදී කරුණක්. පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 64ක සබඳතාවක් ගොඩනැඟුවේ මෙම තරගාවලියේ ශ්‍රී ලංකා ඉනිමේ පළමු කඩුල්ලට වාර්තා වූ හොඳම සබඳතාවය බවට සනිටුවහන් කරමින් වීම විශේෂත්වයක්. කුසල් මෙන්ඩිස් ලකුණු 33කුත් යළිත් ලකුණු අතර පැමිණි පැතුම් නිස්සංක නොදැවී ලකුණු 39ක් ලබා ගැනීම ළඟ එන ඇෆ්ගනිස්ථානයට එරෙහි තරගාවලියට හොඳ ආරම්භයක් වන බවනම් නොඅනුමානයි. අවසන් මොහොතේ හෝ ධනංජය කණ්ඩායමට කැඳවීම ගත් තීරණය ඉතා ධනාත්මක උපායක් ලෙස හැදින්වීමට පුළුවන්.

අද දිනයේ දියත් කළ විශිෂ්ට පන්දුවට පහර දීම හේතුවෙන් ලකුණු 83ක පහසු ඉලක්කයක් පන්දුවාර 10යි පන්දු 5ක් තුළ ලබා ගැනීම ශ්‍රී ලංකා ක්‍රිකට් තුළින් කලකට පසු මතුවූ පොසිටිව් ක්‍රිකට් එකක් ලෙස හැඳින්විය හැකියි.

කෙසේ වෙතත් තරගය අවසන් වී ටික වේලාවකට පසු ආර්. ප්‍රේමදාස පිටියට දැඩි වර්ෂාපනයක්ද පතිත වුණා. සියල්ල අපගේ වාසියට සිදුවෙමින් තරගය වේලාසන අවසන් වූයේ නැත්නම් තත්ත්වය මීට වඩා වෙනස් වීමටද ඉඩ තිබුණා.

තරගයෙන් පසු මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ තරගාවලියේ වීරයා සම්මානයෙන් පිදුම් ලැබූ ඇන්ජලෝ මැතිව්ස් පැවසුවේ දෙවන තරගයේ අවසන් පන්දුවාරයේදී ලකුණු 20 බේරා ගැනීමට නොහැකි වීම ගැන තමන් දැඩිලෙස කණගාටු වන බවයි. නමුත් සිම්බාබ්වේ කණ්ඩායමත් අවතක්සේරු කළ නොහැකි බවත් ඔවුන් සමග දක්ෂ ක්‍රීඩකයින් රැසක් සිටින බව මැතිව්ස් පැවසුවා. ඉදිරියේදී එන ඇෆ්ගනිස්ථාන තරගාවලියේදීත් ශ්‍රී ලංකා පිලට තම උපරිම දායකත්වය ලබාදෙන බව මැතිව්ස් සඳහන් කළා.

වනිඳු පැවසුවේ කණ්ඩායමේ පන්දු රැකීමේ අංශය පිළිබඳ තමන් තවදුරටත් වැඩි අවධානයක් යොමු කරන බවයි. ඕනෑම ක්‍රීඩකායක් අතින් උඩපන්දු අත්හැරීමට පුළුවන් නමුත් එය අවම කර ගැනීමට කටයුතු කරන බව ඔහු සඳහන් කළා.

දිගින් දිගටම අසාර්ථක වූ කුසල් ජනිත්ගේ ක්‍රිකට් මින් පසු අවසන්දැයි මාධ්‍යවේදීන් කළ ප්‍රශ්න කිරීමේදී වනිඳු පැවසුවේ එය තමාට කිව නොහැකි බවත් 2014 20යි 20 ලෝක කුසලානය ජය ගැනීමට මැතිව්ස් වැනි ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයින් සමග එක්ව කුසල් ජනිත් කළ මෙහෙවර කිසිදා තමන්ට අමතක කළ නොහැකි බවයි.

සිම්බාබ්වේ පිල සමග අඩුවැඩි වශයෙන් දස්කම් දක්වමින් එක්දින සහ 20යි 20 තරගාවලිය ජය ගැනීමට ශ්‍රී ලංකා පිල සමත් වුවත් ඉන්දියාවට හොඳ තරගයක් දී එන ඇෆ්ගනිස්ථානය සමගනම් ඉදිරි තරගාවලිය ලෙහෙසි පහසු නොවන බව නොරහසක්. එය මාධ්‍යවේදී අප ඉදිරියේ ඇන්ජලෝ මැතිව්ස් පවා පිළිගත් කරුණක්. එබැවින් අදින් ආරම්භ කළ ජයග්‍රාහී ගමන තුළ ඉදිරියේදී ශ්‍රී ලංකාව කෙසේ ගමන් කරාවිදැයි අපි විමසිල්ලෙන් බලා සිටිමු..

චතුරංග රාජපක්ෂ(fb)

(ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ සිට..)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Share post:

Popular

සබැඳි
Related

ඔබ පතන හයිකුව – මදුරංගගේ අලුත්ම කවිය

මදුරංගගේ අලුත්ම කවි පොත "මේ ගසට ගල් ගසන්න" දැන්...

අන්තර්ජාතික කාන් සිනමා සම්මාන උළෙලට රතුපලස මතින් ආරණීය බලු සුරතලෙකු පැමිණේ !!

77 වැනි ජාත්‍යන්තර කාන් සිනමා සම්මාන උළෙල ( Festival...

‘යටත්විජිතකරණය හමුවෙි දණ නැමූ දකුණු ඇමරිකානු සංස්කෘතිය හෙවත් සර්පයා වැළඳ ගැනීම’ – ‘Embrace of the Serpent’

දකුණු ඇමරිකානු කලාපයට යුරෝ කේන්ද්‍රීය යටත්විජිතවාදයේ සෙවණැල්ල වැටෙන්නට...

කෙටිකතාවෙන් සාහිත ලොව දික්විජය කළ ඇලිස් මුන්රෝ සමුගනී

කෙටිකතාවෙන් නොබෙල් සාහිත්‍යය සම්මානය දක්වා ගමන් කළ විශිෂ්ට කැනේඩියානු...