“ගිරි හිස සිට බලන්නෙකු යනු පුළුල් දර්ශනයක මහිමය ලබන්නෙකි”

1971 වසරේ තිදෙනකුගේ දායකත්වයෙන් එනම් සුනිල් ආරියරත්න, ජයලත් මනෝරත්න සමග එක්ව බුද්ධදාස ගලප්පත්ති විසින් එළි දක්වන ලද දොළොස් මහේ පහනින් පසුව 2024 වසරේ ජනවාරිය බුද්ධි විසින් සරසනු ලබන්නේ තම අභිනව කාව්‍ය සංග්‍රහය වන ගිරි හිස සිට නැමති නිර්මාණාවලියෙනි. එහි නම බොහෝ පාර්ශවයන් පිලිබඳව කල්පනා කර බලන්නට පාඨකයා පොළඹවන්නකි. මට ඒ නම සමග සිහි වූවේ ආරියවංශ රණවීර සිය අභ්‍යාසවෘද්ධ සමයෙහි නිකුත් කළ තවමත් මල් නම් කෘතියයි. ඒ කෘතිය සැබැවින්ම සිය නිර්මාණ උල්පත වියපත් බව හමුවේ නොසිඳී පවත්නා බව අභියෝගාත්මකව කියූ නිර්මාණ එකතුවකි. එහෙයින් සාකල්‍යෙයන්ම ඒ නම ඊට උචිතය.

ගිරි හිස සිට බලන්නෙකු යනු පුළුල් දර්ශනයක මහිමය ලබන්නෙකි. හේ සිටිනුයේ අන් සියල්ලටම වඩා ඉහලිනි. එහෙයින් ඔහුගේ දැක්ම පුළුල්ය. ඔහුගේ නෙතට මෙන්ම බුද්ධියටද ලක්වනුයේ අන් අයට වඩා පැතිරුණු කලාපයකි. එහෙයින් එහි අඩංගුව පාඨක ජනයාගේ නිම් වළලුද පුළුල් කරන්නක් විය යුතුය. බුද්ධි කවියාගේ මේ නම සමග මට සිහිපත් වූවේ වරෙක නුවර ගිය ගමනකි. මට අනුව නම් නුවර බලා යන ගමන යනු වදයකි. එහි යන්නට ඇවැසි නම් යමකු තෝරා ගත යුත්තේ එක්කෝ රාත්‍රිය ය. නැතිනම් දුම්රිය ය. එසේ නොවන්නේ නම් ඔහුට සිදුවනුයේ එපාකරවනසුළු මාර්ග තදබදයක සිරකරුවකු වන්නට පමණි. වරෙක එසේ ගිය මම රැයෙහි බහිරව කන්දට නැග පහතින් දිස්වන නුවර නැරඹීමි. ඒ නම් රනින් බැබැලෙන පුරයකි. දළදා මාලිගාවේ සිට සතර අත නන් පැහැයෙන් බබලන විදුලි පහන්ය. නෙක අලංකාරවත් ගොඩනැගිලිය. දිස්න දෙන බෝගම්බර වැව ය. එහෙත් පසුදා උදයේ යලි එහි ගොස් පහත බැලූ විට මා දුටුවේ වැහැරුණු පුරයකි. ටකරන් සුළඟේ ගසා යාම වලක්වනු පිණිස ටයර් රඳවන ලද වහලවල්, දුම් රොටු, අධික තදබදය, අපිරිසිදුකම ඇතුළු සිත කලකිරවන සියල්ලම එහි ය. මේ මුදුනත සිට බලන්නෙකුට අත්විඳිය හැකි දෙයාකාර දසුන්මය.

බුද්ධදාස ගලප්පත්ති කවියාගේ නව නිර්මාණයේද කාව්‍ය අත්දැකීම් තුළ මෙකියනා සුන්දරත්වය මෙන්ම අපුලද කැටිව තිබේ. එහෙත් ඒ අතරම ඔහුගේ නව නිර්මාණ එකතුවෙහි කැපී පෙනෙනා එක් වැදගත් ලක්ෂණයක් තිබේ. ඒ වියපත් සමයෙහි සංවේදනාවන් ප්‍රතිනිර්මාණය කරන්නට ඔහු උත්සුක වන ආකාරයයි. ඔහුගේ සමස්ත නිර්මාණාවලියෙහිම මේ පාර්ශවයත් සමාජ විවරණයට දරන උත්සාහයත් වෙන වෙනම දැකිය හැකිය. එහෙත් එහිදී මා සිත වඩාත්ම ඇදී ගියේ ඔහු වියපත් සමය දෙස අවධානය යොමු කරනා ආකාරයය.

ලංකාවේ සමාජ විද්‍යාඥයන් දකින ආකාරයට ඉදිරියේදී වැඩිහිටි පිරිස්හී ආරක්ෂාව පිලිබඳ අවධානම වැඩිය. මේ වන විටද රටේ වැඩිහිටි නිවාස පිරී ගොසිනි. රටක ජීවනාළිය බඳු තරුණ පරපුරට පල නොකියා නොව පල කිය කියාම පලා බෙදන පාලකයන් සිටින විට වැඩියෙන්ම අසරණ වීමට නියමිත වියපත් ප්‍රජාවය. අනෙක් අතින් සියළු මානව සම්බන්ධතා විහිලුවක් බවට හරවන කොල්ලකාරී ආර්ථික පද්ධතියක පෙර පැවැත්ම අපේක්ෂා කළ නොහැකිය. වැඩිහිටියා යනු තවදුරටත් උපයෝගී භාණ්ඩයක් නොවන විට නැතිනම් තම දරුවන් බලා ගන්නට සමත් සීයා ආච්චි කෙනෙකු නොවන විට නොදැනුවත්වම බරක් බවට හැරෙන්නකි. ඉදින් බුද්ධි සිය කවියෙහිදී මේ වැඩිහිටි අවධියෙහි දැනෙන තනිකම පාලුව සාංකාව කෙරේ මෙවර වැඩි බරක් තබා තිබෙන බවක් දැකිය හැකිය. ඔහු සිය කවිය හරහා මේ පොදු අත්දැකීමක් බවට පත්වෙමින් තිබෙන ඛේදයක් විමසුමට ලක් කරයි.

කමිසයේ කොලර් බොත්තම
පියවා ගන්න නොහැකිව
පැය ගාණක් වෙහෙසෙන මා
බොත්තම කැඩුනොතින්
බියෙන් ගැස්සෙන මා සිත
මොන දෙවියකුට කියන්නද
පාළු මේ නිවහන

මේ නිවහන් පාලුවට තම ළබැඳිම සහකරැ/කාරියගේ වියොව හේතු විය හැකිය. නැතිනම් දරුවන් නිවෙස් හැරදමා අන් දෙස යාමද විය හැකිය. මේ කවරක් හේතු වුවද ඉන් සාජකාවට පත්වන වියපත් සිත යනු අපේ අවධානය ඉල්වන කලාපයකි. බුද්ධි අල්ලා ගන්නේ ඒ නිලයයි. ඔහු ගිරි හිස සිට පාමුල බලා වියපත් පරම්පරාවේ සැලෙන නාඩිය ස්පර්ශ කරයි.

අමාවක අහසේ සැඟැව යන
මහලු සඳ සැරයටිය ඇන ඇන
වැටි වැටී යනෙන ගමන දකිමින්

සිනාසෙන තාරකාවන් කැල
ඔහු තවත් කවියකට අත්දැකීම කරගන්නේ වැඩිහිටි නිවාසයක තනිවන්නට සිදුවූ මිතුරකුගේ පුවතකි. එහිදීද ඔහු වියපත් අවධියේදී විඳින්නට වන තනිකම අපට ඉදිරිපත් කරයි. මේ යෙ!වන, තරැණ වියෙහිදී කෙනකුට කෙසේවත් ග්‍රහණය නොවෙන ඒ අවධීන්හිදී විහිලුවක් සේ පෙනෙන සංවේදී තතකි. අපේ කවිය තුළ මේ අත්දැකීම මීට පෙර ජයතිලක කම්මැල්ලවීර කවියාගේ කවි අතර කියවූ බව මට මතකය. එසේම මෙය ආරියවංශ රණවීර විසින්ද විවිධාකාරයෙන් ස්පර්ශ කරන ලද විෂයක් බව අප සිහිපත කළ යුතුය.

බුද්ධි මෙයින් නතර නොවී වර්තමාන සමාජයේ නෙක පාර්ශව කවියට ගෙනෙන්නට තැත් දරයි. වර්තමානයේ බෙහෙවින් කතා බහට සරදමට මෙන්ම දඩයමටද ලක්වන එහෙත් ඉතා වේගයෙන් වෙළඳපලක් බවට පත් ස්පා සංස්කෘතියෙහි තැලෙන කත බුද්ධිගේ කවියෙහි අපට හමුවෙයි. එහිදී ඔහු උපයෝගී කරගන්නේ ජන කවියේ හැඩ රුව ය.

ඔහු තම පළමු කවිය අවසන් කරන්නේ ස්පාව බලා යන ඔමරිකාර කතක ගැන කියමිනි.
ස්පා වැඩට යන මැණිකෙගෛ ඔමරි බලාපන්- මෙහි මැණිකෙ යන යෙදුම කවියෙහි උත්ප්‍රාසය තීව්‍ර කරයි. එසේම ඔහු දෙවන කවිය නිමවන්නේ මෙලෙසිනි.

ඉනේ බලාපන් ලිහිච්ච සේලෙ බලාපන්
අතේ බලාපන් ලේ රැඳි ඇඟිලි බලාපන්
ගෙලේ බලාපන් සීරුම් හැපුම් බලාපන්
ස්පා නිමාකළ මැණිකෙගෛ කඳුළු බලාපන්

ලිංගික වහලියක බවට පත් කරන ලද, සාහිත්‍ය යේ සහ කවියෙහි වර්නනයට ලක් කරනු ලබනා කාන්තාවගේ උරුමය ගැන පොදු සමාජය නිහඬය. අප වඩාත් උත්සුක වන්නේ විවිධ අවස්ථාවල වැටලීම් වලට ලක්ව අත්අඩංගුවට පත්වන මේ වහලියන් තවත් අවමානයට ලක් කිරීමට මිසි ඒ පසුපස ඇති ඛේදවාචකය සාකච්ඡාවට ගන්නට නොවේ. මේ අත්දැකීමම කල්පනා ඇම්බ්‍රෝස් කිවිඳිය නිල් පාට පැනයක් යනුවෙන් ඉදිරිපත් කළ බවද අප මෙහිලා සිහිපත් කළ යුතුය.

බුද්ධි කවියා සිය කවි අතර කෙටි කවිද බහාලයි. ඔහුගේ ඇතැම් කවියක් පුළුල් ජීවන දහමක් නිරූපණයට සමත් වන අයුරු දකින්නට හැකිය.

මකුළු දැලක
එල්ලි එල්ලි
සිටින
සිනාසෙන
පිනි බිඳුවක්

මේ චිත්ත රූප රැසක් මවන්නට සමත් කවියකි. ඒ අතරම එහි සිටින යන පදය ඉවත් කළේ නම් කවියෙහි අලංකාරය තවත් ඉහල යනු ඇතැයි මට සිතේ. සොබා දහමෙහි අමුද්‍රව්‍ය ගෙන නිරූපණය කරනා මේ කවිය අපේ ජීවිතවල පොදු ඉරණම මනාව ඉදිරිපත් කරන්නකි.
බුද්ධදාස ගලප්පත්ති කවියා සිය නව නිර්මාණය හරහා තමන් තවමත් කවිය හැර යන්නට සූදානම් නැති බව කියා පායි. ඒ අතරම ඔහු තම කවියෙහි සරලත්වය කෙරෙහි වැඩි බරක් තබන්නටද තැත් දරයි. එහෙයින්ම මේ අභියෝගාත්මක කඩ ඉමක් බවට පත්වෙයි. කවියෙහි පද සංඝටනාවෙහි සරල බව තුළම ගැඹුර තවත් වර්ධනය කිරීම අද දවසේ කවියන්ගේ අභියෝගයකි. අපේ තරුණ කවි කිවිඳියෝ මේ අභ්‍යාසයෙහි දැඩිසේ නිරතවන අවස්ථා වඩ වඩා දකින්නට ලැබෙයි. ඉදින් අභ්‍යාසවෘද්ධ කවියකු වන බුද්ධි තම කවි වල තේමා විචිත්‍රත්වය මෙන්ම කවියෙහි ගැඹුරද තවත් වැඩි කරමින් ගිරි හිසෙන් බැස යළි අප අතරට එනු දැකීම අපේ අපේක්ෂාවයි.

චූලානන්ද සමරනායක

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Share post:

Popular

සබැඳි
Related

එලොන් මස්ක් – The American Oligarch

එලොන් මස්ක්ගෙ නම නොදන්න කෙනෙක් ඉන්නවානම් ඒක පුදුමයක්.ව්‍යාපාරිකයෙක්ද.. විද්‍යාඥ්ඥයෙක්ද.....

වයස 27 ක ජේක් පෝල් සහ මයික් ටයිසන් අතර තරගය

ලොවක් බලා සිටි ජේක් පෝල් සහ මයික් ටයිසන් අතර...

පිරිමින්ට එරෙහි කාන්තාවන්ගේ සටන

ඇමෙරිකානු ජනාධිපතිවරණය සහ පීනට් නම් සුරතල් ලේනෙකු ඊට බලපෑ...

Life and nature sometimes show no mercy

Life and nature sometimes show no mercy