මට කවිය කියන්නෙ මායාමය පබැඳුමක්. කෙටිකතාවක්, නවකතාවක් හෝ ලිපියක් ප්‍රබන්ධ කිරීම මනෝමූල ව්‍යායාමයක්. ඒත් කවිය කියන්නෙ දිව්‍යමය කෙඳිරිල්ලක්. කවියක් ලියන්න බෑ, ලියවුනොත් මිසක්.
මට හැමදාම හිතුනෙ චිත්‍රයක් කියන්නෙත් ඒ වගේ කැන්වස් එකක් මත මතුවෙන මායාවක් කියල. හිතල චිත්‍ර අඳින්න බෑ. ඉබේ ඇඳුනොත් මිසක් වගේ හැඟීමක්. මගේ මේ හැඟීමට සමාන්තර අදහසක් ප්‍රගීත් රත්නායක කියනව වෙබ් අඩවියක් හා කල කතා බහකදි මෙන්න මෙහෙම “ඉස්සර මම ච්ත්‍ර ඇන්ද, දැන් මට චිත්‍ර ඇඳෙනව”.
මේක තමයි කතාව. මේ වාක්‍ය තමයි ප්‍රගීත් සිත්තරෙක් බව හඟවන්නෙ. අපිත් ඉස්කෝලෙ චිත්‍ර කරද්දි බලාගෙන ඇඳපු “වීදුරු බෝතලේ පැත්තක ගස්ලබු ගෙඩියක් තියපු එකේ චිත්‍රය” අපිව සිත්තරෙක් කරන්නෙ නැහැ. චිත්‍ර ඇඳපු, අඳින ඈයො රොත්තක් මැද්දෙ ප්‍රගීත් සිත්තරෙක් විදිහට ඉස්සිලා පේන්නෙ ඔහු චිත්‍ර අඳිනවා වෙනුවට ඔහුට චිත්‍ර ඇඳෙන නිසයි.
ප්‍රගීත්ගෙ සත්වැනි ඒක පුද්ගල චිත්‍ර ප්‍රදර්ශනය Human Scape සමාරම්භක මොහොතට ගිහින් ඇවිදින් දවස් දෙකකට පස්සෙ මට මෙහෙම ලියන්න හිතෙන්නෙ මම දන්නා කවියත් නොදන්නා චිත්‍රයත් එක මත එක සමපාත වන මොහොතක් මේ කතාව ඔස්සේ මට හමුවුනු නිසයි.
මම චිත්‍ර ගැන කිසිම සෛද්ධාන්තික හැදෑරීමක් නැති කෙනෙක්. ඒත් චිත්‍ර ඇතුලෙ කිමිදෙන්න ඒක මට බාධාවක් නෙවෙයි. මම කියවගන්නෙ මට ඕනි දේ. ඒක චිත්‍ර ශිල්පියාගේ සන්තානයේ මැවුනු අදහසට ඉඳුරා පටහැනි ව්ප්‍රකාරයක් වෙන්නත් පුළුවන්. කවිය වගේම චිත්‍රයත් රස විඳින්නාට සිතුසේ අර්ථගන්වා ගන්න පුළුවන්. කවියාගේ හෝ සිත්තරාගේ චිත්තාවේගයේ පරස්පරය අත්විඳීන්න වුනත් විඳින්නාට නිර්මාණය පාවිච්චි කරන්න පුළුවන්. චිත්‍රය මට කවියක් වාගෙ පෙනෙන්නේ ඒ හන්ද.
ඒත් අනෙක් අතට චිත්‍රයක කවියකට වඩා මහ විසාල ගතියක් තියනව. නිදහසේ වැඩුනු ගතියක් තියනව. කවිය භාෂාව නැත්නම් වචන කියන හුයෙන් බැඳ දමනවා. ගැට ගසනව. චිත්‍රය හරිම ලිබරල් ආකාරයකට ලිහී විසිරී පැතිරී යනව. (ප්‍රගීත්ගෙ එක් චිත්‍රයක් කැන්වස් එකෙන් පිට රාමුව මත පවා පැතිරී ගොසින්. ඒක මා දුටු කදිම චිත්‍රයක්. ) එතකොට මට හිතෙනවා චිත්‍රයත් කවියක් කියල යෝජනා කිරීම විහිලුවක්ය කියල.
මේ දවස්වල ප්‍රගීත්ගෙ Human Scape ප්‍රදර්ශනය Lionel Wendt Gallery හිදී පැවැත්වෙනව. “චිත්‍ර ප්‍රදර්ශනයක්” කියන එක එක්ක නිර්මාණය වන පසුතලය ඇත්තටම වෙනම ආකර්ෂණයක්. ඒක පොඩි සම්භාව්‍ය ආඩම්බරකාර අත්දැකීමක්. ජිවිතේට ඒවාගෙ මොහොතවල් එකතු වෙන එකේ අගයක් මිසක් අගතියක් නෑ.
චිත්‍රය කවියක් වුනත් නැතත් චිත්‍රය විඳීමට නිර්ණායකයන් නැහැ. පරිචයක් හෝ දැනුවත් භාවයක් අවශ්‍ය වන්නේත් නැහැ. ඒක එක සෞන්දර්යාත්මක මොහොතක්.
ඉතින් හැකිනම් ගොසින් විඳගන්න ඒ මොහොත, ගෙවී යන්නට කලියෙන්.