ලක්ෂාන් මධුරංග වික්‍රමරත්න හොඳ විචාර සටහනකින් සුනන්ද කරුණාරත්නගේ “පැහැනද පහන්” කාව්‍ය සංග්‍රහය ගැන ලියා තිබුණා. එහිදී කරුණාරත්නගේ කවියෙහි බාහිර සමාජ දේශපාලන ඓතිහාසික මානය අල්ලලා තිබුණා. ඒක ඒ පොතේ හොඳ පැත්තක්. මමත් කරුණාරත්නගෙ පොත නැවත අතට ගත්තෙ ඒ ලිපිය නිසා.
නඳුන් යසිත දසනායක, ප්‍රියංකර නිවුන්හැල්ල, වින්යා මැණිකේ ජයසේකර වැනි අය හිටි වනම හසු නොවන අගනා කවි ඇති පොත් මෑතකදී ලියා තිබුණා.
නොගැඹුරු ගී රස වින්දන, රස වින්දන දේශක ඝෝෂාවක් මෑතකදී ඇති වුණා. ඒවා පාසල්, රෝහල්, පන්සල්, ටියුෂන් ශාලා, රජයේ ආයතන ආදියේ පැවැත් වෙනවා. ඒවා මගින් ඇතැම් විධියක සාහිත්‍යයක් මතු වෙන අතර ඇතැම් විධියක සාහිත්‍යයක් මතු වෙන්නෙම නෑ. මෑතකදි මම කියවපු ආකර්ෂණීයම කවි පොතක් වන “හත්පෙති මලෙන් අත් හැරුණු පෙත්තක් ” වගේ පොතක තියෙන කවිත් රස වින්දන දේශක ඝෝෂාවෙන් ඈත නිහඬ බවක් ඉල්ලා සිටින කවි.
හැබැයි අර රසවින්දන කර්මාන්තය ඔස්සේ යම් සාහිත්‍ය උනන්දුවක් ඇති වෙන බවත් පේන්න තියෙනවා. ඒක නරක දෙයක් නෙමෙයි. ඒ වගේ තැන්වලදි සාහිත්‍ය ගැන ගැඹුරු අදහස් මතු කරන අයත් ඉන්නවා.
මම මේ සටහන ලියන්නෙ සුනන්ද කරුණාරත්නගෙ කවියෙ තියෙන “අනික් මානයක්” ගැනයි. අනික් කියන්නෙ අදර් (Other) කියන එකයි. ලක්ෂාන් මධුරංග මතු කරන මානයට වඩා ‘අනික්’එකක්. “The other dimension” කියලා කිව්වැකි.
මේ මානය තියෙන කවියක් හැටියට මට පේනවා. “කුරුලු බඳුන” කියන කවිය.
මෙහෙමයි පටන්ගන්නෙ:
එකල අම්මා ගෙවත්තෙහි
පිනි ජම්බු ගස් දෙබලක
ඉඳිකොට කුරුලු බඳුනක්
හීල් බත් පිඩක් ඇතිරූ සඳ
නෙක් දෙසින් එන සියොතුන්
පෙරහරේ ආ ලෙහෙනුන්
වළඳා රිසි සේ සුධා භෝජන
හීල් හෙවනැති රුක් ගොමු
කළ හ තිස් පැය -ගීත මණ්ඩප! ”
කුරුලු සද්දවලින් ඇලලී යන ගෙවත්තක වසන මට මේ තථ්‍ය යථාර්ථය හොඳින් තේරෙනවා.
අර සිද්ධිය වෙන්නෙ අතීතයේ.
දැන් කථකයා ගේ හදාගෙන ඉන්නෙ කුඩා ඉඩමක. ඔහුත් බඩ් අඹ ගසක කුරුලු බඳුනක් හදලා තියෙනවා. ඔහුත් කුරුල්ලන්ට කෑම බීම තියලා අර වැනි කුරුලු කූජන එන දවසක් බලාගෙන ඉන්නවා. ඒත් කිසිම කුරුල්ලෙක් තවම නෑ. මේ තමයි කවියෙ අවසන් ඛණ්ඩ දෙක:
කෙමෙන් බර වෙයි සිත
කුරුලු සිරිසර පිණිස පේ වුණ
කිමද සියොතුනි නේන්නේ
මා කුඩා මිදුල වෙත?
අම්මා සුරලොවින් බැස
මහගෙදර ඉස්තෝප්පුවෙහි සිට
මුව මඳහසක් රඳවා
පෙනෙයි බලනායුරු
හිස් කුරුලු බඳුනක්
අබියස හිඳින මා දෙස.
දැන් මේ අවසාන කාව්‍ය ඛණ්ඩ දෙකේදි කවියා අපිව අරන් යන්නෙ අර අනික් මානය වෙත. මේ කුරුලු භාජනය ඔස්සේ මිය ගිය මවගේ ආධ්‍යාත්ම ශක්ති ප්‍රවාහය සමග කථකයා මොහොතකට එක් වී ඉන්නවා එක්තරා අසිරිමත් සිත්තමකින් අපට පේනවා. ඒ මහගෙදර කුරුලු භාජන වෙත මනරම් ගී ගැයූ කුරුල්ලන් කැඳවූ රහස කුමක්ද? ඒ ආධ්‍යාත්ම කරුණා ශක්ති ප්‍රවාහය හෝ සොබාදහමේ ධර්ම ශක්තියක් සිඳී ගොස්ද? අම්මා මේ කථකයා දෙස බලා සිටින මහගෙදර ඉස්තෝප්පුව යනු තථ්‍ය මහගෙදරද? නොඑසේනම් දිව්‍ය ලෝකය වැනි පරිකල්පිත පරමාදර්ශී ලෝකයක ඉස්තෝප්පුවද? මේ කථක පුතු සමස්ත ස්වභාවධර්මයෙන් වෙන් කොට තනි කරන ලද ඉතිහාස හෝ චින්තන ප්‍රවාහය කුමක්ද?
මේ මානය කවියෙහි පැවතීම සහ එය දැකීම ගැන යුරෝපීය සෞන්දර්ය දාර්ශනිකයො අපමණ කතා කරලා තියෙනවා.
එක්තරා සමස්තයක් බිඳී විසිර ගොස් තනිවුණ නූතන මිනිසාගේ හුදෙකලාව මේ කවියෙ තියෙනවා. ඒක ධනේශ්වරයේ වර්ධනය, ධනේශ්වර වර්ධනය අපේ රටට ගෙනා සුවිශේෂ තත්ත්වයකුත් වෙන්න පුළුවන්. අපි ඒ බිඳුණ විසරුණු සමස්තය සහ සාමූහිකත්වය නැවත පරිකල්පනය කොට තනි තනි මිනිසා වෙත සමූහයේ සහ සමස්තයේ රැකවරණය යළි ගෙන එන්නේ කොහොමද? එහෙම බැලුවම මේ කවියෙ අර මම මුලින් කියපු ‘සමාජ-දේශපාලන-ඓතිහාසික’ මානය නැතැයි කියන්න බෑ. ඒකත් එක් තලයක තියෙනවා.
ගැඹුරු කවියො අර මම කියපු අනික් මානයකටත් අපිව ගෙනියනවා. හැම කවියෙදිම ඒක අවශ්‍ය නැති වුණත් යම් කවිවලවත් ඒ මානය තියෙන කොට අපි දන්නවා මොකක්දෝ අනික් බරක් කවියෙ තියෙනවා කියලා. කරුණාරත්නගෙ පොතේ තවත් එහෙම කවි තියෙනවා. ප්‍රගීතිකා ජයසේකරගෙ පොතෙත් තියෙනවා එහෙම කවි. නිවුන්හැල්ල, නඳුන් යසිත දසනායක වැනි අයටත් තියෙනවා ඒ මානය පහළ කරන හැකියාව. ලක්ශාන්ත අතුකෝරලෙගෙ අලුත් කවිවලත් ඒ වගේ අවස්ථා තියෙනවා.
ඒවා දකින හැකියාව සුලබ නැති සමාජයක ජීවත් වෙනකොට එවැනි කවීන්ට ඉවසන්න පුරුදු වෙන්න වෙනවා. හැබැයි අර මම කියන අනික් මානය කවියෙහි ගොඩනගන්න හැකියාව ලැබෙන්නෙ දැනටමත් ගැඹුරු ඉවසීමක් තියෙන කවීන්ට.
ලියනගේ අමරකීර්ති