අඬාගෙන අඬාගෙන දොඩාගෙන මෙහි ආව
මොකක් හරි මට කියන හැඟුම්බර වරුසාව
හීන් වැහි පොද ඇවිත් මගේ හිත අත ගෑව
ඇල්වතුර විතරක් ම නෙවෙයි මේ වරුසාව
නොතේරෙන මොකක් හරි කියාගෙන මෙහි ආව
ගොම්මනේ ඇදවැටෙන හැඟුම්බර වරුසාව.
මාරියාවත් එක්ක වඩාගෙන සිරියාව
මං බලන්නට ආව සුපෙම්බර වරුසාව
අත ගගා කඳු මුඳුන් ගලන වැහිවතුර යට
කොයි තරම් තියෙන්නට පුළුවන් ද කඳුළු කැට.
නිලම්බරයේ රැඳෙන වලාකුළු වියනකට
බලන්නට බැරි තරම් කඳුළු මිහිමඬල පිට.
ලතා මණ්ඩප පුරා ඇද වැටෙන වැහි වතුර
ගලද්දී පාළු තැනිතලා මංපෙත් අතර
කුරුල්ලන් උදෑසන මට කීව දේ නිතර
වැස්සකින් කියන දේ ටක්කෙට ම හරි මිතුර
ගෙවී යයි ජීවිතය ගෙවෙන පතුරෙන් පතුර
එලිච්චියකගෙ රුවකි කඩපිලක් උඩ වැතිර
පුරසාරමක් දොඩා ගියත් මඳනල පැතිර
වරුසාව කියන්නෙ ම කතා කරනා වතුර
වැටෙනකොට වැහි වතුර සර බරං ටකරමට
තමන්ගෙ ම නකුට හපනා අය ද ඇත එමට.
ගේ කුරුලු මුට්ටියක කිචිබිචිය ගෙන ළයට
පරෙයියෝ චුවිංගම් හප ගිලිති පියසි යට.
හෙවන යට ඉන්නකොට පාළු බස් නැවතුමක
වරුසාව විනිවිදිමි අකම්පිත මුනිවතක
කලල රුව මහද තුළ තාම නොලියූ කවක
කොනිත්තන අතීතය රිදුම් දෙන උණුහුමක.
නබෝ ගැබ කුර ගගා වැහි වලාකුළ ආව
ටෙලිපෝන් කණු පේලි ඔහේ හිටගෙන නෑව
හැඟෙනකොට සොඳුරු දේ වැස්ස නොකියා කීව
කවියකට අරන් එයි අසම්මත සිරියාව
ගිගුම් දී ඇදවැටෙන වැහි කෝඩ යට නොතිර
විදුලි කොටමින් නටන හඟුම් දහරා පැතිර
රිදුම් දී පණ ගහන අකුරු උපදින අතර
වරුසාව කියන්නෙ ම කතා කරනා වතුර
කුමාර හෙට්ටිආරච්චි