සිම්පල් සයිමන් – විෂ්ණු වාසු
සිම්පල් සයිමන් කියන යෙදුමේ ඉංග්‍රීසි අර්ථය මෝඩ කොලුවා නැතිනම් රැවටෙනසුලු එකා කියල ගන්න පුළුවනි. එහෙමත් නැත්නම් කෙනෙකුට සිම්පල් කියන අර්ථය අරගෙන සරල මිනිසා යනුවෙන් නිර්වචනයක් හදා ගන්නත් බැරිකමක් නෑ. අපි මේ මොන අර්ථයෙන් ගත්තත් විෂ්ණු වාසු තමන්ගේ දිවි සැරියෙ දශක හයක කාලයෙන් සැලකිය යුතු කොටසක පා සටහන් අපට ඉදිරිපත් කරන්න තෝර ගන්නෙ තමන් සිම්පල් සයිමන් කෙනෙක් කියන හැඳින්වීමත් සමග.
හැබැයි විෂ්ණු තමන් ගැන මොන නාමකරණයක් යෙදුවත් විෂ්ණු සිම්පල්ද කැපිටල්ද කියල අපි දන්නව. ඉතාම සුන්දර මනුෂ්‍යයෙක් වන ඔහු සැහැල්ලු පියවරින් බරට අඩි කඩන මිනිහෙක්. මෘදුම වචන හරහා ගැඹුරුතම නිල අල්ලන වෙදෙක්. ඉතාම සියුම් හැඟීම් අතර සැනෙන් දෙනෙත් තෙත් වෙන සංවේදී මිනිසෙක්. රසවතෙක්, යහපත් මිතුරෙක්, සුහද යාත්‍රිකයෙක්.ඉතින් ඔහු තමන්ගෙ දිවි සැරියෙ පරිච්ඡේද දිග හරිනව. ඒත් අපට ඒ පරිච්ඡේද අතරෙ හමුවෙන්නෙ තමන්ගේ සාර්ථකත්වය සොයා ගිය මිනිසෙකුගේ කතාව නෙවෙයි. බොහෝ අය තම ජීවිත කතාව ලියන්න ගත්තහම අපට දැකගන්න ලැබෙන්නේ මම, මම, මම, මම විතරමයි. ඒත් විෂ්ණුගේ කතාව තුළ අපට විෂ්ණු වෙනුවට දීර්ඝ චාරිකාවක අසිරිය හමුවෙනව. ලංකාවෙන් පිටවෙලා තමන්ගෙ අනාගතය සොයා යන ගැටවරයෙකු ඉන්දීය සමාජයේ කුල ධූරාවලිය තුළ ඉහලම කුලයේ සාමාජිකයෙකු ලෙස පිලිගැනීම ලබමින් සංගීතඥයෙකු බවට පත්වීමේ සිහිනයක පිහිනනව. අසීරුතම අවස්ථාවක ඔහුට ඉහල කුලයෙන්ම සැබෑ පීතෘ කෙනකුත් හමුවෙනව. ඒ ඔහුගෙ ජීවිතයේ හැරීම් ලක්ෂයක්.
විෂ්ණුගේ ජීවිත අන්දරය අපට දායාද කරන වැදගත් පාර්ශව කිහිපයක් තියෙනව. ඉන් පළමුවැන්න මිනිසකු තම අරමුණ තෝරාගැනීම ගැන. ධර්මසිරි බණ්ඩාරනායක නාට්‍ය කලාව ඉගෙන ගන්න වාද්දුවෙ ඉඳල හොරණට මාරු වෙනව. විෂ්ණු සංගීතය සොයා ගෙන ඉන්දියානු සාගරයෙන් එහාට පනිනවා. අතීතයේ එක්තරා දවසක මමයි විෂ්ණුයි රචීන්ද්‍ර ගුරුගෙගෙ තැන ධර්මසිරි ගැන කෙරුණ වාර්තා වැඩ සටහනක් නරඹනව. එහි අධ්‍යක්ෂකත් එක්ක. එදා මට විෂ්ණු තුල ඉන්න සිනමාකරුවා හමුවෙනව. විෂ්ණුගෙ කතාව එක් අතකින් ඝටම් වාදකයෙකු ලෙස සිය ප්‍රවීනත්වය වර්ධනය කරගන්න තැත් දරන තරුණයෙකුගේ අදිටන්සහගත ප්‍රයාණය විෂ්ණු වාසු කියන නම ලංකාවෙදි අපට නම් දරන බොහෝ සංගීතඥයන් අතරෙ හමුවෙන්නෙ නෑ. ඔහු නිහඬව වැඩ කරන, කරපු, ගෞරවය පසුපස හඹා නොගිය, සැම විටම අනෙක් ජ්‍යෙෂ්ඨයන්ට ඉඩදීල තමුන් ස්වේච්ඡාවෙන් පසුපසට වෙලා ඉන්න ඉතාම සුන්දර නිහතමානී මිනිසෙක්. ඒ අතරම සංගීත ක්ෂේත්‍රය වගේම වාර්තා සිනමාව තුළත් තමුන්ගෙ වැඩ කොටස කරමින් ඉන්න කෙනෙක්. ඔහුගේ වාර්තා සිනමාව ගැන වෙනම කතා කළ යුතුයි. ඒ වගේම ඔහු ඒ ගැනත් වෙනම ලිවිය යුතුයි කියල මං විශ්වාස කරනව.
විෂ්නුගේ දිවි සැරියෙ වැදගත්ම කොටසක් වෙන්නෙ ඉන්දියාව තුළ සමාජ කුල ධූරාවලියෙ ඉහලම තට්ටුවෙ වැජඹෙන්න අවස්ථාව ලැබිලත් ඔහු ඉතාම සීරුවෙන් එහි පහලම තට්ටුවේ ජීවිතය සොයා යන්නට දරන උත්සාහය. එය එක්තරා ආකාරයකට තමන් කුලයෙන් නෙරපා හරින්නට වුව තුඩු දෙන තරමේ හිතුවක්කාරකමක්. ඒත් විෂ්ණු ඒ හිතුවක්කාරකම සහ නිර්භීතකම භාවිතා කරනව. ඒ ගමන තුළ ඔහු අපට ඉන්දියාවෙ කුළ පද්ධති මෙන්ම සමාජයෙන් ගර්හිත සංක්‍රාන්ති ලිංගිකයන් ඇතුළු බොහෝ ස්ථරයන් සමග මුහු වෙනව. ඒ මුහුවීම අපට ගෙනෙන තොරතුරු ඉතා වැදගත්. ඒවා කිසිවක් ශාස්ත්‍රීය නිබන්ධ නෙවෙයි. ඒත් මේ සමාජය බෙදා වෙන් කරන සීමා ඉරි ගැන පිලිකුලක් වගේම එසේ පිලිකෙව් කරනු ලබන මිනිසුන් තුළ වන වටිනාකම් මෙන්ම ඔවුන් තුළ වන දක්ෂතා, සහ ඔවුන් ඒ පීඩිත සමාජය තුළ සිය දිවිය සමග ඔට්ටු වෙන ආකාරය වටහා ගන්න ඒ ලියවීම් හොඳටම සෑහෙනව.
විෂ්ණු ඉතා හොඳ නිරීක්ෂකයෙක්. ඒ නිරීක්ෂණ ආපසු කරදාසියට ගැනීමේදී සියුම් උපහාසයක් වගේම සංවේදී භාෂාවක් හරහා ඔහු සාර්ථක ලියවිල්ලක් නිර්මාණය කරනව. ඔහුගේ කතාව රසවත්ව කියවාගෙන යන්න අපට ඉඩ ලැබෙන්නෙ ඒ සිත් ඇදගන්නා මුව දෙකොනට සිනහවක් කැන්දන තානය. ඒත් ඒ තානය තුළ විටින් විට මතුවෙන්නෙ සමාජයේ පීඩිත මිනිසාගේ වේදනාව. විෂ්ණු හට සිය මුළු දිවියම මෙසේ විවිධාකාරයෙන් පීඩාවට ලක් වන පීඩිතයා වෙනුවෙන් නිහඩවම වැඩ කරන්න ශක්තිය ලැබෙන්න ඇත්තේ තමන් පැටි වියෙහිදී ලද කටුක අත්දැකීම් වගේම තම යොවුන් වියේ ඉන්දියාවේදී ලද මේ විපුල අත්දැකීම් තමයි. මෙහිදී විශේෂත්වය වෙන්නෙ ඔහු තම අත්දැකීම් හරහා සමාජයට වෛර කරන සහ පුද්ගලික් ආර්ථික සමෘද්ධිය හොයන නරුමයෙක් නොවී සැබෑ මානව ප්‍රේමියෙක් වීම. ඒ නිසාමයි අදත් අපට විෂ්ණුව නොයෙක් අරගල බිම් වල හමුවෙන්නෙ. ඒ වගේම සිය කැමරාවත් අරන් වියලි කර්කෂ උතුරු බිමේ වැල්ලට යටව යන ජීවිත සොයා යන වාර්තා සිනමාකරුවෙක් හමුවෙන්නෙ.
විෂ්ණුගෙ කතාව තුළ කියවෙන ඉතාම වැදගත් කාරණාවක් තියෙනව. ඒ තමයි ඉන්දීය ගුරුකුලවාසී ජීවිතයේ විශේෂත්වය. සියල්ල මුදලින් තක්සේරු කරන වර්තමානයක ඒක ටිකක් පිස්සු භාවිතාවක් කියල කෙනෙකුට හිතෙන්නත් පුළුවන්. ඒත් ඔවුන් පවත්වාගෙන එන ඒ සම්ප්‍රදාය ඇතුලෙ තිබන වටිනාකම් එහෙම ලේසියෙන් හලන්න බෑ. කිසියම් ශිල්පයක් ප්‍රගුණ කරන්න යන කෙනකු තුළ තිබිය යුතු අත්‍යවශ්‍යම වටිනාකම් මොනවද, ඒවා කෙනකු තුළට කාවද්දන්නෙ කොහොමද කියල මේ කතාව කියවන විට වටහ ගන්න පුළුවන්. ගුරුවරයා තම ශිල්පය තවෙකකුට දෙන්නෙ ඔහු ඒ සඳහා සුදුසු සහ සූදානම් කියල හොඳටම තහවුරු වුනහම. ඒ වගේම ඒ තහවුරුව ලබා දෙන්න සිසුවාටත් බොරු කරල බෑ. ඔහු තම ජීවිත අරමුණ ඒක බව ඉතා පැහැදිලිව සනාථ කරන්න ඕනැ. පොදු තරග විභාගයක් තියල එහෙමත් නැත්නම් උපාධිධාරී පදනමෙන් රස්සා දුන්න කියල ගුරුවරයෙක් තනන්න බෑ කියල අපේ අධ්‍යාපන ලොක්කො වටහා නොගන්න තාක් අපේ සිසු පරපුරට අනාගතයක් නැත්තෙත් ඒකමයි. ගුරුවරයෙක් කියනුනේ සාගරයක්. ඒ සාගරය වෙනුවට හීන් දිය පහරවල පිහිට පතන්න යාම නිසා අද අපේ අධ්‍යාපනයට වෙලා තියෙන හානිය ඉතා විශාලයි.
විෂ්ණු තම සුදුසුකම තහවුරු කරන්න විඳපු දුක දැක්කහම මට ඒ හා සමාන තවත් අත්දැකීමක් මතක් වුනා. ඒ මගේ හිතවතියකගෙ නංගි. ඇයත් ඉන්දියාවට යනව. ඇගේ ගුරුජී ඇයට එන්න කියල පංතියෙන් පිට රඳවනව. ඇතුලෙ ඔහු තම සිසුන් එක්ක පුහුණුවීම් වල යෙදෙනව. මෙහෙම ටික දවසක් යද්දි ඇය පංතියෙන් පිට ඉන්න ගමන් තමන්ට ඇහෙන පාඩම් පුහුනු වෙනව. ගුරුජි විටින් විට බලල යනව. මාස කිහිපයකට පස්සෙ එක දවසක ඔහු ඇවිත් ඇයට පාඩම් අරඹමු කියනව. ඇය පසු දවසක තමහන්ව මේ තරම් රස්තියාදු කළේ ඇයි කියල අහනව. ‘ඒ ඔබ මේ ශිල්පය හදාරන්න අවශ්‍ය ඉවසීමෙන් යුක්තද කියල බලන්න.“ ඒ තමයි උත්තරේ.
මම මේ සටහන ලියන වෙලාවෙ සමහර විට විෂ්ණු තම පුහුණුවීම් වල යෙදෙනව ඇති. නැතිනම් භාවනාවක වෙන්නත් පුළුවනි. ඒත් නැත්නම් තම කැමරාවත් අරගෙන බැහැරක යනව ඇති. ඒ කොතන ගියත් ඔහු අපි කාටවත් පැහැරගන්න බැරි සැහැල්ලුවක් විඳින බව මං දන්නව. ඒ තමයි ඔහු මෙතෙක් ලද අස්වැන්නේ පලය. විෂ්ණු ළඟ තියෙන කතා සරිත් සාගරයෙන් බිඳක් සිම්පල් සයිමන් තුළ තියෙන්නෙ. ඉතිරි කොටස ලියන එකත් බාර ඔහුටමයි. ඔහු මේ ලියවිල්ල හරහා තමන් තුළ ලේඛණයේ ඇති සුරුකම මනාව පෙන්වනව.
විෂ්ණු හමුවෙන වෙලාවලදි ඔහු සමුගන්නෙ අත් දෙක බැඳලා ආචාර කරමින්. මං ඒ වෙලාවට කරන්නෙ ඔහුගෙ අත් දෙකත් අල්ලගෙන ඔහුව තදින් වැළඳ ගන්න එක. ඒ ශරීර කූඩුව ඇතුලෙ තියෙන සැහැල්ලුව මට ඒ වෙලාවට දැනෙනව කියලයි මට හිතෙන්නෙ.
සිම්පල් නැති සයිමන්, විෂ්ණු ඉතිරි ටිකත් මේ විධිහටම නොසැලී අදිමු. ජය!
චූලානන්ද සමරනායක