සිංහල සිනමාවේ කිවිඳිය ලෙස විරුදාවලී ලත් සුමිත්‍රා පීරිස් අද ජනවාරි 21වන දා සැඳෑ යාමයේ දී දිවි සිනමාවෙන් සමුගන්නී ය.එළඹෙන මාර්තු 24 වන දිනට යෙදෙන ඇගේ 88 වන ජන්ම දිනයට පෙරාතුව ම ඈ දිවි සැරියෙන් සමුගත්තී වසර හතරකට පෙර ඇගෙන් සමුගත් සිංහල සිනමාවේ මහා ප්‍රාඥයා, ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් දයාබරයාගේ සෙවණට වන්නට ඇතැයි සිතමි.
2019 රයිගම් ටෙලීස් 16 වන සම්මාන උලෙළේ දී ජීවිතයේ එක් වරක් පමණක් පිදෙන ප්‍රතිභා ප්‍රභා ගෞරව සම්මානය පිරිනැමුණු මොහොතේ ඈ වෙනුවෙන් රචිත අභිනන්දන සටහන පහත යළි පළ කරනුයේ ඇයට පිදෙන උපහාරයක් ලෙස ය.
‘ සුමිත්‍රා පීරිස්
අපේ කාලයේ වීරවරිය / බුද්ධදාස ගලප්පත්ති
[email protected]
කොනීලියා හැරියට් වික්‍රමසිංහ සුමිත්‍රාගේ අම්මාය. ඈ පයාගල ව්‍යාපාරික පවුලකට අයත් කාන්තාවකි. අවිස්සාවේල්ලේ බොරලුගොඩ පරම්පරාවෙන් පැවත එන නීතිඥ හැරී ගුණවර්ධන සුමිත්‍රාගේ තාත්තාය. මාක්ස්වාදයේ පියා ලෙස විරුදාවලී ලත් පිලිප් ගුණවර්ධන ඇගේ බාප්පාය. වාමාංශික දේශපාලනයේ තවත් පුරෝගාමියකු වූ රොබට් ගුණවර්ධන ද ඇගේ බාප්පාය.හැරී හැරියට් විවාහයෙන් පසු ගුණවර්ධන පවුලට එකතු වූ තුන්වැන්නා සුමිත්‍රාය.ඈ උපත ලබන්නී 1934 මාර්තු මස 24 වනදාය. ඕ පළමුව අවිස්සාවේල්ල ශාන්ත මේරි විද්‍යාලයෙන් ද පසුව කොළඹ විශාඛා විද්‍යාලයෙන් ද ශිල්ප හදාරන්නීය.ළමා කාලයේ සිටම දේශපාලන පරිසරයක හැදී වැඩුණු සුමිත්‍රාට නිතර අසන්නට ලැබුණේ දේශපාලන සටන් පාඨයි. ඈ තම බාප්පලාගේ දේශපාලන රැස්වීම් බලන්නට ආසා කළාය. ඇගේ තාත්තා ක්‍රියාකාරී දේශපාලනයෙහි නිරතව පරාජය ලබද්දී බාප්පලා, පිලිප් ගුණවර්ධන අවිස්සාවේල්ල ආසනය ද, රොබට් ගුණවර්ධන කෝට්ටේ ආසනය ද ජයගත් බව සුමිත්‍රාට මතකය. බාල සන්ධියේම පාර්ලිමේන්තුවට ගොස් අයවැය වාද විවාද අසා සිටීම ඇගේ විනෝදාංශයක් වීය.එහෙත් ඈ දේශපාලනයට සෘජුව සම්බන්ධ නොවූවත් පිලිප් බාප්පාගේ මැතිවරණ ව්‍යාපාරයේ දී ඡන්ද පොළ නියෝජිතවරියක ලෙස සිටිමින් ඔහුට උදව් කළාය.ආශ්චර්යයකට මෙන් ඇගේ සිත කිසි දින දේශපාලනයට නැඹුරු වූයේ නොමැත.දේශපාලනය වෙනුවට සිනමාවට ආදරය කරන්නට සුමිත්‍රා පෙළඹෙන්නී, තම පියා සිනමාලෝලියකු වීම නිසාය. ඔහු විසින් රාජසිංහ චරිතය චිත්‍රපටය නිෂ්පාදනය කරන්නට සැලසුම් කොට සිටි බව ද කියැවේ. එහෙත් දෛවයේ හාස්කමක් ලෙස සුමිත්‍රා ශ්‍රී ලාංකීය සිනමාවේ විශිෂ්ටතම සිනමාකාරිය වීමේ වාසනාව ලබන්නීය.සිනමාවේ කිවිඳිය ලෙස විචාරකයන් විසින් ඕ හඳුන්වනු ලැබුවාය.ඇගේ සිනමා කෘතියක් කවියක් මෙන් චමත්කාරයෙන් හා සුන්දරත්වයෙන් පිරී තිබීම ඊට හේතු වන්නට ඇත. සුමිත්‍රා ගුණවර්ධන ලෙස්ටර් ජේම්ස් පීරිස් සිනමාකරුවා ගේ සෙවණෙහි සිනමාවට අත්පොත් තබමින් මෙරට සිනමාවට විශිෂ්ට නිර්මාණ රැසක්ම දායාද කරන්නීය. සිනමාව මතු නොව රූපවාහිනී මාධ්‍යයෙහි ද දස්කම් පාමින් ඈ ශ්‍රී ලංකාවේ පළමු ටෙලිනාට්‍ය අධ්‍යක්ෂිකාව ලෙස ඉතිහාසයට එක් වන්නීය.
ශ්‍රී ලාංකීය සිනමාවේ මහා පුරුෂයා ඇයට හඳුනාගන්නට ලැබෙන්නේ 1960 දී සංදේශය චිත්‍රපටයේ සහාය අධ්‍යක්ෂිකාව ලෙස ලෙස්ටර් ජේම්ස් පීරිස් සමග සිනමාවට එක් වූ සමයයෙහිය. ඈ ඔහුගේ ජීවන සහකාරිය වන්නී 1964 ජූනි 16 වන දා ඔහු සමග ජීවන ගමන යන්නට බොරැල්ලේ සියලු සාන්තුවරයන්ගේ දේවස්ථානයේ දී ශපථ වීමෙනි. සහාය අධ්‍යක්ෂණයෙන් සංස්කාරක භූමිකාවට අවතීර්ණ වන සුමිත්‍රා විසින් සංස්කරණය කරනු ලැබූ කැපී පෙනෙන චිත්‍රපට රැසකි. ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ ගම්පෙරළිය,දෙලොවක් අතර, රන්සළු, ගොළු හදවත, ද ගෝඩ් කිං, දෑස නිසා, බක් මහ දීගේ ඉන් කිහිපයකි.සංස්කාරිකා භූමිකාව සඳහා ජනාධිපති, සරසවි හා ඕ.සී.අයි.සී සිනමා උළෙල සම්මාන රැසක් දිනූ සුමිත්‍රා ඇගේ වෛෂ්ණාවී චිත්‍රපටයේ සංස්කාරිකාව වන්නී පළමු වරට පළමු වරට ඇගේම කෘතියක් සංස්කරණය කරමිනි.
ගැහැනු ළමයි ( 1978 ) චිත්‍රපටයෙන් ඇරැඹෙන සුමිත්‍රාගේ චිත්‍රපට භූමිකාව, 2018 වෛෂ්ණාවී දක්වාම දශක හතරකට වඩා වැඩි දීර්ඝ තුළ කාලයක් පුරා අඛණ්ඩව දකින්නට හැකිය.මේ කාලය තුළ ඈ විසින් අධ්‍යක්ෂණය කරනු ලැබූ චිත්‍රපට රැසක් සඳහාම දේශීය හා විදේශීය සිනමා උළෙල රැසක දී සම්මානයෙන් පිදුම් ලබන්නී ඇගේ අධ්‍යක්ෂණ ප්‍රතිභාව මේ යයි ලොවට හඬ ගා පවසමිනි.ගැහැනු ළමයි,ගඟ අද්දර, යහළු යෙහෙළි, මායා,සාගර ජලය මදි ඇඬුවා ඔබ සන්දා, අහසින් පොළොවට, ලොකු දුව, දුවට මවක මිස ඒ අතර වෙසෙසි වේ.සරසවිය, ජනාධිපති, ඕ.සී.අයි.සී. චිත්‍රපට සම්මාන උළෙල වැනි දේශීය උළෙල මතු නොව ලන්ඩන් චිත්‍රපට උළෙල,මොස්කව් ජාත්‍යන්තර චිත්‍රපට උළෙල, ටෝකියෝ ජාත්‍යන්තර චිත්‍රපට උළෙල වැනි විදේශීය සිනමා උළෙල හි දී ද සුමිත්‍රාගේ චිත්‍රපට සම්මාන දිනා ගනිමින් සම්භාවනාවට පාත්‍ර වී ඇත.
සුමිත්‍රා පීරිස් චිත්‍රපට අධ්‍යක්ෂිකාවගේ බහුතර සිනමා කාර්යයන් තුළ පුරුෂෝත්තම සමාජයක ස්ත්‍රිය විසින් අත් විඳිනු ලබන නෙක පීඩා, ගැහැට පිළිබඳ ස්ත්‍රීවාදී ඇසකින් නොව කලාත්මක, සිනමානුරූපී ඇසකින් දකින්නට උත්සාහ ගන්නා බව පෙනේ.ගැහැනු ළමයි ( කුසුම් / වසන්ති චතුරාණි ), ගඟ අද්දර ( නිර්මලා / වසන්ති චතුරාණි )සාගර ජලය මදි ඇඬුවා ඔබ සන්දා ( හීන් කෙල්ල / ස්වර්ණා මල්ලවාරච්චි ) ආදී චරිත තුළ සුමිත්‍රා පීරිස් දකින ගැහැනිය, මොනිකා රුවන්පතිරණ කිවිඳිය ඇගේ ඔබෙ යෙහෙලිය ඇය ගැහැනිය කාව්‍ය සංග්‍රහයේ දී කාන්තාව දුටු අයුරු අපට සිහි ගන්වයි.සුමිත්‍රා පීරිස් නිසැක වශයෙන්ම සිනමාවේ කිවිඳිය ලෙස හැඳින්වීම සඳහා සුදුසුකම් ලබන්නීය.ගැහැනු ළමයි චිත්‍රපටය පමණක් වුව ඒ සඳහා නිදසුන් කොට දැක්විය හැකිය.
ශ්‍රී ලාංකීය ටෙලි නාට්‍ය වංශ කතාවෙහි සුමිත්‍රා පීරිස්ගේ ආගමනය සටහන් වන්නේ World View Foundation වෙනුවෙන් ඈ විසින් අධ්‍යක්ෂණය කරනු ලැබූ ඒකාංගික ටෙලි නාට්‍ය මාලාවකිනි.සේරිවාණිජ,සස,ඉල්ලීස, නලපාන, කදා වළලු ( නිෂ්පාදන ද්වයක් )ඒ අතර වේ. පමා නොවී එමි අකුරට, හා විංකල් පැංචා වැනි වාර්තාමය ටෙලි නාට්‍ය සුමිත්‍රා පීරිස්ගේ අධ්‍යක්ෂණයෙන් රූපවාහිනී තිරයේ දිස් වුණු නිර්මාණ වේ.ශ්‍රී ලංකාවට රූපවාහිනිය පැමිණීමට බොහෝ කලකට පෙර 1971 දී සුමිත්‍රා පීරිස් ප්‍රංශයේ, ORCF හිදී ටෙලිනාට්‍ය පිළිබඳ සමසක පුහුණු පාඨමාලාවක් හදාරා අත්දැකීම් ලැබුවාය.ලන්ඩන් බී.බී.සි. ය සමග මුහුද අද්දර ගම Village by the Sea නම් රූපවාහිනී නිෂ්පාදනයේ සම නිෂ්පාදිකාව වන්නී ද සුමිත්‍රාය. ගැහැනු ළමයි, ගොළු හදවත ( ලෙස්ටර් සමග සම අධ්‍යක්ෂණය ) සුමිත්‍රා පීරිස්ගේ අධ්‍යක්ෂණ භූමිකාවෙහි මෑත කාලීන නිර්මාණ වේ.චිත්‍රපට මාධ්‍යයෙන් ප්‍රෙක්ෂකයන් නරඹා තිබූ නිර්මාණ ද්වයක් රූපවාහිනී මාධ්‍යයෙන් ප්‍රතිනිර්මාණය වී සුමිත්‍රා පීරිස්ගේ නම ඉදිරියෙහි සටහන් වන්නේ ටෙලිනාට්‍ය අධ්‍යක්ෂණයෙහි සුමිත්‍රා පීරිස් ගේ සම්ප්‍රදානයට නව මානයක් එක් කරමිනි.
දේශපාලන පසුබිමක හැදී වැඩුණ ද තම නිර්මාණ ඔස්සේ දේශපාලනය සාකච්ඡා නො කළ ද සුමිත්‍රාගේ සිනමා හා ටෙලි නිර්මාණ තුළ සිහින් හූයක් සේ දිවෙන දේශපාලන පණිවුඩයක් වේ. ගැහැනු ළමයි, සාගර ජලය මදි වැනි නිර්මාණ තුළින් සමාජ විෂමතාවෙහි අතුරු ඵල සේ පෙනෙන දරිද්‍රතාව, පංති ස්වභාවය, ලිංගික සූරාකෑම වැනි සමාජයට යහපත් නොවන විෂය පිළිබඳ ප්‍රචාරකවාදීව නොව, කලාකාරියක ලෙස දකින්නට සුමිත්‍රා සෑම කල්හිම උත්සාහ ගෙන ඇත. සම්මාන උළෙලක දී රාජ්‍ය නායකයකු විසින් ප්‍රදානය කළ සම්මානයක් ඔහු ඉදිරියේම ප්‍රතික්ෂේප කිරීමට තරම් නිර්භීත වූ කලාකාරියක ලෙස සුමිත්‍රා ඉතිහාසගත වී සිටින්නීය. සිනමාව, ටෙලිවිෂනය වැනි බහුජන ආකර්ෂණය දිනූ මාධ්‍ය තුළ සුමිත්‍රා පීරිස් අපේ කාලයේ වීරවරියයි.. ඈ තම කලාවෙහි කිවිඳියක මෙන්ම වීරවරියක ද වන්නීය.’