“සොහොන් පිටියක පන්දු කෙලින අමුතු ලෝකය”

ලෝක පුදුමයක් විදිහට සැලකෙන චීන මහා ප්‍රාකාරයට කියන තවත් නමක් තමයි “මින්ග් රාජධානියේ සොහොන් පිටිය”. ක්‍රිස්තු පූර්ව හත්වන සියවසේ පමන ගොඩ නැගීම ඇරඹුනු චීන මහා ප්‍රාකාරය ඉදිකරන්න සියවස් ගණනාවක් ගතවෙනව.
මේ විශිෂ්ඨ ඉදිකිරීමට චීනය පුරාම ඉන්න චීන සිරකරුවන් සියළු දෙනාම වගේ යොදා ගන්නව. මේ සිරකරුවන් වගේම ඉදිකිරීම් වලට යොදාගත් කම්කරුවන් ලක්ශ හතරකට අධික සංඛ්‍යාවක් මිය යනව ඉදිකිරීම් වැඩ වලදී. මේ මරණ වලින් වැඩි ප්‍රමානයක් හදිසි අණතුරු වෙද්දි මෙයින් බොහෝ දෙනෙක් ප්‍රාකාරයේ අත්තිවාරම තුලම මිහිදන් කෙරෙන නිසයි “මින්ග් රාජධානියේ සොහොන් පිටිය” කියන නම චීන මහා ප්‍රාකාරයට ලැබෙන්නෙ.

මොනව වුනත් ඒ පරන කාලෙ.. ඒ කාලෙ ජීවිත වලට දෙන වටිනාකම අද වගේ නෙවෙයි… අපිට තර්ක කරන්න පුළුවන්.
නමුත් අද දවසෙත් මේ වගේම අමිහිරි සිද්ධීන් සිදුවෙනව කිව්වොත් පුදුම විය යුතු නැහැ.

අද ඒ දේ සිද්ධ වෙන්නෙ චීනයේ නෙවෙයි කටාර් දේශයේ. අපි කවුරුත් දන්නව ලෝක පාපන්දු ශූරතාව මෙවර පැවැත්වෙන්නෙ කටාර් රාජ්‍යයේ බවත් ලබන නොවැම්බර් 20 වෙනිදා මේ පාපන්දු ශූරතාවලිය ඇරඹීමට නියමිත බවත්.
(2019 අවුරුද්දෙ හිස් ක්‍රීඩාංගණයක ලෝක මලළ ක්‍රීඩා ශූරතාවය පැවත්වුවෙත් කටාර් රාජ්‍යයේ බව අපිට මතකයි. ඒ තවත් මහා පාරිසරික විනාශයක්)

ලෝක පාපන්දු ශූරතාව වෙනුවෙන් ගොඩ නැගෙන පුදුමාකාර පාපන්දු ක්‍රීඩාංගණ බලන්න ලස්සනයි. අල් කොහ්‍ර් ( Al Kohr) නගරයේ ඉදිවෙන මේ එක සුපිරි ක්‍රීඩාංගනයක 60 ,000 කට ආසන්න ක්‍රීඩා ලෝලීන්ට අසුන් ගන්න පුළුවන්. අනිත් ක්‍රීඩාංගන වුනත් ඉතාම නවීන අලංකාර ඉදිකිරීම්.
කටාර් කියන්නෙ උෂ්ණ දේශගුණයක් තියන කාන්තාර රටක් නිසා සාමාන්‍ය උෂ්ණත්වය අංශක 40 – 45 දක්වා ඉහල යනව.
මේ තරම් අධික උෂ්ණත්වයක පාපන්දු ක්‍රීඩා කිරීම ලේසි නෑ.
ලොව පුරා වෙසෙන පරිසර වේදීන්ගේ ඉල්ලීම් ගනන් නොගන්නා සංවිධායකයින් මේ ක්‍රීඩාංගණය එක්තරා ආකරයක වායු සමීකරණයට ලක් කරන්නෙ ක්‍රීඩකයන්ගේ හා නරඹනන්නන්ගේ පහසුව තකා බව රහසක් නෙවේ. නමුත් මේ හරහා සිදුවෙන පරිසර දූශණය ගැනිය නොහැකි තරම්.

මේ හරහා වැය කරන බල ශක්තියටත් වඩා ඉහල අගයක තියෙන්නෙ පරිසරයට එකතු කරන කාබනික වායු ප්‍රමාණය.
කෙනෙක්ට අහන්න පුළුවන් මේ තරම් කටුක දේශගුණයක් තියන රටක ලෝක පාපන්දු ශූරතාව පවත්වන්නෙ ඇයි කියල. ඒක සාධාරණ ප්‍රශ්ණයක්.

අනිත් අතින් මිලියන තුනකටත් අඩු ජනගහනයක් ඇති.. කිසිම විටෙක ලෝක පාපන්දු ශූරතාව දිනපු හෝ අවසන් වටයටවත් පැමිනිලා නැති රටකට ලෝක ශූරතාව සංවිධානය කරන්න දෙන්නෙ ඇයි කියන ප්‍රශ්ණය අපිට අහන්න වෙනව.
ඒක හරියට ලෝක ක්‍රිකට් ශූරතා තරඟාවලිය අයිස් ලන්තයේ පවත්වනව වගේ වැඩක්.
උත්තරය තෙල්.. ගෑස් හරහා ගොඩ නැගෙන ඒකාධිකාරයත් .. ඒ හරහා මුළු ලොවම පාලනය කිරීමේ උපක්‍රම කටාර් රාජ්‍ය සතුවීමත් යන කාරණායි.

මේ තරම් පරිසර විනාශයක් වෙද්දිත් ..පරිසර වේදීන් උද්ඝෝශණය කරද්දිත් බොහොමයක් යුරෝපා හා ආසියානු රාජ්‍යයන් නිහඬයි.
ඒකට හේතුව තමයි රුසියානු යුක්‍රේන් යුද්ධයත් එක්ක යුරෝපයටත් මුළු ලෝකයටත් මුහුණ පාන්න වෙලා තියන ඉන්ධන හා ගෑස් අර්බුධය.

යුරෝපා රටවල් විසින් කටාර් රාජ්‍ය වැඩපිලිවල විවේචනය කලහොත් ඉන්ධන ගෑස් සැපයීම අඩුකිරීමට හෝ මිළ ඉහල නැංවීමේ හැකියාව කටාර් වගේ රජයන්ට තියනව.
අනිත් අතින් යුරෝපා රටවල වගේම ඇමරිකානු භූමිය තුලත් ආයෝජන සීමා කරන්න කටාරයට පුළුවන්.
මුළු ලෝකයම දන්න තවත් කාරණයක් තමයි ලෝක පාපන්දු සම්මේලනය කියන්නෙ ඉතාම දූශිත ආයතනයක් බව. මේ ආයතනය තුල වගේම යුරෝපා පාපන්දු සමාජ වලත් කටාර්.. සෞදි අරාබිය හා බහරේන් වගේ රාජ්‍ය වල ඩොලර් බිලියන ගනන් වලින් ආයෝජනය කෙරෙනව.

යුරෝපයේ ප්‍රසිද්ධම පාපන්දු සමාජ වලින් එකක් වන පැරිස් සැන්ට් ජර්මේන් ( Paris saint Germain)පාපන්දු සමාජය මිළට ගන්නෙ කටාරය විසින්.
මැන්චෙස්ටර් සිටි ( Manchester City) අයිතිය අරාබි එමිරේස්ට්ස් සතුයි.
ඇස්ටන් විලා සමාජයේ අයිතිය ඊජිප්තුව සතුයි.
මේ සමාජ වලට වගේම යුරෝපයේ .. ඇමරිකාවේ විවිධ ක්‍රීඩා සමාජ වලට මැදපෙරදිග මුදල් ආයෝජනය කරන්නෙ ඩොලර් බිලියන ගනන් වලින්.

ඒ හරහා තෙල් සල්ලි වලට පාපන්දු ඒකාධිකාරයක් යුරෝපයේ නිර්මාණය වෙනව කීවොත් නිවැරදියි. මේ මුදල් නැති කර ගැනීමට අකමැති වගේම බලශක්ති අර්බුධය දරුණු කර ගැනීමට අකමැති සමහර යුරෝපීය රටවල් අනුගමනය කරන්නෙ කුහක පිලිවෙතක් කීවොත් ඒක අතිශෝක්තියක් නෙවෙයි.
අනිත් කාරණය තමයි ඉතාම වැදගත් වෙන්නෙ.

කටාර් දේශයේ රැකියා කරන විදේශිකයන් සංඛ්‍යාව මිලියන දෙකකට ආසන්නයි. මෙයින් සීයට අනූවක් පමන කම්කරුවන්. ඒකෙ ඇති වරදක් නෑ.. දුප්පත් රටවලට ඒ අය රැකියා දෙනව. කටාර් ජාතිකයන් කිසිම කෙනෙක් දුශ්කර කම්කරු රැකියා වල යෙදෙන්නෙ නැහැ. ඒ අයගෙන් භහුතරය ධනවත්.
අධික උශ්ණත්වයක් යටතේ අඩු වැටුපට රැකියා කරන බොහෝ දෙනෙක් ඉන්දියානු.. පාකිස්ථාන … බංග්ලාදේශ .. නේපාල හා ශ්‍රී ලාංකික ජාතිකයන්. ( සුදුසුකම් සහිතව නියමිත වැටුපට වැඩ කරන ඉහල අධ්‍යාපනය ලබපු පිරිසක් සිටින බවත් අපි අමතක කල යුතු නැහැ).

මේ අයගෙ නවාතැන් හා ආහාර පාන පිලිබඳ තත්වය ගැන ලෝක සවුඛ්‍ය සංවිධානයත් .. ලෝක කම්කරු සංවිධානයත් කීප වරක්ම අණතුරු ඇඟවූවත් කටාර් රාජ්‍යයෙන් ඒ පිලිබඳ සතුටු දායක පිලිතුරු ලැබෙන්නෙ නැහැ.
කටාර් දේශයේ සුපිරි පාපන්දු ක්‍රීඩාංගණය ඉදි කිරීමේදී ඒ වෙනුවෙන් ජීවිත අහිමි කරගත් සංඛ්‍යාව 7000 ඉක්මවා යන බව කිව්වොත් ඔබ පුදුම වෙනව.

ඒ සංඛ්‍යා ලේඛණ 2021 වසර අවසන් වෙද්දි වුනත් මේ වෙද්දි මේ මරණ සංඛ්‍යාව ඊට වඩා අධික බවයි මානව හිමිකම් සංවිධාන සඳහන් කරන්නෙ.

රටවල් වශයෙන් ගත්තොත්

ඉන්දියානු ශ්‍රමිකයන් 2711
නේපාලය 1641
බංග්ලාදේශය 1018
පාකිස්ථානය 824
ශ්‍රී ලංකාව 557 . ආදී වශයෙන් .

කටාර් පාපන්දු වසන්තය වෙනුවෙන් ජීවිතය දුන් සංඛ්‍යාව අඩුම තරමින් 7000 ඉක්මවද්දි ඒ වෙනුවෙන් ශ්‍රී ලාංකිකයන් 557 දෙනෙක් ජීවිත වලින් වන්දි ගෙවනව.

අධික උශ්ණත්වය හා හදිසි අණතුරු.. වෙහෙස.. ප්‍රමාණවත් විවේකයක් නොලැබීම… අඩු පෝශ්‍ය.. .. නිසි වේලාවට ප්‍රථිකාර ලබා නොදීම මේ හදිසි මරණ වලට හේතු වෙද්දි කටාර් රජය ඒ පිලිබඳව අනුගමනය කරන්නෙ නිහඬ පිලිවෙතක්. අපි ඒ පිලිබඳ පරීක්ශා කරනව.. ඉතාම කණගාටුයි ඒ සිදුවීම් ගැන.. ඒ වගේ කෙටි උත්තර තමයි කටාර් රාජ්‍යයෙන් අපිට අහන්න ලැබෙන්නෙ.

විශේෂයෙන්ම වින්දිතයන්ට වන්දි ලබාදීමේදී අදාල රටවල රජයන් සමග සිදු කරන ලද දූශිත එකඟවීම් ගැන ද ගාර්ඩියන් පුවත් පත කීප වරක්ම වාර්ථා කරනව.

මේ හැමදෙනාම දුප්පත් කම හේතුවෙන් තමන්ගෙ පවුලෙ අය නඩත්තු කරන්න කම්කරු රැකියා වලට යොමු වුනු අහිංසකයන්. පලංචි වලින් ඇදන් වැටිල.. යන්ත්‍ර සූත්‍ර වලට යටවෙලා… ලෙඩ රෝග වලට අහුවෙලා මියගිය මේ හැමෝම හෙට දවසක් ගැන හීන දැකපු.. මහන්සි වෙලා වැඩ කරන මිනිස්සු.
නමුත් ඒ අය වෙනුවෙන් හඬ නැගෙනව ඉතාම අඩුයි.

මේ අසාධාරනයට විරුද්ධව යුරෝපයේ තැන තැන විරෝධතා හා උද්ඝෝශණ දකින්න පුළුවන්. ජිනීවා.. ලියොන්.. පැරිස් වගේ නගර විශාල පුළුල් තිරවල පාපන්දු තරඟ ප්‍රදර්ශණය කිරීම නවත්වනව. තරඟ විචාරකයන් හා මාධ්‍ය වේදීන් කටාර් රාජ්‍යයට යන්න ප්‍රථික්ශේප කරනව. නමුත් සාපේක්ශ වශයෙන් මේ විරෝධතා ප්‍රමාණවත් නැහැ.
ඇයි රාජ්‍යයක් වශයෙන් මේ ගැන පැහැදිලි විරෝධයක් නොදක්වන්නෙ රජයට සම්භන්ධ මිත්‍රයෙක්ගෙන් මම ඇහුව.
“එහෙම කරල කොහොමද අපේ ජනතාව සීත කාලෙදි සීතලේ තියන්නෙ.
මිත්‍රයා.. අපි හැමෝම ඉන්නෙ අපේම ප්‍රශ්ණ ගොඩක. අවාසනාවකට පොළව යටින් එන මේ කළුතෙල් තවමත් ලෝකය පාලනය කරනව ” .. එයා උත්තර දෙනව.

මුස්ලිම් ආක්‍රමණ වලට විරුද්ධව ලෝකෙටම ඇහෙන්න හඬ නගපු රුසියාව පවා යුද්ධ ආධාර ලබා ගන්නත්… තෙල් හා ගෑස් සැපයුම සීමා කරන්නත් මැදපෙරදිග හා අප්‍රිකානු මුස්ලිම් රාජ්‍ය නායකයන් කණ්ඩායමක් එක්ක මොස්කව් නුවරදි සාකච්ඡා පැවැත්වුවෙත් මේ සතියෙදිමයි.

නෙයිමා… රොනාල්ඩෝ… ලයනල් මෙසී.. බෙන්සෙමා වගේ සුපිරි තරු ක්‍රීඩා කරාවි බබලන දිලිසෙන විදුලි එලි මැද. ඒත් මේ අයගෙන් කී දෙනෙක් සිහිපත් කරාවිද ක්‍රීඩාංගන ඉදිකරන්න තමන්ගෙ ජීවිතය දූන්නු දුප්පත් කම්කරුවන් ගැන.
මේ සටහන ඔබ කියවන මොහොතෙදිත් දහස් ගනන් කම්කරුවන් අඩු පඩියට ඉතාම දුශ්කර තත්වයන් යටතේ වැඩ කරනව.
මේ ලෝකය එහෙමයි… අඩුම තරමෙ අපි දැන් දන්නව මේ පාපන්දු සෙල්ලම් කරන්නෙ අසරණ මිනිස්සු දහස් ගානක් ජීවිත දුන්නු තැනක බව.

Malcolm Sang

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Share post:

Popular

සබැඳි
Related

කමිඳු මෙන්ඩිස් ගේ ද්විත්ව ශතකය සහ ශ්‍රී ලංකා ඉනිම අවසන් කිරීම

දෙවන ටෙස්ට් තරගය අවසන් වූවත්, කමිඳු මෙන්ඩිස් ගේ ද්විත්ව...

ස්තුතියි කුමුදු “කොළඹ මතක“ ලිව්වට

කෙනෙකු ස්වකීය ජීවිත මතකයන් ලියා තබන්නේ එය තවකෙකුට වැදගත්වේ...

ඩබ්ලියු ජයසිරි!!!

මා මුළින්ම ඩබ්ලියු ජයසිරි දුටුවේ, මට මතක විදිහට, 1986...

“සංස්කෘතික කොදෙව්වෙන් සොරාගත් ජීවිත X – ray කිරීම” – සාරි ඇඳපු පිරිමි

ලාංකේය නුතන නවකතාව තුළ හමුවන දුර්ලභ ගණයේ කතා වස්තුවකින්...