මොණරාගලින්, ත්‍රිකුණාමලයෙන් මලේෂියාවට

දහනමයෙන් පහළ කාන්තා තුන්කෝන් තරගාවලිය අවසන් වුණා.
ලොව හොඳම කාන්තා ක්‍රිකට් පවතින රටවල් දෙකකට එරෙහිව ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම ඉතා හොඳින් ක්‍රීඩා කළා.
T20 සහ එක්දින තරගාවලි ද්විත්වයෙහිම ශ්‍රී ලංකාවට හිමි වූයේ දෙවැනි ස්ථානයයි.
එංගලන්තය සහ ඕස්ට්‍රේලියාව සමග වන තුන්කෝන් තරගාවලියක දී එය සුලුපටු ජයග්‍රහණයක් නොවෙයි.
එංගලන්තය T20 තරගාවලියේ පෙරමුණෙහි සිටිද්දී, ඕස්ට්‍රේලියාව එක්දින තරගාවලිය ජය ගත්තා.
ලොව ප්‍රබලතම කණ්ඩායම් දෙකක් සමග අත්දැකීම් අඩු ශ්‍රී ලංකාව කරට කර ක්‍රීඩා කිරීමම ජයග්‍රහණයක්.
තරගාවලි ද්විත්වයම ශ්‍රී ලංකාවට පෙරමුණෙහි සිටිමින් අවසන් කිරීමට තිබුණා.
ජය ගත හැකිව තිබූ තරග කිහිපයක්ම ශ්‍රී ලංකාවට අහිමි වූයේ දුර්වල පන්දු රැකීමෙන්.
එසේ නොවන්නට ශ්‍රී ලංකාවට තරගාවලි දෙකෙහිම ප්‍රථම ස්ථානය දිනා ගැනීමට තිබුණා.
කෙසේ වෙතත් පන්දු රැකීමේ පවා ඉතා හොද, ධනාත්මක දෑ තිබුණා.
එමෙන්ම වැඩිදියුණු විය යුතු තැන් ද තිබුණා.
අත්දැකීම් සහ අවස්ථාවන් සමගින් යොවුන් ශ්‍රී ලංකා කණ්ඩායම ඒ අඩුපාඩු හදාගනීවි.
ඔවුන්ට එය කළ හැකි බව ඔවුන් ඔප්පු කර තිබෙනවා.
විශේෂයෙන්ම ශ්‍රී ලංකා කාන්තා පාසැල් ක්‍රිකට් පද්ධතියේ එක්දින තරග ක්‍රීඩා කෙරෙන්නේ නැහැ.
ශ්‍රී ලංකා පාසැල් කාන්තා ක්‍රිකට් තරග වල ක්‍රීඩා කෙරෙන්නේ පන්දුවාර 20 හෝ තිහේ තරග පමණයි.
එවැනි පද්ධතියකින් පැමිණි ක්‍රීඩිකාවන් එක්දින තරගයකින් ප්‍රබල එංගලන්ත කාන්තා කණ්ඩායම පරාජය කළා.
එය සුවිශේෂි ජයග්‍රහණයක්.
යොවුන් කාන්තා ලෝක කුසලානය එළඹෙන 2025 වසරේ පැවැත්වීමට නියමිතයි.
ශ්‍රී ලංකා කණ්ඩායම ගොඩනගමින් තිබෙන්නේ එම තරගාවලිය ඉලක්ක කර බව පැහැදිලියි.
කණ්ඩායමේ බහුතර ක්‍රීඩිකාවන්ට වයස් බාධාවකින් තොරව එම තරගාවලියට ක්‍රීඩා කළ හැකියි.
ශ්‍රී ලංකා කළමනාකාරීත්වය යොවුන් ක්‍රීඩිකාවන් ගොඩනගමින් සිටින්නේ මේ ඉදිරි තරගාවලි උදෙසායි.
එය ඉතාම ඥානාන්විත තීරණයක්.
ශ්‍රී ලංකා යොවුන් කාන්තා කණ්ඩායමේ ක්‍රීඩිකාවන් බහුතරය වයසින් 18ට වඩා අඩුයි.
ඔවුන්ට තවත් වසර කිහිපයක් කණ්ඩායමට ක්‍රීඩා කළ හැකියි.
වයස අවුරුදු 18 සීමාවේ ක්‍රීඩිකාවන්ට අවස්ථාවන් ලබා දී තාවකාලික ජයග්‍රහණ ලබනවාට වඩා, යොවුන් ක්‍රීඩිකාවන්ට අවස්ථාව ලබා දී අනාගත ජයග්‍රහණ උදෙසා ආයෝජනය කිරීමේ මාවත ශ්‍රී ලංකාව තෝරාගෙන තිබෙනවා.
එමෙන්ම මේ ක්‍රීඩිකාවන්ගෙන් බහුතරය ඈත පිටිසර ගම් පළාත් වලින් පැමිණි ක්‍රීඩිකාවන්.
ඔවුන් මින්පෙර ක්‍රිකට් ක්‍රීඩාවට ක්‍රීඩකයෙකු හෝ ක්‍රිඩිකාවක් බිහි නොකළ ප්‍රදේශ වලින් පැමිණි ක්‍රීඩිකාවන්.
සමාජ මාධ්‍යයේ ජනප්‍රිය වීමෙන් පසු රසිකයන්ගේ සහ මාධ්‍යයේ ආදරය දිනූ මොනරාගල බට්ටි එවැනි ක්‍රීඩිකාවක්.
බට්ටි පමණක් නොවෙයි.
14 හැවිරිදි විමෝක්ෂා බාලසූරිය ත්‍රිකුණාමලයෙන් පැමිණි ක්‍රීඩිකාවක්. ත්‍රිකුණාමලය සිංහල මධ්‍ය මහා විද්‍යාලයේ ක්‍රීඩිකාවක්.
ත්‍රිකුණාමලය යනු මොනරාගල මෙන්ම ක්‍රිකට් ක්‍රීඩාවට සෑහෙන දුරින් තිබූ ප්‍රදේශයෙක්.
ලෙදර් පන්දුව, ක්‍රිකට් පිත්ත ත්‍රිකුණාමලයේ දරුවන්ට නුහුරුයි.
ඔවුන්ගේ ක්‍රිකට් ක්‍රීඩාව ටෙනිස් පන්දුවෙන් වැල්ලට සහ කුඹුරට පමණක් සීමා වුණා.
මින්පෙර කිසිදු ජාතික සංචිතයකට ත්‍රිකුණාමලයෙන් ක්‍රීඩකයෙකු පැමිණ නැහැ.
ත්‍රිකුණාමලයෙන් ජාතික කණ්ඩායමකට ක්‍රිඩිකාවක් පැමිණීමෙන්ම, කාන්තා ක්‍රිකට් ක්‍රීඩාව මෙහෙයවන නිළධාරීන්ගේ කැපවීම කියවාගත හැකියි.
2025 යොවුන් කාන්තා ලෝක කුසලානය පැවැත්වෙන්නේ තායිලන්තයේ සහ මැලේෂියාවේ දී.
එම රටවල තත්ත්ව පරීක්ෂා කිරීමේ දී වේග පන්දු යවන්නන්ට වඩා හිතකර බව පෙනෙනවා.
ශ්‍රී ලංකා කණ්ඩායමේ වේග පන්දු බලඇණියේ අඩුවක් තිබුණා.
එම අඩුවත් සම්පූර්ණ කරගත් පසුව, 2025 ලෝක කුසලානයේ දී ශ්‍රී ලංකාව ප්‍රබල කණ්ඩායමක් වේවි.

ඉරේෂාන් සිරිවර්ධන (fb)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Share post:

Popular

සබැඳි
Related

‘මළකඩ සහ අස්ථි’

වයස අවුරුදු හතක පමණ වයසැති කුඩා පුතු සමඟ ඇවිදින...

‘මේ ගසට ගල් ගසන්න’- ලක්ෂාන් මධුරංග වික්‍රමරත්න

කම්කරු දිනයෙහි සන්ධ්‍යාව පසුගිය දින කිහිපයෙහි පැවති අකුණු සහ...

සත්‍ය ගවේෂණයෙන් ප්‍රවාදයන් සත්‍ය කළ මිනිස්සු කෝන්ටිකී

ඉතිහාසයේ ඇතැම්‍ දේ පිළිබඳව ඇතිවන කකුස හා එය විමසා...

“ලෝකයම ෆේක් නිවුස් වලින් පුරවන ඇලීසා කාර්සන් ගේ අඟහරු ගමන”

ඇලීසා කාර්සන් උපත ලබන්නේ 2001 මාර්තු 10 වැනි දින...