නිබන්ධනයක් ලියන්නේ කෙසේද?එය ඉතා සරල හෝ මහා සංකීර්ණ කාරණයක් නෙවෙයිආධුනික පර්යේෂකයින්ට මහඟු මග පෙන්වීමක්

ලිවීම ජීවිතය කරගත්තද, ලිවීම්ද, ලියවිලිද විවිධය. පුවපත්පත්, සඟරා ආදියට හිසේ කෙස් ගාණට ලිපි ලියා ඇති බොහෝ දෙනෙක් උසස් අධ්‍යාපන කටයුත්තකදී, තමාගේ නිබන්ධනය ලිවීමේදී, ශාස්ත්‍රීය ලිපියක් සම්පාදනය කිරීමේදී, පර්යේෂණ ලිපියක් රචනා කරද්දී යම් තිගැස්මකට ලක්වන බව සැබෑය. එය ඉංග්‍රීසි භාෂාවෙන් ලියන අයට වඩා සිංහලෙන් ලියන අයට වඩාත් බලපෑම් සහගතය. එය එසේ වන්නේ ඉංග්‍රීසියෙන් ගනුදෙනු කරන පිරිසට ඒ් සම්බන්ධයෙන් පරිශීලනය කිරීමට පවත්නා පොත බල සුලබ වීමත්, අන්තර්ජාලය ආශ්‍රිතව දැන් බොහෝ දේ ක්ෂණිකව උපයා ගැනීමට පවත්නා හැකියාවත්ය. ඊට සාපේක්ෂව සිංහලෙන් පමණක් ලියන අයට මග ලකුණු කියාදෙන පොත පත පවා හිඟවීමත්ය. මහාචාර්ය ජයදේව උයන්ගොඩ, ආචාර්ය රංජන් හෙට්ටිආරච්චි, වැනි කිහිපදෙනකු මේ සම්බන්ධයෙන් ශාස්ත්‍රීය පොත පත් කිහිපයක් පළ කිරීමෙන් දායක්වත්වයක් දක්වා ඇති බවද, මෙහිලා සිහිපත් කළ යුතුමය.

කෙතරම් ලීවද, ශාස්ත්‍රීය මට්ටමේ ගනුදෙනුවකදී භාෂා ශෛලිය, අනුගමනය කළ යුතු රීතීන්, උපුටා දැක්වීම්, ආකෘතිය ආදී බොහෝ දේ පිළිබඳ විශේෂයෙන් සැලකිලිමත් වීම අනිවාර්යය. වෙනස්කම් හැඳින, අභ්‍යාසයන් තුළින් ශකයතාව වැඩිදියුණු කරගත හැකි බවද, සැබෑය. සමාජ විද්‍යා පර්යේෂකයෙකු ලෙස ඉමහත් කාර්යභාර්යයක් ඉටු කර ඇති, ආචාර්ය සසංක පෙරේරා විසින් ලියන ලද, චන්ද්‍ර ලේකම්ආරච්චි විසින් සම්පාදිත “නිබන්ධනයක් ලියන්නේ කෙසේද?’ යන කුඩා පොත් පිංච මෙහිලා කදිම මග පෙන්වීමක් කරයි. පුවත්පතකට ලිපියක් ලිවීමේදී සරල, සුගම කෙටි වැකි ලිවීම වඩා සුදුසු යයිද, ශාස්ත්‍රීය පර්යේෂණ ලිපියකදී හෝ නිබන්ධනයකදී නිතර භාවිතයේ නොයෙදෙන පණ්ඩිතමානි, විදග්ධ බස් වහරක් යොදා ගත යුතු යයි බොහෝ දෙනෙකු තුළ වැරදි අදහසක් පවතී. මෙම කුඩා පොත් පිංචේ මෙම ගැටලුව ඉතා සරලව පෙන්වා දී තිබේ.

“පාඨකයාට හෝ ඔබගේ ලේඛනය කියවන ගුරුවරුන්ට අවශ්‍ය වන්නේ ඔබ ප්‍රකාශ කරන්නට උත්සාහ දරන්නේ කුමක්ද යන්න වටහා ගැනීම මිස සිංහල භාෂාව පිළිබඳ ඔබ සතු පාණ්ඩිත්‍ය තක්සේරු කිරීම නොවන බව අවධාරණයෙන්ම මතක තබාගත යුතු කරුණකි. ඔබගේ දක්ෂතාව මැනිය හැක්කේ ඔබගේ අදහස් විධිමත්, නමුත් අනවශ්‍ය ලෙස පාණ්ඩිත්‍ය උද්දීපනය නොවන ආකාරයකින් ඉදිරිපත් කළ හැකි නම් පමණි”

(නිබන්ධනයක් ලියන්නේ කෙසේද? පිටුව 50).

බොහෝ විට ශාස්ත්‍රීය ලියවිලි වලට අදාළව පෙර විද්වතුන්ගේ අදහස් උදහස්, නිගමය, පර්යේෂණාත්මක උපකල්පනයන් යනාදිය අප විසින් උපුටා දක්වනු ලබන්නෙ එකම හේතුවකට නොවේ. ඇතැම්විට ඒ්, එකී අදහස එකඟ බව දැක්වීමට, තවත් විටෙක එම අදහසේම වෙනත් මානයක් දැක්වීමට, තවත් විටෙක එකී අදහසට ප්‍රතිවිරුද්ධ මතයක් ගෙන හැරපෑමට, එම අදහසේ හෝ මතවාදයේම දිගුවක් බව තහවුරු කිරීමට විය හැකිය. එහෙත් මෙම උපුටා දක්වීම්වල පවත්නා සංදර්භය නිසි ලෙස වටහා නොගැනීම නිසා ඇතැමුන් දැන හෝ නොදැන තත්ත්වය සංකීර්ණ කරගන්නා බව පෙනේ.
“සමාජීය විද්‍යා රචනයේදී වෙනත් මූලාශ්‍ර වලින් දැනුම උපුටා දැක්වීම බොහෝ විට සිදුවේ. උපුටා ගැනීම් සම්බන්ධයෙන් බ්‍රවුන්ගේ අදහස් කිහිපයක් ඔබටද, ප්‍රයෝජනවත් වේ යයි හඟිමි.

A. හැකි සෑම විටම දීර්ඝ උපුටා දැක්වීම් නොකරන්න.
B. ඔබගේ වචනයෙන්ම යම් අදහසක් සාරාංශගත කළ හැකි විටදී උපුටා ගැනීම් මගින් එය කිරීමෙන් වළකින්න.
C. ඔබ, උපුටා ගැනීමක් ඔබේ රචනය තුළට ඇතුළත් කළ යුත්තේ,

1.කතුවරයා ඔහුට/ඇයට පැවසීමට ඇති කාරණය ඉතාමත් කෙටියෙන් සිතට කාවදින ආකාරයෙන් හෝ ප්‍රබල ආකාරයෙන් ඉදිරිපත් කර තිබෙන විටදීය.
2.යම් ආකාරයක අදහසක් ඔබගේ වචනයෙන් සාරාංශගත කිරීමේදී, උපුටා ගැනීමේ මුල් අදහසේ එලෙස ප්‍රබල ආකාරයකින් ඉදිරිපත් කළ නොහැකි විටදීය.”

(ඉහත කෘතිය 53-54 පිටුව)

එහෙත් මෙය එකම හා හොඳම අදහස නොවන බවද, අප වටහා ගත යුතුමය. කතුවරයා පවසන පරිදිම අවශ්‍ය වන්නේ නිසි සංදර්භය හඳුනා ගැනීමය.
“ එනමුදු ඔබගේ පර්යේෂණය බොහෝ දුරට පදනම් වන්නේ පඨිත විශ්ලේෂණයන් (textual analysis) මත නම් බ්‍රවුන්ගේ පළමු අවවාදය යම් දුරකට වෙනස් කරගත යුතුවේ. උදාහරණයක් වශයෙන් කොහොඹා කංකාරිය පිළිබඳ මානව විද්‍යාත්මක පර්යේෂණයක් පදනම්ව ඇත්තේ එකී යාතු කර්මයට අදාළ පඨිත (කවි ආදිය) විශ්ලේෂණය කිරීම මත යයි සිතමු. එවිට එකී පර්යේෂණයට අදාළ බොහොමයක් කරුණු කොහොඹා කංකාරියට සම්බන්ධ පොත පතෙන් අප ලබාගත යුතුය. නමුත් එවන් අවස්ථාවලදී ද, උපුටා ගැනීම්වල අර්ථ සාරාංශගත කිරීම කළ යුතුය. ඒ්වා හුදෙක් උපුටා ගැනීමම පමණක් වශයෙන් ඉදිරිපත් කිරීම ප්‍රමණාවත් නොවේ. එනමුත් සාමාන්‍ය වශයෙන් ඔබ මතක තබා ගත යුත්තේ උපුටා ගැනීම් යොදාගත යුත්තේ අත්‍යවශ්‍ය අවස්ථාවන්හිදී පමණක් බවයි” ( 54 පිටුව).

මේ අයුරින් අප බොහෝ දෙනෙකු ඉතා සරල යයි සිතන උපුටා ගැනීම් සම්බන්ධයෙන් ඉන් ඔබ්බෙහි කරුණු කාරණාවන්ද, අප සංකීර්ණ යයි සිතන භාෂා ශෛලින් ආදී කරුණු වල පවත්නා නිවරද්‍ය හා සරල බවද, මෙම “නිබන්ධනයන් ලියන්නේ කෙසේද?” යන කුඩා කෘතිය තුළ මැනවින් සංග්‍රහ කර තිබීම විෂය ක්ෂේත්‍රය පිළිබඳ උනන්දුවන්නන්ට කදිම උත්තේජනයක් සපයයි.

මිල. රු.200කි. අහස ප්‍රකාශනයකි.

ප්‍රියාන් ආර් විජේබණ්ඩාර

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Share post:

Popular

සබැඳි
Related

‘මළකඩ සහ අස්ථි’

වයස අවුරුදු හතක පමණ වයසැති කුඩා පුතු සමඟ ඇවිදින...

‘මේ ගසට ගල් ගසන්න’- ලක්ෂාන් මධුරංග වික්‍රමරත්න

කම්කරු දිනයෙහි සන්ධ්‍යාව පසුගිය දින කිහිපයෙහි පැවති අකුණු සහ...

සත්‍ය ගවේෂණයෙන් ප්‍රවාදයන් සත්‍ය කළ මිනිස්සු කෝන්ටිකී

ඉතිහාසයේ ඇතැම්‍ දේ පිළිබඳව ඇතිවන කකුස හා එය විමසා...

“ලෝකයම ෆේක් නිවුස් වලින් පුරවන ඇලීසා කාර්සන් ගේ අඟහරු ගමන”

ඇලීසා කාර්සන් උපත ලබන්නේ 2001 මාර්තු 10 වැනි දින...