‘අමුතු ළඳකි ඈ’ එක්ක සයාකා මුරාතාගේ විශ්වයට ගොඩබහින්න!

ජපානයේ චිබා පළාතේ 1979 උපත ලද සයාකා මුරාතා මේ වන විට ලෝකයේ පිටපත් මිලියන ගණනින් අලෙවි වන ලේඛිකාවකි. කුඩා කළ සිට පොත් කියවීමට ඇල්මක් දැක්වූ ඇය වැඩි ප්‍රමාණයක් කියවා ඇත්තේ විද්‍යා ප්‍රබන්ධ සහ අද්භූත ප්‍රබන්ධ ආදියයි. පාසලේ සිවුවන වසරේදී සිටියදී නවකතාවක් ලියන්නට උත්සාහ කළ ඇයට ඇගේ මව විසින් වදන් සැකසුම් යන්ත්‍රයක් ගෙනැවිත් දී ඇත.

ඇගේ ප්‍රථම නවකතාව වන ජුන්යෝ ප්‍රකාශයට පත්වන්නේ 2003 වසරේදීය. එය ඒ වසරේ හොඳම නවක නවකතාවට හිමි ගුන්සෝ සම්මානය හිමි කරගන්නට සමත් විය. එතැන් සිට සෙමෙන් සිය ලේඛන ජීවිතය ගත කරන ඇය නැවත 2013 දී මිෂිමා යුකියෝ සම්මානය දිනාගන්නට සමත්කම් දක්වන්නීය. ජපානය තුළ ඉහළම සාහිත්‍ය සම්මානයක් වන අකුතගාවා සම්මානය ඇයට හිමිවන්නේ 2016 වසරේදී ඇය රචනා කරන කොන්බිනි නින්ගෙන් (Convenience Store Woman) නම් නවකතාවටය. මිලියන එකහමාරකට අධික පිටපත් සංඛ්‍යාවක් අලෙවිවුණ එම නවකතාව භාෂා තිහකට අධික ප්‍රමාණයකට පරිවර්තනය විය.

2017 වනතෙක් එවැනි අලෙවිසලක ලිපිකාරිනියක් ලෙස සේවය කළ ඇය නවකතාවලින් ලද සාර්ථකත්වය මත වසර දහඅටක් කළ රැකියාවට සමුදෙන්නීය. එයින් පසුව ඇය ලියූ Earthlings සහ Life Ceremony ද ඉහළ සාර්ථකත්වයක් ලබාගන්නට සමත් විය. ඉතා වෙනස් කතානායකයන් සහ පසුබිම් සිය නවකතාවලට යොදාගන්නා ඇයගේ ලේඛන කලාව සුවිශේෂි එකකි. සමාජය තුළ මුල් බැසගෙන ඇති දැඩි අස්වාභාවික මත සහ නොලියූ නීතිවලට ඇය දැඩිව අභියෝග කරන්නීය. ඇයගේ convenience store Woman නවකතාව අමුතු ළඳකි ඈ නමින් පරිවර්තනය කර සුසර ප්‍රකාශනයක් ලෙස පසුගියදා එළිදැක්විණි. ඇයගේ Earthlings නම් නවකතාව සැප්තැම්බර් මාසයේදී එළි දැක්වීමට සියල්ල සූදානම්ය. සයාකා මුරාතා ගේ අමුතු ලෝකයට ගොඩබහින්ට ඔබ සූදානම්ද? මේ එයින් කොටසක්!

“මම ඉතිහාස පොත් කියවමින් උත්සාහ කරනවා හොයන්න සමාජය වැරදි අතට ගියේ කවදා ඉඳලද කියලා. ඒත් මම කොච්චර පස්සට, අවුරුදු සීයක්, දෙසීයක්, දාහක්, ගියත් ඒක හැමවෙලාවෙම වැරදියි. ඔයා ගල් යුගයට ගියත් ඒක එහෙමමයි.“
ෂිරහා මිට මොළවා මේසයට ගැසුවේය. ඔහුගේ කෝප්පයෙන් පිච්ච මල් තේ මේසය මත ඉහිරිණි.

“ඉතින් මට තේරුණා. මේ සමාජය පොඩ්ඩක්වත් වෙනස් වෙලා නෑ. ගමට ඇතුල් නොවන අය නෙරපා හරිනවා: දඩයම් නොකරන පිරිමින්, දරුවන් බිහි නොකරන කාන්තාවන්. අපි හැමෝටම නූතන සමාජය සහ පුද්ගලවාදය ගැන කතා කරනවා, ගැළපීමට උත්සාහ නොකරන ඕනෑම කෙනෙකුට මැදිහත් වීමට, බල කිරීමට සහ අවසානයේ ගමෙන් පිටුවහල් කරන එකත් අපේක්ෂා කරන්න පුළුවන්.“

“ෂිරහා ඔයා ගල් යුගේ ගැන කතා කරන්න කැමතියි නේද?“
“නෑ, මම ඒකට කැමති නැහැ. මම ඒකට වෛර කරනවා! නමුත් අපි ජීවත් වන්නේ එවැනි ලෝකයක. මූලික වශයෙන් සමකාලීන සමාජයක මුහුණ තියෙන ගල් යුගයක අපි ඉන්න බව ඔයා දන්නවා. හොඳ දඩයමක් ගෙදර ගෙනෙන ශක්තිමත් පිරිමින්ට ගෑනු ඉන්නවා. උං වටපිට බලලා ගමේ ඉන්න ලස්සනම ගෑනු විවාහ කරගන්නවා. දඩයමට සම්බන්ධ නොවන, එසේත් නැතිනම් බොහෝ දුර්වල වූ පිරිමින් කොච්චර උත්සාහ කළත් ප්‍රයෝජනයක් නැහැ. ඒ අයව පිළිකුල් කරනවා. සැකසුම කොහෙත්ම වෙනස් වෙලා නැහැ.“

“ඔහ්,“ අවසානයේදී කියන්නට මම සමත් වීමි. එහෙත් ඔහු සම්පූර්ණයෙන්ම වැරදි බව මට කියන්නට නොහැකිය. එය සිල්ලර අලෙවිසැල සඳහාද සමාන වනු ඇත. අලෙවිසැල හැමවිටම නොවෙනස්ව එකම ආකාරයෙන් පවතින අතරේ එය විසින් අඛණ්ඩව අපිව ප්‍රතිස්ථාපනය කරනු ලැබේ.
“මේ තැන කවදාවත් වෙනස් වෙන්නේ නැහැ නේද?“ අලෙවිසැලට පැමිණි වයසක කාන්තාව පැවසූ වදන් මගේ මනසේ දෝංකාර දුන්නේය.
“ෆුරුකුරා, ඒ සේරගෙන්ම ඔයා මෙච්චර කරදර නොවී ඉන්නේ කොහොමද? ඔයාට ඔයා ගැන ලැජ්ජාවක් නැද්ද?“
“මොකක්? ඒ මොකටද?“

“ඔයාගෙ වයසෙදි ඔයා තවමත් අනාගතයක් නැති රස්සාවක් කරන්නේ. ඔයා වගේ වයස සේවිකාවක් දැන් කවුරුවත් කසාද බඳින්නේ නැහැ. ඔයා හරියට පාවිච්චි කරපු භාණ්ඩයක් වගේ. ඔයා කන්‍යාවක් වුණත් ඔයාගේ කුණු තැවරිලා. ඔයා ළමයි වදන වයස පහුවුණ ගල් යුගේ ගැහැනියක් වගේ කසාද බඳින්න බැරි කෙනෙක්. කාටවත් වැඩක් නැතිව ගම වටේ කරක් ගහන නිකන් බරක් විතරයි. මම පිරිමියෙක්, මට තවමත් පුළුවන් ආපහු එන්න, ඒත් ඔයාට බලාපොරොත්තුවක් නැහැ නේද ෆුරුකුරා?“

අමුතු ළඳකි ඈ

පරිවර්තනය – රශ්මික මණ්ඩාවල

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Share post:

Popular

සබැඳි
Related

කමිඳු මෙන්ඩිස් ගේ ද්විත්ව ශතකය සහ ශ්‍රී ලංකා ඉනිම අවසන් කිරීම

දෙවන ටෙස්ට් තරගය අවසන් වූවත්, කමිඳු මෙන්ඩිස් ගේ ද්විත්ව...

ස්තුතියි කුමුදු “කොළඹ මතක“ ලිව්වට

කෙනෙකු ස්වකීය ජීවිත මතකයන් ලියා තබන්නේ එය තවකෙකුට වැදගත්වේ...

ඩබ්ලියු ජයසිරි!!!

මා මුළින්ම ඩබ්ලියු ජයසිරි දුටුවේ, මට මතක විදිහට, 1986...

“සංස්කෘතික කොදෙව්වෙන් සොරාගත් ජීවිත X – ray කිරීම” – සාරි ඇඳපු පිරිමි

ලාංකේය නුතන නවකතාව තුළ හමුවන දුර්ලභ ගණයේ කතා වස්තුවකින්...