පරාජය වූ රටක් දිනවපු පොතක් පිළිබඳව වචනයක් !!

ලේඛක ෂෙහාන් කරුණාතිලක මහතා විසින් රචිත 2022 බුකර් ත්‍යාගයෙන් පිඳුම් ලද The Seven Moon of Maali Almeida නවකතාව වර්තමානය වනවිට මෙරට තුළ ඉතා පටු හා අන්තගාමී දේශපාලන මතිමතාන්තරවලට අනුව විවිධාකාරයෙන් විචාරයට ලක්වන බව පෙනේ. ඒ අපේ රටේ හැටියි. අපට එදා මෙදාතුර ජාතියක් වශයෙන් එකා මෙන් එක්ව ඉදිරියට යෑමට නොහැකි වී ඇත්තේ ද මෙම කාරණය නිසා බව ආයේ කාටවත් අමුතුවෙන් කිව යුතු නැත. මෙය නවකතාකරු විසින් ලබාගත් පෞද්ගලික ජයග්‍රහණයක් නොව රටක් වශයෙන් අත්පත් කරගන්නා ලද අති විශිෂ්ට ජාත්‍යන්තර ජයග්‍රහණයක් වන්නේ ය. එය වඩාත් වැදගත් වන්නේ රට ඉතිහාසයේ පෙර නොවූවිරූ ආකාරයෙන් දේශපාලන, සමාජීය හා ආර්ථික වශයෙන් මහත් වූ අගාධයකට වැටී තිබෙන අවස්ථාවක ලද සුවිශේෂී ජාත්‍යන්තර ජයග්‍රහණයක් වීමයි .එහිලා මෙරට සාහිත්‍යය ලද ජාත්‍යන්තර ජයග්‍රහණයක් වීම තවත් අතකින් අපට සුවිශේෂී වන්නේ ය.

මෙම විශිෂ්ට නවකතාව පිළිබඳවත් මෙම ජාත්‍යන්තර සුවිශේෂී ජයග්‍රහණය පිළිබඳවත් මෙරට බහුතර සාහිත්‍යවේදීන් හා විචාරකයන් කියා සමාජය තුළ ලේඛල් ගසාගත් උදවිය මුනිවත රකින බව පෙනේ. ඒ නිසාම භාෂණ හා ලේඛන නිදහස උපයෝගී කරගෙන ගෙන මුහුණු පොත හා අන්තර්ජාලය ඔස්සේ ඉතා අවරගනයේවූද ඉතා පටුවූද විචාරකයන් කියාගත් ඔස්තාර්ලා කීපදෙනෙකු විසින් විවිධ විචාර හා අදහස් දැක්වීම් කරන බව පෙනේ. ඊයේ දින එවන් විචාර සටහන් කීපයක් මගේ නෙත ගැටුණි.

එහිලා එම විචාර කීපයකින් සමාජගත කරන ලද කරුණු-කාරණා කීපයක් ඔබේ දැනගැනීම පිණිස සදහන් කිරීමට මා කැමතියි. මෙරට මාධ්‍යය ආයතනයක ඉහළ පුටුවක් හොබවන රෙදි අපුල්ලන්නකුගේ විචාරයට ප්‍රස්තුතය
වී ඇත්තේ … ජනතා විමුක්ති පෙරමුණ හා ජාතික ජනබලවේගය මෙම ජයග්‍රහණයට සුබ පැතුම් එක් නොකිරීමට ඔවුන්ගේ කුහකත්වය ප්‍රදර්ශනය කිරීමක් බවයි.බලන්න .. මෙම කාරණය එකකට එකක් සහසම්බන්ධතාවයක් තියෙනවාද කියා. අපි මෙම නවකතාකරුගේ පෞද්ගලික දේශපාලන කියවීම කුමක්ද කියා නොදනිමු. ඔහුට ඉතා හොද දේශපාලන කියවීමක් ඇතැයි කියා අපි විශ්වාස කරමු. එහිලා අපට අවශ්‍ය වන්නේ ඔහු තම නවකතාව තුළින් මතුකරන දේශපාලන කියවීම හා සමාජ යථාර්තය කුමක්ද යන්න දැනකියා ගැනීම පමණි.ඉන් ඔබ්බට අපට ඔහුගේ පෞද්ගලික දේශපාලනය අවශ්‍ය නැත. මෙමගින් මෙම රෙදී – අපුල්ලන්නාගේ එකම අපේක්ෂා වී ඇත්තේ තමුන්ගේ බැල දේශපාලනයට මෙම මාහැඟි නවකතාව යොදෙගෙන කිසියම් වූ දේශපාලන වාසියක් අත්පත් කරදීමට බව පෙනේ.එයින් තමුන්ගේ දේශපාලන හාම්පුතුන් හමුවේ තමාට ලකුණු ටිකක් දමා ගැනීම ඔහුගේ යටි-අරමුණ වී ඇත්තේ ය. තවත් සටහනක සදහන් කර ඇත්යේ .. මෙය මුළුමනින්ම යුද්ධය විකෘති කොට රචනා කරන ලද නවකතාවක් බවයි. තවත් සටහනක මෙම නවකතාව විචාරය කර ඇත්තේ නවකතාකරු විසින් ජාත්‍යන්තර මාධ්‍යය හමුවේ කරන ලද කතාවට අනුවය. මෙන්න…අපේ ඔස්තාර්ලාගේ විචාරවල සැබෑ නිරුවත.

[රටක් ජාත්‍යන්තර වශයෙන් ලද කුමන හෝ සැබෑ ජයග්‍රහණයක් වෙත්ද, එහිලා අපි ශ්‍රී ලාංකේය ජාතියක් වශයෙන් එකාමෙන් එය මුලු හදවතින්ම ඇගයීමටත් ඒ පිළිබඳව පිදිය යුත්තාට පිදීමටත් නොදනිමු. එය මෙරට නුතන ඉතිහාසය තුළ මැනවින් දක්නට ලැබෙන කාරණාවක් වන්නේ ය. – කර්තෘ.]

වර්තමානය වනවිට මෙරට පිළිගත් විචාර සම්ප්‍රදාය මුලුමනින්ම කඩාබිඳ වැටී ඇත්තේ ය. ඊට මෙරට විශ්ව විද්‍යාලවල තිබූ සාහිත්‍යය මණ්ඩප කඩා බිඳ වැටීමත් මෙරට විචාරකයන්ගේ කල්ලි හා පුස්කන මතවාදත් බෙහෙවින් බලපෑ බව පෙනේ. ඒ කෙසේ නමුත් සෑම සිදුවීමකින්ම ගම්‍යවන්නා වූ ප්‍රබල යථාර්ථයක් ඇත්තේ ය. එනම් ඒ අපි සමස්ත ජාතියක් වශයෙන් කොතරම් පටුද කොතරම් පසුගාමීද එසේම කොතරම් ගෝත්‍රික ද යන්නයි.
මෙම මාහැඟි නවකතාව මුලින්ම ප්‍රකාශයට පත්වන්නේ 2020 වර්ෂයේදී ය. ඒ Chata With the Dead යන නමින් ඉන්දියානු පෙන්ගුයින් ප්‍රකාශනයක් ( Penguin Publication – Indian ) ලෙසිනි.

ඉක්බිතිව 2021දී නවකතාකරු විසින් මෙය නටානියා ජෑන්ස් ( Natania Jansz ) නැමැති සංස්කාරකවරියගේ පූර්ණ අධීකෂණය හා මගපෙන්වීම යටතේ සංස්කරණය කොට The Seven Moon of Maali Almeida යන නමින් 2022 දී එංගලන්තයේ දී පෙන්ගුයින් ප්‍රකාශනයක් ලෙසින් ( Penguin Publication – England ) ප්‍රකාශයට පත් කරන ලදි. මෙන්න .. මේ නවකතාවට තමයි 2022 වර්ෂයේ දී බුකර් ත්‍යාගය ( The Booker Prize – 2022 ) හිමිවූයේ .

අද මෙම නවකතාවේ ඇදකුද සොයමින් යටිගිරියෙන් කෑමොර දෙන ඔස්තාර්ලා කිසිවකු එදා හාවක්-හූවක් කීවේ නැත. එනමුත් දැන් හීනෙන් අවදිවූවන් ලෙස මෙරට විද්යුත් හා මුද්‍රිත මාධ්‍යය භාවිතා කරමින් ලුම්පන් විචාරකයන්ද තම පටු කොණ හා මතිමතාන්තර වලට අනුව මෙම නවකතාව පිළිබඳව පැල් බැඳගෙන විචාරය කිරීමට පටන්ගෙන තිබේ. එහි කිසිදු වරදක් නැත. එනමුත් එය කළ යුත්තේ නවකතාව පිළිබඳව නිසි අධ්‍යනයකින්, තුළාත්මක විවරණයකින් හා මැදිහත් සිතිනි.එසේ නොවුණහොත් එයින් නවකතාකරුවාට හා පාඨකයාට සිදුවන්නේ මහත් වූ අවැඩකි. සැබවින්ම නවකතාකරුවාට මේ ලියන තුට්ටු දෙකේ විචාර කියාගත් විචාරවලින් තුට්ටුවකටවත් වැඩක් නැත. ඔහු තමුන්ට යන්නනට ඕනෑ ඉහළම තැනට ගොස් තිබේ. ඒ තනිවම නොව ශ්‍රී ලාංකේය අභිමානය ද රැගෙනය. එම කාරණාවේදී ඔහු වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම විශිෂ්ට ශ්‍රී ලාංකිකයකු නොඑසේනම් ලක්මාතාවගේ අති-සුජාත පුත්‍රයකු බව අවිවාදයෙන් පිළිගැනීමට ඔය කාට කාටත් සිදුවනු ඇත.

The Seven Moon of Maali Almeida -2022
මාහැඟි නවකතාව අරබයා පළ වූ ජාත්‍යන්තර අදහස් කීපයක් මෙසේ දක්වමි.
බුකර් කමිටු සභාපති නීල් මැක්ග්‍රේගර්
( Neil Macgregor) මෙසේ කියයි.

“ජීවිතය හා මරණය අතර රෝලර්කෝස්ටර් ගමනක යෙදෙන මාහැඟි නවකතාවකි, The Seven Moon of Maali Almeida -2022”
ද ගාඩියන් ( The Guardian ) පුවත්පතේ මෙසේ සදහන් විය.

“හාස්‍යයෙන් හා ව්‍යකාකූලත්වයෙන් පිරුණු ජීවිතයේ එක්තරා පැතිකඩක් ඉතා ව්‍යක්ත ආකාරයෙන් නිරූපණය කරන අතර ශ්‍රී ලංකාවේ පැවති සිවිල් යුද්ධයේ ඇතුළාන්තය මැනවින් හෙළිදරව් කරන්නේ ය. ”

මෙම මාහැඟි නවකතාව අරබයා මවිසින් දැඩි අවධානය යොමු කරන ලද්දේ එය 2022 දී එංගලන්තයේ දී ප්‍රකාශයට පත්වීමත් සමගිනි.එතැන් පටන් මෙම මාහැඟි නවකතාව බුකර් ත්‍යාගයේ දිගු ලැයිස්තුවට ( Long List ) හා කෙටි ලැයිස්තුවට ( Short List ) ඇතුළත් වීමෙන් ඉක්බිතිව එම අවධානය දෙගුණ තෙගුණ වූ බව කිව යුතුය. ඒ සෑම අවස්ථාවක්ම මා මුහුණු පොත තුළින් මාප්‍රිය සහෘදයන් වෙත එම කරුණු-කාරණා එසැනින් දැන්වූ බව ඔබට මතක ඇතැයි කියා සිතමි.

The Seven Moon of Maali Almeida නැමති මාහැඟි නවකතාව පිළිබඳව මා විචාරයක් කිරීමට හදිස්සි වන්නේ නැත. මම ඒ අරබයා මෙරට විචාර එකින් එක අධ්‍යනය කරමින් සිටිමි. එහි අවසන මවිසින් කරන විචාරය වන්නේ ය.

රටක් හා සමස්ත ජාතියක් වශයෙන් අපී එදා මෙදාතුර කරන ලද්දේ යුගයේ යථාර්තයට අනුව කළ යුතු දේවල් නොව කළ නොයුතු දේවල් ය. මෙම ජාත්‍යන්තර ජයග්‍රහණ හමුවේ වුවද අප කරන්නේ සමස්ත ජාතියක් වශයෙන් කළ යුතු දේ නොව නොකළ යුතු දේවල් ය. සැබවින්ම අප කළ යුතු දේ කුමක්ද ? ඔබච ප්‍රශ්නයක් නැගෙනු ඇත. එය ඉතා සරලය.එනම් ඒ නොපමාව නවකතාකරුවා රාජ්‍ය අනුග්‍රහය සහිතව මෙරටට කැඳවා විත් දිය හැකි උපරිම රාජ්‍යය ගෞරවය ඔහුට දැක්වීමයි. එවන් සැබෑ දෙයක් කිරීමට අප පෙළඹෙන්නා තියා ඒ පිළිබඳව සිතන්නටවත් අප කැමති නැත. ඒ මෙරට පාලකයන්ගේ හා ඔවුනට බැලකම් කරන උදවියගේ ජානවල කිසියම් වූ විකෘතිතාවයක් දෝ යයි මට සිතේ. මගේ අනුමානය වැරදිවීමට පුළුවනි. එනමුත් ඔවුන්ගේ ක්‍රියාවෙන් ජනිතවන සමාජ යථාර්තය ( Social Reality ) එය බව පෙනේ.

කරුණු කාරණා කොයිහැටි වෙතත් තව ටික දොහකින් නවකතාකරුට බ්‍රිතාන්‍යයේ සම්මානනීය පුරවැසිභාවය හිමිවනු හෝ ඔහු විසින් අත්පත් කරගනු ඇත. ඊට අවැසි සුදුසුකම් ඔහු මෙම ජාත්‍යන්තර ත්‍යාගය අත්පත් කරගැනීමත් සමගින් සපුරාගෙන ඇත්තේ ය. එදාට අපට තවත් ලක් මාතාවගේ සුජාත පුතෙකු අහිමිව යනු ඇත.

සැබවින්ම මෙම ජාත්‍යන්තර ජයග්‍රහණයක් පිළිබඳව මුලු හදවතින්ම සතුටු විය හැක්කේ ද එය වඩ වඩාත් ඇගයීමට ලක් කිරීමට හැක්කේ ද විශ්වීය මනසක් හා ජාත්‍යන්තර සාහිත්‍යය යනු කුමක්ද යන්න පිළිබඳව හොඳ කියවීමක් ඇති සුන්දර මිනිස්සුන්ට පමණි. නොඑසේනම් මනෝමය ලෝක තුළ ජීවත්වෙමින් කොදෙව් මානසිකත්වයකින් හෙබි යමෙක් වෙත්ද ඔහුට මෙම නවකතාව තියා එය ලද ජාත්‍යන්තර ජයග්‍රහණයවත් හරිහැටි කියවාගත නොහැකි. අප පිළිගත්තත් නැතත් යථාර්තය එය යි.

තවත් අතකින් මෙරට නූතන ලුම්පන් සමාජයට සැබෑ මිනිස්සු දිරවන්නේ නැති ස්භාවයක් ද ඇති බව කාටවත් ආයේ අමුතුවෙන් කිව යුතු නොවේ.මෙරට සමාජයට බොහෝවිට දිරවන්නේ එක්කෝ පාදඩ දේශපාලන හෝ මාධ්‍යය විසින් අනවශ්‍ය ආකාරයෙන් පුම්බා උඩ හරින ලද පුහු චරිත බව සමාජ යථාර්තයට අනුව හොදින් පෙනේ.

ඊටත් වඩා ජාත්‍යන්තර චරිත සැබවින්ම මෙම සමාජයට දිරවීමට බොහෝ කල්ගත වනු ඇත. ඒ තත්ත්වයට ළගා වීමට මෙරට සමාජය නැමති උදරයට තව බොහෝ කල්ගතවනු ඇත.එහෙයින් එවන් වූ වටපිටාවක් තුළ ජාත්‍යන්තර චරිත මෙරටින් කාලයත් සමගින් සමුගෙන යෑම වැලැක්වීමට කිසිවකුට හැකියාවක් නැත්තේ ය.

සැබවින්ම රටකට කිසියම් යහපතක් සිදුවන්නේ කියවන්නන් හා සංවේදී පිරිසක් සිටියහොත් පමණි.නොඑසේනම් එම සමාජයෙන් සංස්කෘතික මිනිසා අතුගෑවී ගොස් අතෘප්තිමත් හා අසංවේදී අසංස්කෘත මිනිසකු නිරායාසයෙන්ම බිහිවන්නේ ය. වර්තමානයේ මෙරට ගිහි / පැවිදි කිසිදු භේදයකින් තොරව සිදුවන්නේ එයයි.

සැබවින්ම නවකතාකරු මේ ජයග්‍රහණය කලේ නිකම්ම නිකම් සමාජයක් නොවේ. සැබවින්ම එය මෙරට මෙන් එකතැන පල්වෙන හා ගෝත්‍රික මතිමතාන්තරවලින් පිරිණු සමාජයකට කවදාවත් කිට්ටු විය හෝ ලඟාවිය නොහැකි අති-ගැඹුරු බුද්ධිමය හා තාර්කික සමාජයක් වන්නේ ය. එහෙයින් නවකතාකරු පිළිබඳවත් ඔහුගේ නවකතාව පිළිබඳවත් වර්තමානයට වඩා අනාගත මෙරට බිහිවන්නට නියමිත විශ්වීය මනසකින්

හෙබි සමාජය වඩ වඩාත් කතාබහ කරනු ඇත. එසේම ඔහුව මුලු- හදවතින්ම අගයනු ඇත. එදාට ඔබ අප මෙලොව ජීවත් වීමටත් නොවීමටත් පුළුවනි.
කිවයුතු දේ නොබියව හා සෘජුව …!!


පූජ්‍ය ඇතිපොළ මංගල හිමි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Share post:

Popular

සබැඳි
Related

කමිඳු මෙන්ඩිස් ගේ ද්විත්ව ශතකය සහ ශ්‍රී ලංකා ඉනිම අවසන් කිරීම

දෙවන ටෙස්ට් තරගය අවසන් වූවත්, කමිඳු මෙන්ඩිස් ගේ ද්විත්ව...

ස්තුතියි කුමුදු “කොළඹ මතක“ ලිව්වට

කෙනෙකු ස්වකීය ජීවිත මතකයන් ලියා තබන්නේ එය තවකෙකුට වැදගත්වේ...

ඩබ්ලියු ජයසිරි!!!

මා මුළින්ම ඩබ්ලියු ජයසිරි දුටුවේ, මට මතක විදිහට, 1986...

“සංස්කෘතික කොදෙව්වෙන් සොරාගත් ජීවිත X – ray කිරීම” – සාරි ඇඳපු පිරිමි

ලාංකේය නුතන නවකතාව තුළ හමුවන දුර්ලභ ගණයේ කතා වස්තුවකින්...