කසුන් සමරතුංගගේ ‘ජාජා ඩිං’ යොවුන් නවකතාව කියවා අවසන් කළෙමි. නම පිළිබඳ දැනුණු කුතුහලය නිසාම මා එය කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයෙන් මිල දී ගත් අතර පොත කියවා අවසන් වූ පසු නමේ ගැටලුව විසඳිණි. ඉන් අනතුරුව මා ඉදිරියේ පැන නැගුණේ වෙනත් ගැටලු රාශියකි. මෙරට අධ්‍යාපන ක්‍රමයේ දුබලතා, ළමා මනෝ විද්‍යාව, මිත්‍යාව, පාසල, ගුරුවරු, ළමයි ආදිය මුල් කරගත් නොයෙක් ගැටලු බොහොමයක් දැන් මගේ මනස තුළ සැරිසරන්නට පටන් ගෙන තිබේ. ඉතින් ඒ දැනෙන දේ මට වැටහෙන අන්දමට මෙසේ සටහනකට ගොනු කරන්නට මම කැමැත්තෙමි.
මුලින්ම කිව යුතු වන්නේ කතුවරයා ඉතා කදිම භාෂා රටාවක් හරහා අප පොත වෙත ඇද බැඳ තබන බවයි. කොටින්ම මෙය එක හුස්මට කියවා හමාර කළ හැකි යොවුන් නවකතාවකි. ඒ සඳහා ඔහු අපූරු උපමා, රූපක, භාෂා අලංකාර භාවිත කරයි. ඊට අමතරව මෙහි ඇති සුවිශේෂිත්වය කතාව යටින් සියුම් හුයක් මෙන් ඇදී යන හාස්‍යජනක රටාවයි. මෙය සාමාන්‍යයෙන් ශ්‍රී ලංකාවේ යොවුන් නවකතාවල දක්නට නොලැබෙන ලක්ෂණයකි. ලාංකේය යොවුන් සාහිත්‍යකරුවා යෞවනයාට අවවාද, උපදෙස් ලබා දීමට හෝ ඔවුන් වීරත්වයට නැංවීමට හෝ දුක දිනා ජයගන්නා ආකාරය පැවසීමට හෝ උත්සාහ ගන්නවා විනා හාස්‍ය රසයෙන් යොවුන් සාහිත්‍යයට ලබාගත හැකි ආලෝකය පිළිබඳ එතරම් අවධානයක් යොමු නොකරයි. නමුත් ඉන් පරිබාහිරව යමින් කසුන් හාස්‍ය රසය ඉතා අපූරුවට සිය කතාව සඳහා ආයෝජනය කරයි. එය එක්තරා ආකාරයක අත්හදා බැලීමක් ද විය හැකිය. කොටින්ම ඛේදාන්තයක් වන ජාජා ඩිංහි අප කතාව වෙත ඇද බැඳ තබන ප්‍රධාන සාධකයක් වන්නේ මේ කියන හාස්‍ය රසයයි. එය නියම මාත්‍රාවෙන් භාවිත කර තිබීම කතුවරයාගේ දක්ෂතාවයි.
කෙසේ හෝ වේවා පොත කියවා හමාර කළ පසු මගේ මනසේ ලෙළදෙන කාරණා කීපයක් මේ සටහනට ඇතුළත් කරනු කැමැත්තෙමි. මම ඒවා පහත සඳහන් පිළිවෙලට පෙළ ගස්වමි.
මිත්‍යාවට එරෙහි වීම
අද අපේ අධ්‍යාපන රටාව පුරා අරක්ගෙන ඇත්තේ මිත්‍යාව යැයි පැවසීම වරදක් නොවේ. මේ බොහෝ මිත්‍යාවන්හි පදනම වන්නේ ආගම නැමැති සාධකය බව කණගාටුවෙන් වුවත් පැවසිය යුතුය. කතුවරයා සිය කෘතිය පුරා මෙකී මිත්‍යාවට එරෙහිව විටෙක හාස්‍යජනකව ද, තව විටෙක තදින් ද එරෙහි වනු පෙනී යයි. එයට හොඳම උදාහරණය මේ කතාව සඳහා පාදක වන පාසලේ ඉනෝකා නැමැති ගුරුවරියගේ හැසිරීමයි. කතුවරයා එය මෙසේ විස්තර කරයි.
“ඉනෝකා මිස්ට ළමයි කියන්නෙ ‘තෙරුවන් සරණයි – නැත්නම් කන පලන මිස්’ කියල. එයා පන්තියට ආවම ළමයි හැමෝම එකපාර නැගිටලා අත් දෙක හොඳට එකතු කරලා හයියෙන් ‘ආයුබෝවන්’ කියන්න ඕනෙ. ඊට පස්සෙ ‘තෙරුවන් සරණයි’ කියලත් කියන්න ඕනෙ. නැත්නම් ගහන්නෙ කන පැලෙන්න.”
තෙරුවන් සරණ ප්‍රාර්ථනා නොකළ විට කන පැලෙන්නට පහර දීම බුද්ධාගමට මොන තරම් එකඟද? කතුවරයා ප්‍රශ්න කරන්නේ එයයි. තවත් තැනක මේ කතාවේ එන ප්‍රධාන චරිතයක් වන මහේල නැමැති ගුරුවරයා කතා නායක සිසුවා වන සඳරු තමාට වඳින්නට සැරසෙද්දී තරමක් තදින් මෙසේ කියයි.
“කාට වුණත් දකින දකින තැන වඳින්න තියාගන්න එපා සඳරු. ඒක විශේෂ අවස්ථාවකට විතරක් තියාගන්න. එතකොට තමයි ඒ වැඩේට හරි වටිනාකමක් ලැබෙන්නෙ.”
වැඩිහිටියන් වූ පමණින් පාසල් දරුවන් ඒ සියල්ලන්ටම වන්දනා මාන කළ යුතුය යන්න මෙරට අධ්‍යාපන ක්‍රමය තුළ ඇති තවත් මිත්‍යාවකි. දකින දකින එකාට වැඳ වැටෙන, කොන්ද පහත් කරන ශිෂ්‍ය පරපුරක් අපට අනාගතයේ දී දායක කරන්නේ නිවට පුරවැසි සමාජයකි. ඒ වෙනුවට ගරු කළ යුත්තාට පමණක් ගරු කිරීම සෑහෙන බවත්, කාට වුණත් නිතර වැඳ වැටී කොන්ද බිඳ ගත යුතු නැති බවත් කතුවරයා අවධාරණය කරයි. පොත පුරා ඇති මෙවැනි උදාහරණ රාශියකි. එසේ මිත්‍යාව ප්‍රශ්න කිරීමත්, ඊට එරෙහි වීමත්, එයට විකල්ප අදහස් ඉදිරිපත් කිරීමත් බෙහෙවින් අගය කළ යුතුය.
ළමා මනෝ විද්‍යාව
ළමා මනෝ විද්‍යාව අධ්‍යාපනයේ අත්‍යවශ්‍යම සාධකයකි. නමුත් වර්තමාන ගුරුවරුන් සතුව නැත්තේම එයමදැයි විටෙක මට සිතේ. මේ පිළිබඳ කතුවරයා ප්‍රශ්න කරන්නේ පාසැලේ මනෝ උපදේශන සේවා ඒකකය භාර ගුරුවරිය වූ කුමාරි මිස් හරහා ය.
“කුමාරි මිස් ආවට පස්සෙ තමයි අපේ ඉස්කෝලෙ මනෝ උපදේශන සේවා ඒකකයක් පටන් ගත්තෙ. මිස්ට තමයි ඒක භාර වුණේ. මිස් ඒව ගැන පරතෙරටම ඉගෙනගත්ත කෙනෙක් කියලයි ආරංචි. කොහොම හරි ඉස්කෝලෙ ළමයි හැමෝටම උපදෙස් ලැබුණ තමන්ට මොකක් හරි ප්‍රශ්නයක් තියෙනව නම්, හිතේ අවුලක් නම්, ගෙදර ප්‍රශ්නයක් නම් මනෝ උපදේශන සේවා ඒකකය තියෙන කාමරේට ගිහින් කුමාරි මිස් හම්බ වෙන්න කියල. මිස් ඒ ඕනෙම ප්‍රශ්නයකට විසඳුමක් හොයල දෙනවලු. රහස්‍ය භාවයත් සුරකිනවලු. ඉතින් දවසක් එකොළහ වසරෙ අයිය කෙනෙක් මිස් හම්බ වෙන්න ගිහින් තමන්ට තිබුණු ලොකු ප්‍රශ්නයක් ගැන කියන්න. මිසුත් ප්‍රශ්නෙ අහගෙන ඉඳල උපදෙස් තොගයක් එහෙම දීල මෙහෙම කරන්න අරම කරන්න කියල ඒ අයියව ආපහු එව්වලු. ඊට දවස් දෙක තුනකට පස්සෙ ළමයි හෙන ගොඩක් ඉන්න තැනක ඒ අයිය ඉද්දි මිස් එකපාරට එතැනට ඇවිල්ල අර හැමෝම ඉස්සරහ ‘ආ, දැන් කොහොමද තමුසෙගෙ ප්‍රශ්නෙ, දැන් ඔක්කොම හරිද?’ කියල මහ හයියෙන් එයාගෙන් ඇහුවලු. ඒ අයිය අපේ මලිත් එක්ක කිව්වලු ‘ඊට වැඩිය හොඳයි මගේ ප්‍රශ්නෙ පෝස්ටරයක් ගහල ඉස්කෝලෙ පුරා ඇලෙව්ව නම් මල්ලී’ කියල. ඔන්න ඔහොමයි කුමාරි මිස්ගෙ වැඩ.”
ළමයින්ගේ මානසික ප්‍රශ්න ඉතා සැහැල්ලුවෙන් ගෙන වගකීම් විරහිතව ක්‍රියා කරන ගුරුවරුන් මම ද ඕනෑ තරම් දැක ඇත්තෙමි. ළමයි සියදිවි නසා ගන්නා තත්ත්වයට පත්වීමට ඔවුන් වගකිව යුතු නැද්ද? එවැනි තත්ත්වයක් යටතේ මහේල සර් සහ සඳරු සිසුවා, සඳරුගේ මිතුරු මනුජ සිසුවා සම්බන්ධව ක්‍රියා කරන ආකාරය ඉතා ප්‍රශංසනීය ය. සැබවින්ම ළමා මනෝ විද්‍යාව සහ මනෝ විද්‍යාව යනු අපේ අධ්‍යාපන ක්‍රමය තුළට ඉතා නිවැරදිව සහ විධිමත්ව ඇතුළත් විය යුතු විෂයයන් ය.
ලෝකය වෙනස් කිරීම
අප ජීවත් වන රට, ලෝකය, සමාජය එකම අවුල් ජාලාවක් බව නොරහසකි. එය වෙනස් කිරීමට යොදා ගත හැකි ප්‍රධානතම මෙවලම අධ්‍යාපනයයි. නමුත් කිසිවෙක් ඊට උත්සහ කරන්නේද යන්න ගැටලුවකි.
එවැනි තත්ත්වයක් තුළ මහේල නැමැති ගුරුවරයාගේ භූමිකාව වැදගත් ය. ඔහු ළමයින්ට විකල්ප සිතීම් සහ ක්‍රියාකාරකම් හඳුන්වා දෙයි. ඔහු ආයුබෝවන් කියන්නේ අනිත් ගුරුවරු ආයුබෝවන් කියන විදියට නොවේ. උගන්වන්නේ අනෙක් අය කරන විදියට නොවේ. සිසුන්ට ඔහු සමඟ විවෘතව ඕනෑම දෙයක් කතා කරන්නට හැකිය. ඒවායේ ප්‍රතිපල අපට පොත පුරා හමුවෙයි.
සැබෑ ලෝකයේ අපට එසේ කළ නොහැකිද? සැබැවින්ම ලෝකය වෙනස් කළ යුතු නම් අපට අවශ්‍ය වන්නේ එබඳු ගුරුවරුන් සහ අධ්‍යාපන ක්‍රමයක් නොවේද?
අපූරු පරිකල්පනය
පොත පුරා කතුවරයාගේ තියුණු පරිකල්පන ගුණය කැපී පෙනෙයි. වීර ක්‍රියා, දුක දිනා ජයගන්නා ළමයි ආදී ඒකාකාරී කතා අතරට කතුවරයා ගෙන එන්නේ අමුතු කතාවකි. එය කිසිවෙක් නොසිතන පැත්තකි. පොතේ නමේ පටන්ම ඒ ගුණය කැපී පෙනෙයි. මුලදී සඳහන් කළ ආකාරයට එය ප්‍රකාශ කිරීම සඳහා ඔහු යොදා ගන්නා භාෂාව නිසා කතාව තව තවත් රසවත් වේ. ඊට අදාළ උදාහරණ කීපයක් පහත පරිදි දැක්විය හැකිය.
“උත්සාහවන්තයා ණය ගනී, ණය අරන් ජය ගනී.”
“ඒ මූණ හොඳටම මැලවිලා. හරියට අපේ අම්මගෙ අතින් වැඩිපුර මැලවුණු මුකුණුවැන්න මැල්ලුමක් වගේ. මගේ හිනා කකුල වැදිල නිදිකුම්බා පඳුරක් වගේ ඇකිලිල ගිය ඒ බැල්ම දැකල මට ඇත්තටම මනුජ ගැන දුක හිතුණ.”
“මුහුද හත් ගව්වක් තියෙද්දි අම්ම මට ස්විමිං ට්‍රන්ක් අන්දනව. ඕකනෙ ඉතින් කරන්න බැරි.”
හැමෝටම ප්‍රශ්න ඇති බව
මේ කතාව කේන්ද්‍ර වන්නේ නාගරික මධ්‍යම පාන්තික සමාජයක් වටා ය. බොහෝ විට අපට දක්නට ලැබෙන්නේ ගම, දුප්පත්කම ආදිය වටා ගොඩ නැගුණු යොවුන් නවකතා ය. නමුත් ප්‍රශ්න ඇත්තේ ගමේ පමණක් නොවේ. දුප්පත්කම මෙන්ම තවත් එවැනි ප්‍රශ්න ද බොහොමයක් තිබේ. හැමතැනම, හැමෝටම ඇත්තේ තමන්ට සාපේක්ෂව දැනෙන ප්‍රශ්න ය. එබැවින් කතුවරයා මෙබඳු කලාපයක් වෙත අවධානය යොමු කර තිබීම වැදගත් ය.
එසේම මේ කතාවේ අපට ඔන්ලයින් ක්ලාස්, ස්මාර්ට් ෆෝන්ස්, ඉන්ටර්නෙට්, සෝෂල් මීඩියා ආදිය ද හමුවේ. අතීතය පමණක් ම ප්‍රතිනිර්මාණය නොකර මේ පවතින මොහොත ගැන ද ලිවීම ලේඛකයෙකුගේ කාර්ය භාරය බව මම පුද්ගලිකව විශ්වාස කරමි. එබැවින් ඒ සඳහා කතුවරයා දරා ඇති උත්සාහය වෙසෙසින්ම අගය කළ යුතුය.
ඉතින් ඉහතින් මා ගෙන හැර දැක්වූයේ ‘ජාජා ඩිං’ යොවුන් නවකතාවේ මට දැනුණු තැන් සහ ඒ හරහා නැවත නැවතත් මට සිතුණු දේවල් කීපයකි. වෙනත් කෙනෙකුට එය කියැවූ පසු වෙනත් ආකාරයකට දැනෙන්නට හැකිය. කලා නිර්මාණ එබඳු ය. ජාජා ඩිං වෙතත්, එහි කතුවර කසුන් සමරතුංග හටත් සුබ පැතුම් එක් කරමින් මගේ සටහන මෙතැනින් අවසන් කරමි.
– දීපිකා වීරතිලක
Definitely true