ජයතිලක කම්මැල්ලවීරගේ අලුත් ම කාව්‍ය සංග්‍රහය “ඒ සිහින් ගී නද” පසුගිය දා ප්‍රකාශයට පත් කෙරිණි. මේ ඒ ගී නදින් මතුවන කවි රස ගැන කෙටි සටහනකි.
දේශපාලන ක්‍රියාධරයෙක් ලෙස අප දකින කම්මැල්ලවීරයන්, තම දේශපාලන මතවාද ප්‍රචාරණයේ වාසි සඳහා සිය සාහිත්‍ය යොදා ගත් බවක් කියන්නට උදාහරණ මට සිහි නො වේ. එහෙත් තත්කාලීන සමාජයේ නිස්සාරණ ක්‍රියා ඔහුගේ විවේචනයට හසු වූ අවස්ථා ඔහුගේ සාහිත භාවිතයේ හමු වෙයි. ඒ සිහින් ගී නද තුළ අපට හමුවන “නොනිමි වන්දනා” කවිය ද එවැන්නකි. ( 5 කවිය. පි 17)
අතකින් දරා තෝමර
අතකින් ගෙන භද්‍රඝටය
මෙතැනයි සිටියේ අප දෙවිඳුන්
විරාජමාන ව
හමා ආ මාරුත
හෙළා දෙව්රුව බිම
සුනුවිසුනු කොට
ගොඩගැසූ තැන
තුඹසකි දැන්
විරාජමානව වැඩ උන් දෙවියන් මාරුතයකින් බිම ඇද දමනු ලැබ ඇත. සොබාදහමට වඩා බලවත් දෙවියකු කොහෝ නම් වසත් ද? මේ දෙවියන් අප විසින් ම මවා ගත් බොරුවක් නොවේද? මාරුතය කළේ දෙව් විමන වේයන්ට බාරදීම ය. නොබෝ දිනකින් සර්පයකු විසින් වේයන්ගේ තුඹස අයිතිකරගනු ඇත. ඒ සත්‍ය නො දකින මිනිසා කෙරෙහිය කවියාගේ සානුකම්පාව යොමු වන්නේ.
වන්දනා කරමු අපි
පෙර බැතියෙන් ම
දෙවියන් වැඩ සිටි මෙතැන
මේ තුඹසට
තව දුරටත් දෙවියන් කෙරෙහි යැපෙනු රිසි ජනයා දැඩි මිත්‍යාවක ගැලී සිටිති. එකී මිත්‍යාව හුදු ආගමික මිත්‍යාවක් ම නොව දෙශපාලන පක්ෂ හා පුද්ගල වන්දනාව ද ඇතුළු මිත්‍යාවකි. කවියා උත්සහා කරන්නේ එවන් හිස් තුඹස් වදින පුදන ජන සමාජයකට ඇස් ඇරවීමට ය.
වනය සහ උයන නමින් හමුවන කවිය ( 6 වන කවිය. පි. 18) තම නිජබිමේ අයිතිය පැහැරගනු ලැබූ, බලෙන් සුදු ශිෂ්ටාචාරය කා වැද්දූ ඕස්ට්‍රේලියානු ඇබෝරිජන්වරු වෙත හෙළු සානුකම්පිත බැල්මකින් යුතු සහා එම ක්‍රියාවලියට අකමැත්ත පළ කරන කවියකි. සා පැටවුනට කුරුලන්ට කෙළිබිමක් වූ වනරොද වනසා දමා අධිපතිවාදීන් විසින් හීලෑ කළ ගස් වවා එම බිම් කඩ නතුකරගෙන ඇත.
මේ එම කවේ කුඩා කොටසකි.
පහන් කණු බිමහෙලන
දුබල එළි පරදවා
උයන්බිම එළිය කර
පුරහඳක් සිනාසෙයි
බෝ කලක් මෙහි නොදුටු
දරු කැලක් පිරිවරා
සා මවක් උයන වැද
පිනුම් කරණම් ගසයි
ඒ අතර කන් නගා
අවට විපරම් කරයි
කවිය අපට ඇසෙන්නේ බාහිර පාර්ශ්වයක හඬිනි.
Rabbit Proof Fence චිත්‍රපටය සිහියට කැඳවන එම කවිය බාහිර පාර්ශ්වයක හඬින් සරලව පවසන්නේ යම් සංස්කෘතියක් තුළ මුල් බැසගත් මිනිසෙකුව එයින් උදුරා තවත් සංස්කෘතියකට බලෙන් රෝපණය කිරීමේ ඇති අසාධාරණය නොවේ ද? කවියේ එන උයනට වැදුන සා මව පිණුම් කරණම් ගසන අතර කන් නගා විපරම් කරන්නේ පෙර කී අසාධරාණය ඔවුන් මත කොයි මොහොතේ කඩා වැටේදෝ යන තැතිගැන්ම නිසා නොවේ ද? සුළුතරයට බලපාන තීන්දු තීරණ ගැනීමට බහුතරයට බලය ලැබුනේ කෙසේද? කවියා විසින් අපව ලිට්මස් පරික්ෂාවට ලක් කෙරෙනු ලැබෙයි.
මෙහි අපට හමුවන සමහර කවියක් සිය කාව්‍යානුභුතිය සැරසූ වචනයන්හී මතු පිට වාච්‍යාර්ථය හැර අන් යමක් නැතැයි සිතෙන තරමට සරල ය. එවන් කවියක් නිවි හැනහිල්ලේ කියවීමෙන්ය රසිකයාගේ සැනසීම වැනසීයන්නේ. ඒ බස බුහුටි ලෙස හැසිරවීම සඳහා කවියා තුළ ඇති හැකියාව බව අපට හැඟෙයි.
වැහිබර සැඳෑවක
ගලන දිය මත
පාවෙන මලක
පෙත්තක
අගිස්සක
කළු කූඹි යුවළක්
රැඟුමක!
එතැනින් ද නැඟෙන්නේ
මේ සිහින් ගී නද? (1 වන කවිය. පි. 13)
වැහිබර සැඳෑවක අවට පරිසරයේ ඇති සියලු ශබ්දයන් පරයා කූඹි නර්තනයකින් නැගෙන සිහින් ගී නද කවියාගේ සවන් පත් වෙයි. ගී නද, නර්ථනය කවියක් තුළ සාමාන්‍යයෙන් පෙනී සිටින්නේ ප්‍රීතිමත් පාර්ශ්වය වෙනුවෙනි. වැහිබර සැඳෑවක් ඍංගාරයක් ජනිත කරවයි.
නැවත එම කවිය කියවන්න.
කවියා උපකාර කරගන්නා වචන මෙම කවිය තුළ පෙනී සිටින්නේ එකී වචන විසින් ම පවරා ගත් අරුතින්ම ද යන සැකය අපට ඇතිවෙයි. වැහිබර සැඳෑව, ගලන දිය, පාවෙන මලක්, පෙති අගිස්සක්, කළු කූඹි, යුගල නැටුමක් මේ වචන එම වචන ස්ථානගත කර ඇති ආකාරය අනුව ඒ වචන කිනම් සංකේතාත්මක අරුත් ඇති කරයිද. කවියේ ඇති මේ දෘෂ්ටි මායාමය වියමන පිළිබඳ ව සිතන රසිකයා කවිය සමඟ වෙනත් අන්තයක් කරා ගමන් කරනු වළිකනු හැකිද?
බිත්තියේ එල්ලෙන කැලැන්ඩරය
පාමින් දෙසැම්බර
සැහැල්ලුව වැනෙයි
එය දකින මා සිත
ජනවාරිය සේ
බර වෙයි. ( 17 කවිය. පි. 35)
මෙම කවියද පෙර කී ආකාරයේ කියවීමක් ඉල්ලා සිටින කවියකි. එහි මතු පිට දක්නට ලැබෙන්නේ බරක් නැතිව කැලැන්ඩරයේ කොලයක් මෙන් සහැල්ලුවෙන් වැනෙන කවියකි. එහෙත් මෙම කවියේ වචන තුළින් පොලා පනින සංඥාර්ථ කෙනෙකුට ලෙහෙසියෙන් විස්තර කළ හැකිද?
මේ බිත්තියේ එල්ලෙන කැලැන්ඩරයේ පෙනෙන්නේ දෙසැම්බරයට අයත් කොලය ද, දෙසැම්බරය සැහැල්ලු වන්නට විශේෂි යමක් සිදුවුණි ද? එසේම මේ කියන්නේ සැබෑ ජනවාරියම ද? ජනවාරිය තරමට කවියාගේ සිත බර කරන්නට සිදු වූ යේ කුමක් ද? මේ කිනම් වසරකට අයත් මාස දෙකක පරස්පරයක් ද? රසිකයා කවිය ආශ්‍රයෙන් මතුවන මේ ප්‍රශ්නවලට පිළිතුරු සොයමින් වෙහෙස වීම අත හැර කවිය රස විඳින්නේ නම් මැනවි. කවිය යට අරුතක් නැත. කවියනම් කවියම වෙයි යන මැක්ලීෂ්ගේ ප්‍රකට කියමන සිහි වෙයි.
ඒ සිහින් ගී නද කාව්‍ය සංග්‍රහයේ කවි සිත්තම් රූ හරහා ගලා යන යම් සංකාකූල සංගීත වාදනයක් ඇසෙයි. සමහර තැනක එකී සංකාව තම පෞද්ගලික වපසරියෙන් මිදී ගමන් කිරීමට අපොහොසත් වෙන ආකාරයක් දකනට ඇති නමුත් ප්‍රශ්නාර්ථ ලකුණු තුනක් හිසින් ගත් හත් වන කවිය, කුටුම්බගත ජීවිතයක, හැඩි දැඩි පිරිමියාගේ සැඩ පරුෂ බව, නො ඉවසුම් ගතිය, ස්ත්‍රීය කෙරෙහි බලපවත්වන්නට උත්සහා කරන අධිකාරි බලය ආදී පුරුෂාධිපත්‍යයේ කැත කුණු කාලයත් සමඟ දිය වී සේදී ගොස් වඩාත් නම්‍යශීලි යැපෙනසුළු ජීවියෙකු බිහිවන බව පෙන්වන කවියකි.
කලක් තිස්සේ පාළුවට ඇරුණු
යුගල ඇඳෙහි
කොට්ටය මත
සුවන් නිදි පතන අකුරු වැලෙහි
පැටලි
කළු, සිහින් කෙස්ගසක්!
කොතරම් සිනිදුද මේ කෙස්ගස
මුදු සුවඳක් දැනේ නැහැයට
කොතෙක් නම් දොස් නගා ඇත්ද මම
හිස පීරන පනාව
එහි පැටලුණු කෙස්ගස් සමඟ
තැන තැන තබන
ඇගේ පුරුද්දට
ඒ සිහින් ගී නදින් මතුවන විවිධ රස මානයන් පිළිබඳ ව මතු දිනක දිගු සංවාදයකට යොමුවන බලාපොරොත්තුවෙන් මේ සටහන මෙතැනින් නවත්වමි.
නිරෝෂ ප්‍රනාන්දු