වරුසාව කියන්නෙත් ආගමක්

අදහන්න කැමැති නම්
වරුසාව කියන්නෙත් ආගමක්.

වරුසාව
අදහන්න කැමති නම්
එන්න එළියට
තෙමෙන්න හොඳහැටි.
අහගෙන ඉන්න
වරුසාවේ සූත්‍ර පිඨකය.

බලාගෙන ඉන්න මොහොතක්
ගහ කොළ වැහි වතුර නාන අපූරුව.
හීනි අතු ඉති රිකිලි දිගේ
වරුසාව විසිරිලා පඳුරු උඩ වැටෙන හැටි.
ඒ තමයි වරුසාවෙ නිබ්බුත පද.

පඳුරු උඩ පිපුණ මල්
ගමේ ගෑණු වගේ දිය රෙද්ද ඇඳගෙන
පැද්දෙමින් නාන හැටි.

වියළි තුරු පත් උඩින්
ගලා යන මඩ වතුර කඳ
බිම වැටුණ පර මල් කර තියාගෙන
සුසානය හොයාගෙන දුවන හැටි.
ඒ වරුසාව වෙස්සන්තරේ කියන වෙලාව.

ධාරානිපාතය තුළ
මහා පරිනිර්වාණ සූත්‍රය.

ඉත්තෑවො
මීමින්නො
ගුහා ගත ප්‍රීතියක
තොල කට ලෙවකකා
වරුසාව විඳින හැටි.
මරණානුස්මෘති භාවනාව.

පොල්කිච්චො
රිකිලි උඩ තෙමි තෙමී
බීතෝවන්ගෙ සංධ්වනි රස විඳින හැටි.

මනෝ පුබ්බං මනෝ ධම්මා.

වගුර හොත්
ගව මහීසාදී සතුන්
ඇද හැලෙන වරුසාව
බොබ් මාලේ ගේ සිංදුවක් වගේ
වශීකෘතව විඳින හැටි.

ඉපනැල්ල උලා කන
තරබාරු ගැබ්බර එළදෙන්නු
කිරි බුරුලු එල්ලගෙන
වමාරා කමින්
අංගුලිමාල පිරිත වගේ
වරුසාව අහගෙන ඉන්න හැටි.

අඳුරු වන වදුළු තුළ
තුමුල ගහකොළ අතර
අතු පතර වාඩිවෙලා
හැලි වඳුරො බුකෝගෙන
වන ලැහැබ දිහා ඔහේ බලාගෙන
පිකාසෝගෙ තුන්හුලස් චිත්‍ර
වරුසාව ඇතුළේ ම දකින හැටි.

ගල් බොරළු වැලි උඩින්
ගලා යන බොර වතුර
දිය කඳුරු නළවමින්
පෙළපාලියක් වගේ
රූටමින් රූටමින් දුවන හැටි.

මිරිදියෙන් සජ්ජිතව
කරදියෙන් නැවතුනත්
ආයෙමත් රත්වෙවී වාෂ්පව
වලාකුළු පංසලට එන වතුර.

පිඬු සිඟා වඩින භික්ෂූන් වගේ
ආකාසය පුරා ම ඇවිදගෙන ඇවිත්
ආයෙමත් පොළොව උඩ ජීවිතය හොයාගෙන
ආදරෙන් ඇදවැටෙන වැහි වතුර.

මිත්වරුනි
අදහන්න කැමති නම්
වරුසාව කියන්නේ ආගමක්.

හැබැයි
වරුසාව වන්දනා කරන්නට
මතක ඇතුව
කුඩේ අමතක කරන්න.
පියස්සක් යට නොඉඳ
ජීවිතේ එළිමහන් රඟමඬල වෙත එන්න
හොඳට තෙතබත් වෙවී
වරුසාවෙ සෙත් පිරිත අහගන්න.

වරුසාවෙහි හැසිරෙන්නා
වරුසාවෙන් රකිනු ලැබේ.

වරුසාව
තෙමීම සඳහා පමණක් නොවේ
විඳීම ද සඳහා ය.

වරුසාව කියන්නෙත් ආගමක්.

කුමාර හෙට්ටිආරච්චි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Share post:

Popular

සබැඳි
Related

කමිඳු මෙන්ඩිස් ගේ ද්විත්ව ශතකය සහ ශ්‍රී ලංකා ඉනිම අවසන් කිරීම

දෙවන ටෙස්ට් තරගය අවසන් වූවත්, කමිඳු මෙන්ඩිස් ගේ ද්විත්ව...

ස්තුතියි කුමුදු “කොළඹ මතක“ ලිව්වට

කෙනෙකු ස්වකීය ජීවිත මතකයන් ලියා තබන්නේ එය තවකෙකුට වැදගත්වේ...

ඩබ්ලියු ජයසිරි!!!

මා මුළින්ම ඩබ්ලියු ජයසිරි දුටුවේ, මට මතක විදිහට, 1986...

“සංස්කෘතික කොදෙව්වෙන් සොරාගත් ජීවිත X – ray කිරීම” – සාරි ඇඳපු පිරිමි

ලාංකේය නුතන නවකතාව තුළ හමුවන දුර්ලභ ගණයේ කතා වස්තුවකින්...