රෙෆරන්ස් පිරි කවි සත්කාරයක් වූ ‘පෙමාතුර චෙරි කුසුම’

ඩිල්ශානි චතුරිකාගේ ‘පෙමාතුර චෙරි කුසුම’

කවියක් රසවිඳින්න හිතුනාම, ඒ කවියේ කියැවෙන රෙෆරන්ස් කියවන්න හිතෙනවා ද? මට හිතෙනවා. එක ලෙඩක් ද. බිරියෝසා ගස ගැන තියෙන කවිය කියවන්න ගිහින්, ලස්සන වසිලිස්සා පොතේ කතා තුනක් කියවන්න සිද්ධ වුණා. කාටද අප්පේ මතක තියෙන්නේ අවුරුදු තිහකටත් එහා කාලෙකදී කියවපු පොත්? කියවන්න ඕනි කෙනෙක් ඉන්නවානම් ගූගල්ට කියන්න වසිලිස්සා පීඩිඑෆ් එක දෙන්න කියලා. ටක් ගාලා දෙනවා.

හොඳ වෙලාවට කොලරා කාලේ ආලේ පොත අතේ දුරින් තිබුණා. ප්‍රගීතිකාගේ කවි කියවද්දී කොලරා කාලේ ආලේ හොයලා ගත්ත නිසා හොඳට හියා. ඒ නිසා උවමණා කරන පිටුව වැඩි වෙහෙසක් නො ගෙන ම පෙරලා ගන්නත් පුලුවන් වුනා. නැත්නම් මේ ටික අද ලියන්න වෙන්නේ නෑ.

කවියෙකුට පුලුවන් පතරංග කතාවක් වචන කිහිපයකින් කියලා දාන්න. ඒකට උදාහරණයක් තමා පහත තියෙන උපුටා ගැනීම. දාබරේගේ කවියත් දිගයි තමයි. ඒත් ඒ සේරම නැතිව, නවකතාවේ පහත තියෙන ඡේදයයි කවියෙන් මං කපා ගත්ත පේලි කිහිපයයි අපූරුවට ක්ලික් වෙනවා. ඒ ක්ලික් එක නියමෙට ෆ්‍රේම් කරන්නත් පුලුවන් කියලා මට හිතෙනවා.

“ආපසු කුටිවලට යන අතරේ ඇගේ දොරකඩට ආ විට ඇගේ දෙ තොල් සිපගෙන සුබ රාත්‍රියක් පතන්නට ඔහුට ඕනෑ විය. එහෙත් ඈ හැර වූයේ වම් කම්මුල පමණි. එය සිප ගත් හුස්මෙන් ම ඔහු නැවත පෙරැත්ත කළ කල ඈ දකුණු කම්මුල ද හැරෙව්වා ය. එය හැරවූ අඟර දඟර කෝමලත්වය, පාසල් දැරිවියක ව සිටි කාලයේ වත් ඈ කෙරෙහි ඔහු දැක නො තිබුණි. එයින් කුල්මත් ව ඔහු නැවත පෙරැත්ත කළේය. එවිට ඈ දෙතොල දුන්නාය. සිය සිරුර හිටිහැටියේ ම වෙව්ලා යන බව ඈට දැනුණි. එය ඔහුගෙන් වසංගන්නට ඇයට කළ හැකිව තිබුණේ සිනාසීම පමණි. ඒ සිනාව, මඟුල් දා රැයින් පසු ඇයට අමතක වී තිබූ සිනාව ම ය.” (කොලරා කාලේ ආලේ – වියන්ගොඩ – පි. 536)

ෆ්ලොරෙන්තිනෝ අරීසා සහා ෆර්මිනා දාසාගේ මහලු වියේදී අත් පත් කරගන්නා ඒ අන්ධ, හිතුවක්කාර, බලා සිටීමේ ප්‍රීතිමත් ප්‍රේමයගැන කියැවෙන කතාවෙන් උපුටාගත් ඉහත ඡේදය කතාවේ ක්ලයිමෙක්ස් (Climax) එක ම නොවුණත් මේ ක්ලයිමෙක්ස් එක පේන තෙක් මානයේ පොඩි හුස්මක් ගන්න තැනක්නම්, මෙතෙක් අරීසා හා දාසා ආ මුලු ගමන ම, එක මිටට ගෙන එය කවි පේලි කිහිපයකින් දක්වන්නට කිවිඳිය සමත් වී ඇති ආකාරය වටහා ගන්නට “අරීසාම ය දාසා” නම් කවියෙන් උපුටාගත් මේ කොටස බලන්න.

දාසා … දාසා
මතකයි ද ඒ අරීසා

මේ කෙසඟ අත් දිගේ
වකුටු මුහුණත් තල පුරා
දිව ගියෙන්
පිබිදුණෙම්
යොවුන් වළ ලෑ ආශා
ස්වර්ග දූවේ රැල්ලක් ද
දෙයියනි
ගිනි දී නගින්නේ මේ සා

ඩිල්ශානි චතුරිකා දාබරේගේ කවි ගැන අපි කතා කරන්න ඕනී. ඒ ගැන සංවාදයක් ගොඩනගන්නත් ඕනී. ඒ මේ කවි පොත තරමක් වෙනස් කවි රසයක් උපදවන නිසා. ඒ රස කවියේ අද පවතින මේ සමාජ සංස්ථාව ගැන තරුණ කියවීමක් තියෙන නිසා. “කෙසේ සොයමුද හදවත්” වැනි කවියක්, කොළඹ කාක් වසුරින් නැහෙවෙමින් තියෙන ධර්මපාල තුමාගේ පිළිමයක් හා ගල් විහාරයේ වැඩ සිටින බුදු හිමියන්ගේ පිළිමයත් ගෙන පිළිම ඇසින් සමාජය දෙස සිදු කරන විපරමත් කවියකට නැගීම වැනි කවි සත්කාරයක් කරන්නට චතුරිකා සමත් වී ම ම ඇගේ කවියේ පවතින විශේෂත්වය විදියට පෙන්වන්නත් පුළුවන්.

නිරෝෂ ප්‍රනාන්දු

හැමිල්ටන්, බර්මියුඩා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Share post:

Popular

සබැඳි
Related

කමිඳු මෙන්ඩිස් ගේ ද්විත්ව ශතකය සහ ශ්‍රී ලංකා ඉනිම අවසන් කිරීම

දෙවන ටෙස්ට් තරගය අවසන් වූවත්, කමිඳු මෙන්ඩිස් ගේ ද්විත්ව...

ස්තුතියි කුමුදු “කොළඹ මතක“ ලිව්වට

කෙනෙකු ස්වකීය ජීවිත මතකයන් ලියා තබන්නේ එය තවකෙකුට වැදගත්වේ...

ඩබ්ලියු ජයසිරි!!!

මා මුළින්ම ඩබ්ලියු ජයසිරි දුටුවේ, මට මතක විදිහට, 1986...

“සංස්කෘතික කොදෙව්වෙන් සොරාගත් ජීවිත X – ray කිරීම” – සාරි ඇඳපු පිරිමි

ලාංකේය නුතන නවකතාව තුළ හමුවන දුර්ලභ ගණයේ කතා වස්තුවකින්...