කැමිලස් ගේ ගජමෑන් සහ පියල් උදය සමරවීර ගේ මල්මාමා

හැත්තෑව දශකයේ ලේක්හවුස් “සතුට” චිත්‍රකතා පුවත්පත හරහා මෙරට ඇරඹි චිත්‍රකතා රැල්ල එහි කූඨප්‍රාප්තිය සනිටුහන් කලේ මල්ටිපැක්ස් ආයතනය හරහා චින්තන ජයසේන ආරම්භ කල ” සිත්තර” චිත්‍රකතා පුවත්පත තුලින් විය.” සතුට පුවත්පතට වඩා ප්‍රමාණයෙන් කුඩා ටැබ්ලොයිඩ් ප්‍රමාණයේ පත්තරයක් ලෙසින් චින්තන ජයසේන සිත්තර පුවත්පත පාඨකයාට හදුන්වා දෙන ලදී. චිත්‍රකතා පත්තරයේ බුහුටි බවත් එහි කතා ලියූ ශිල්පීන්ගේ දක්ෂතාවයත් සිත්තර පුවත්පත එක රැයින් පාඨක සිත් ග්‍රහණය කරගන්නට සමත්විය. ‘ සරත් මධූ ගේ යුනිකෝ , සිංහගේ ටෝගා මෙන්ම කැමිලස් ගේ විකට රජු ගජමෑන් ද පාඨකයා හමුවේ නොමැකෙන සටහන් තැබුවේ සිත්තර හරහාය. සිත්තර චිත්‍රකතා පත්තරය සතියට ලක්ශගණනින් අලෙවිවන්නට විය. මල්ටිපැක්ස් ආයතනයේ පුවත්පත් මුද්‍රණ යන්ත්‍ර මුදල් අච්චු ගසන මැෂින් බවට පත්වුණේය. සිත්තර එසේ දශක දෙකකට ආසන්න කාලයක් සිය බලපරාක්‍රමය චිත්‍රකතා ලෝකයේ පවත්වගෙන සිටියදී චිත්‍රකතා නිර්මාණ ශිල්පී කැමිලස් සිය මනස්පුත්‍රයා ගජමෑන් සමග සිත්තර පුවත්පතින් වෙන්වී ගොස් ” කැමිලස් ගේ ගජමෑන් සමග සත්සිරි ” පුවත්පත ආරම්භ කලේය.කැමිලස් තමා විසින් අලුතින් ආරම්භ කල චිත්‍රකතා පුවත්පතේ නමට “ගජමෑන්” ගේ නම සම්බන්ධ කර තිබීම තුලින් ඒ වනවිට ගජමෑන් පාඨකයා ගේ සිත් කොයි තරම් දුරට ග්‍රහණය කරතිබුණා දැයි සිතාගැනීමට හොදම සාධකයක් වේ. ගජමෑන් යනු සතිපතා තමන්ගේ නිවසට ගොඩවදින පවුලේ හිතවතෙක් තරමටම ඒ චරිතය පාඨක සිත් වසග කරගෙන තිබුණි ගජමෑන් යනු කැමිලස් ගේ සන්නාමය බවට පත්විය. ගජමෑන් ලබාගත් ජනප්‍රියත්වය කොතෙක්ද යත් සත්සිරි පුවත්පතට පසුව ගජමෑන් ගේ නමින් චිත්‍රකතා පුවත්පත් රැසක් ද කැමිලස් විසින් පාඨකයාට දායාද කලේය.

පුරා දශක හයකට ආසන්න කාලයක් ද්විමාන තලයක් මත සිට පාඨක මනස ආමන්ත්‍රණය කල ගජමෑන් අද දින එහි සුවිශේෂී කඩඉමක් සනිටුහන් කරමින් ත්‍රිමාණ තලයේ සිට සිනමාව ආක්‍රමණය කිරීමට සැරසේ. දශක හයකට එපිටින් වූ දිනයක කැමිලස් ගේ පෑන් තුඩීන් ජීවන හුස්ම ලැබූ ගජමෑන් එදා චිත්‍රකතාව තුල පෙරළියක් කලේ යම්සේද අද එම චරිතයම ලාංකේය ත්‍රිමාණ කාටූන් සිනමාව තුල හැරවුම් ලක්ශයක් සටහන් කිරීමට සූදානම් ව සිටී. චානක පෙරේරා නම් තරුණ අධ්‍යක්ෂක වරයා සහ studio 101 එක්ව Motion Capture ( චලන ග්‍රහණ ) තාක්ෂණය භාවිතා කර නිර්මාණය කර ඇති මෙම ත්‍රිමාණ සජීවීකරණ චිත්‍රපටය වැඩ නිමකිරීමට වසර දහයක් ගතවිය. මෙහි මා දකින ප්‍රධානම සුවිශේෂී කරුණක් වන්නේ කැමිලස් ගේ ප්‍රහසනාත්මක චරිතයේ හැසිරීමට සාධාරණත්වයක් ඉටුකල හැකි ප්‍රහසනාත්මක කලාවේ දක්ෂයින් දෙදෙනෙකුවන ගාමින්ද ප්‍රියවිරාජ් සහ සුනෙත් චිත්‍රානන්ද මෙහි තිරපිටපත රචනාකර තිබීමය. පූර්ව ප්‍රචාරක පටය නැරඹූ දිනයේම මෙය ලංකාවේ සිදුවන සුපිරි ගණයේ වැඩක් බව මම අවබෝධ කරගත්තෙමි. එදා සිටම මෙම දැවැන්ත චිත්‍රපටය නැරඹිමේ නොතිත් ආශාවකින් මා පෙලුණු අතර අද එම ආශාව මුදුන්පත් කරගැනීමේ දිනය උදාවී ඇත. බටහිර චිත්‍රපටවල අපූර්වත්වය පිළිබද වැනුම් අසමින් සිටීමට සිදුවී ඇති ලංකාව වැනිරටක් තුල ලාංකේය සිනමාව තුල සුබ පෙරනිමිති වල බලාපොරොත්තු දැල්වූ චානක පෙරේරා ඇතුලු තරුණ කණ්ඩායමට මාගේ සුබ පැතුම් එක්කරමි. මන්දයත් ලංකාවේ ළමුන් අද නරඹන කාටූන් පවා අසල්වැසි ඉන්දියාවේ නිෂ්පාදනය වන කසිකබල් ඒවා වීමේ ඛේදවාචකයට මුහුණදී සිටින අවධියක අපේ දෙයක් පිළිබඳ බලාපොරොත්තු දැල්වීමේ පූරකයන් ඔවුන්වන බැවිනි.

මෙහිදී සදහන් කල යුතු තවත් කරුණක් ඇත. ත්‍රිමාණ සජීවීකරණ චිත්‍රපටයක් පිලිබද 2006 වසරේදී පමණ මා Pasath Samaraweera මල්ලී සමග සංවාදයක යෙදුනෙමි. ඒ මුලුමහත් ලාංකේය දරුදැරියන් දශක ගණනාවක් පුරාවට වැළදගත් Piyal Udaya Samaraweera මහතා ගේ මල් මාමා ගේ චරිතය ඇසුරින් කාටූන් චිත්‍රපටයක් නිර්මාණය කිරීමය. ටින් ටින් කාටූන් චරිතය ළමුන් අතර ජනප්‍රිය යම්සේද මල්මාමා ද ඒ හා සමානම ජනප්‍රියතාවයක් ළමුන් අතර හිමිකරගෙන සිටින්නේය. එහෙත් ඒ අදහස ක්‍රියාවට නැංවීම විවිධ හේතු මත දිනෙන් දින කල්ගියේය. එදා මම යෝජනා කල එම අදහස ක්‍රියාත්මක වූවා නම් ලාංකේය සිනමාව තුල බිහිවන පළමු ත්‍රිමාණ කාටූන් චිත්‍රපටය මල් මාමා වනු ඇත. අනාගතයේ දිනයකදී හෝ මගේ එම අදහස් මුදුන්පත් වේයැයි යන අදහසින් දෑස් දල්වා බලාසිටිමි.

ජයශංඛ කරුණාරත්න

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Share post:

Popular

සබැඳි
Related

එලොන් මස්ක් – The American Oligarch

එලොන් මස්ක්ගෙ නම නොදන්න කෙනෙක් ඉන්නවානම් ඒක පුදුමයක්.ව්‍යාපාරිකයෙක්ද.. විද්‍යාඥ්ඥයෙක්ද.....

වයස 27 ක ජේක් පෝල් සහ මයික් ටයිසන් අතර තරගය

ලොවක් බලා සිටි ජේක් පෝල් සහ මයික් ටයිසන් අතර...

පිරිමින්ට එරෙහි කාන්තාවන්ගේ සටන

ඇමෙරිකානු ජනාධිපතිවරණය සහ පීනට් නම් සුරතල් ලේනෙකු ඊට බලපෑ...

Life and nature sometimes show no mercy

Life and nature sometimes show no mercy