සිනෙඩීන් සිඩෑන් 98 දි ප්‍රංශයට ලෝක කුසලානය අරන් දුන්නේ ඔලුවෙන් ගහලා. එදා Final match එකේ ප්‍රංශය ගහපු ගෝල් 3න් දෙකක්ම සිඩෑන්ගෙ head ගෝල්. ඒ කාලෙ බ්‍රසීලයේ රොනාල්ඩෝලා, රිවාල්ඩෝලා තමයි පාපන්දු ලෝකය හොල්ලන් හිටියේ. ඒත් Cup එක ගත්තට පස්සේ සිඩෑන් ලෝක පූජිත වුණා. එදා තමයි ප්‍රංශයේ දීර්ඝ කාලීන පාපන්දු හීනය මුලින්ම සැබෑ වුණේ.
එයින් පස්සෙ තිබුණු 2002 World Cup එකේදි ප්‍රංශකාරයො මුල් වටයෙන්ම ගෙදර ගියා. ඒත් 2006 දි සිඩෑන්ගෙ නායකත්වය යටතේ ප්‍රංශය ආයෙම Final ආවා. අනිත් පැත්තෙන් ආවෙ ඒ වෙන කොටත් තුන් පාරක් Cup එක උස්සපු ඉතාලිය. පාපන්දු ලෝකයේදි ප්‍රංශයයි ඉතාලියයි ඒ කාලෙ Final ආවා කියන්නේ ක්‍රිකට් Would Cup එකේ ඉන්දියාවයි පකිස්තානයයි Final සෙට් වුණා වගේ තමයි. විනිසුරුවන්ට කාඩ් උස්සලම එපා වෙනවා.
2006 මැච් එකේදි ලෝක පූජිත Football Legends දෙන්නෙක් දෙපැත්තෙන් සෙල්ලම් කළා. එක්කෙනෙක් අපි කවුරුත් දන්න සිනෙඩීන් සිඩෑන්. ඔහු ප්‍රංශ නායකයා විදියටයි පිටියට ආවේ. ඔහුගේ අනිකා ඉතාලියේ මාර්කෝ මර්තෙරස්සි. ඒ මැච් එක දෙන්නාගේම අවසාන ලෝක කුසලානය. ඒ නිසා world cup එක අරන් ලොකු අයියලා දෙන්නාට හොඳ සමුගැනීමක් ලබා දෙන්න දෙපැත්තේම ක්‍රීඩකයො උනන්දු වුණා. තරඟයේ අතිරේක කාලය හමාර වෙද්දිත් ලකුණු පුවරුව දැක්වුණේ ගෝල 1-1 ක් විදියට. එකක් ගැහුවේ ප්‍රංශයේ සිඩෑන්. අනික ඉතාලියේ මර්තෙස්සි. පට්ටම කරට කර තරඟයක්.
අවුරුදු අටකට කළින් ප්‍රංශයට දෙවියන් කැඳවූ සිඩෑන්ගේ රත්තරන් ඔලුගෙඩියට මැච් එකේ අන්තිම විනාඩියේ යකා වැහුණා. සිඩෑන්ගේ යක්ෂ හිස ක්‍රියාත්මක වුණා. ඔහු කුළු මීමෙක් වගේ පාත් වෙලා ඔලුවෙන් ඇන්නා. හැබැයි බෝලෙට නෙවෙයි. ප්‍රතිවාදී ඉතාලියේ ලෝක පූජිත මර්තෙස්සිගේ පපුවට. ඒ කරපු නොහොබිනා වැඩේ නිසා සිඩෑන්ව රෙඩ් කාඩ් දීලා එළියට දැම්මා. ඒ ගොං වැඩේ නොවන්නට ප්‍රංශය තමා එදත් ලෝක කුසලානය ගන්නේ. සිඩෑන් සීන් එකෙන් අයින් කළාම ප්‍රංශ team එක මානසිකව වැටුණා. පස්සෙ Penalty වලින් ඉතාලිය ගොඩ ගියා.
කතාව ඒකම නෙවෙයි. එදා ඉතාලි Team එකේ හිටියේ මර්තෙරස්සි, දෙල් පියෙත්‍රෝ, තොත්ති,රොස්සො වගේ ක්‍රීඩකයෝ.ඔක්කොම Original ඉතාලි කාරයෝ. ඒත් ප්‍රංශ Team එකේ බහුතරය කල්ලො. සිඩෑන්ට වුණත් තියෙන්නේ ඇල්ජීරියන් සම්භවයක්. 2018දිත් ප්‍රංශය කප් එක ඉස්සුවේ කලු කොල්ලො සෙට් එකක් දාලා කියලා චෝදනාවක් ආවා.කල්ලන්ට හයිය තියෙනවා. සුද්දන්ට තක්ෂණය තියෙනවා. මේ දෙක එකතු කරලා තමයි ප්‍රංශකාරයා ගේම ගහන්නේ.
එහෙම බැලුවම ආජන්ටිනාව දිනුවේ උන්ගෙම ලේ වලින් කියන්න පුළුවන්. යුරෝපීයන් පාපන්දුවේ ආර්ථික බලය අල්ලාගෙන හිටියාට පාපන්දුවේ විචිත්‍රවත්වය තියෙන්නේ ලතින් ඇමෙරිකාවෙ. ඒක හරියට ක්‍රිකට් වංශකතාවේ ඉන්දියාව දරණ ආධිපත්‍යය වගේ. ප්‍රංශය පාපන්දුවෙන් ක්‍රීඩාවට වඩා එහා ගිය භූ- දේශපාලනික ජයග්‍රහණයක් බලාපොරොත්තු වෙනවා. ප්‍රංශය තමන්ගෙ අසල්වැසියන් එක්ක යුරෝපා නායකත්වය සඳහා සීතල යුද්ධයක පැටලිලා ඉන්නවා. ඉතාලිය කෙසේ වෙතත් ජර්මනිය දැන් ප්‍රංශය අභිබවා වේගයෙන් ඉදිරියට ඇවිත් තිබෙනවා. නමුත් යුරෝපා සංගමයේ න්‍යෂ්ටික බලය සහිත එකම රට ප්‍රංශය. රුසියාව සමඟ යුද්ධයක පැටලීමට යුරෝපා න්‍යෂ්ඨික බලවතා ලෙස තමන් අකමැති බව ප්‍රංශ ජනාධිපති මැක්‍රෝන් මහත්තයා මෑතකදි කිව්වා. බටහිර ලෝකයේ ප්‍රංශයට තියෙන්නේ වෙනම ගමනක්.
නූතන ක්‍රිකට් ක්‍රිීඩාවේ තියෙන භූ-දේශපාලනය සියුම්ව නිරීක්ෂණය කරන්න පුළුවන්නම් පාපන්දුවටත් ඒක අදාල කර ගන්න,පුළුවන්. ඉන්දියාව IPL ගහන කොට ඕස්ට්‍රේලියාව, එංගලන්තය APL, EPL ගහන්න යන්නෙ නෑ. ඔවුන් ඉන්දියාවෙ පදේට නටන්න ගිහින් ක්‍රිකට්වලින් තමන් අත්පත් කරගත්ත සම්ප්‍රදායික වටිනාකම් නැති කරගන්න ගියේ නැහැ. අමාරුවෙන් හරි අළු බඳුන වගේ තරඟාවලි තවම පවත්වනවා. පාපන්දුවේ ලෝක සැණකෙළිය ආසියාවේ තියෙද්දී අපි ඉතින් මෙහේ දමාගෙන LPL ගහනවා. ගහන උන්ගෙ පවුල්වල අයවත් ඒව බලනවද සැකයි.
ඉන්දියාව දන්නවා කවදාවත් පාපන්දුවෙන් ලෝකය අල්ලන්න බැරිබව. හින්දු දේවවාදී සම්ප්‍රදායික කැම රටාවට හුරුවෙලා තියෙන පෙරදිග ඉන්දීය ජාන එක්ක පැය 2ක් එකදිගට පිට්ටනියක දුවන්න බැහැ. එළවලු, බත්,මාලු, චිකන් විතරක් කන බහුතරයක් ඉන්න උප මහාද්වීපයකට ඒක හීනයක්. ඉන්දියානු උපාය මාර්ගිකයන් ඒක දන්නවා. සිනමාවෙන් ආසියාව අල්ලලා, IT වලින් උතුරු ඇමෙරිකාව අල්ලලා, Businessවලින් යුරෝපය අල්ලලා ඉන්දියාව දැන් එන්නේ ක්‍රිකට්වලින් මැදපෙරදිග තෙල් සල්ලි හොල්ලන්න.
2010 දී තමයි කටාර් රාජ්‍යයට පාපන්දු ලෝක කුසලානයේ සත්කාරකත්වය හිමිවන බව ප්‍රකාශයට පත්වුණේ. පාපන්දුවේ දේශපාලන ආධිපත්‍යය තියෙන යුරෝපීයයන් බෝලය කටාර් පැත්තට යොමු කළේ අත ලෙව කන්න නෙවෙයි. ඇස්තමේන්තු කරපු විදියට ඇමෙරිකානු ඩොලර් බිලියන 200ක් විතර මේ මංගල්‍යයට වියදම් වෙලා තියෙනවා. ලංකාව ගෙවන්න තියෙන සමස්ත ණය ප්‍රමාණයත් ඩොලර් බිලියන 59යි. එහෙව් එකේ මේ සා විශාල මුදල් කන්දරාවක් මෙවුන්දැලා වියදම් කරන්නේ ඇයි?
ලෝකයේ වෙළඳ අගනුවර කාලයෙන් කාලයට වෙනස් වෙනවා. වැනීසිය, කොන්ස්තන්තීනොපලය, ඇම්ස්ටඩෑම් හරහා ඇවිත් දැන් ලෝක වෙළඳාමේ ආධිපත්‍යය දරන්නේ ඇමෙරිකාවේ නිව්යෝර්ක්. හැබැයි චීනයේ ෂෑන්හයි,සිංගප්පූරුව විතරක් නෙවෙයි ඩුබායි නුවරත් දැන් වේගයෙන් ඉස්මතුවෙලා තියෙනවා. මේ අතරින් ඩුබායි නගරය නිව්යෝර්ක් පවා පසුකරමින් ඉදිරියට ගොස් තිබෙනවා. දැන් කටාර් රාජ්‍යය ඩොලර් බිලියන 200ක් වියදම් කරගෙන මේ අල්ලපු අඩව්ව ගැන අදහසක් ගන්න පුළුවන්. ඔවුන්ට ඕනෑ ඩුබායි අභිබවා ගිහින් මැදපෙරදිග ආර්ථික බලවතා වෙන්න.ඒ සඳහා ඕනෑවටත් වඩා කරුණු දැන් පෙළ ගැහිල තියෙනවා. මුස්ලිම් ලෝකයේ පළමු තේරිම වූ මොරොක්කෝව Semi final ආපු එක කටාර්වරුන්ට ලොතරැයියක් ඇදුණා හා සමානයි. ඒ වගේම ලොව පුරා පාපන්දු ලෝලීන්ගේ පළමු තේරීම වූ ලයනල් මෙසීලාගේ ආජන්ටිනාව ලෝක කුසලානය ගැනීම ඊටත් එහා ගිය අවස්ථාවක්.යුරෝපා රටක් ජයග්‍රහණය කළත් ඒ අමන්දානන්දය යුරෝපයෙන් පිටට යනවා අඩුයි. ඒත් ආජන්ටිනාවේ ජයග්‍රහණය බොහෝ කාලයක් මිනිස්සුන්ට මතකයේ රැඳේවි.
ආජන්ටිනා ජනතාවටත් මේ ජයග්‍රහණය ඉහටත් උඩින්. එහෙත් ඉතින් සන්තුෂ්ඨි පරමංදනං කියල කට ඇරල කියන්න පුළුවන් ඉතින් දේශපාලනඥයන්ට තමයි. සුද්දො වගේ හිටියට වැඩි දෙනෙක් දරිද්‍රතාවයෙන් පෙළෙනවා. උප ජනාධිපතිවරිය දූෂණ චෝදනා ඔප්පු වෙලා හිරෙත් ගියා. ලංකාවට ක්‍රිකට් වගේ ආජන්ටිනාවට පාපන්දු කියන්නේ ඉඳල හිටල හරි මිනිස්සුන්ට සතුටු වෙන්න තියෙන මාතෘකාවක්. හැබැයි ලයනල් මෙසීලා අපේ උන්දැලා වගේ සල්ලි දීලා ෆෑන් බේස් නඩත්තු කරපු අය නෙවෙයි. ඒකයි ඔහු ආජන්ටිනානුවන්ට ආගමක් වෙන්නේ. අවුරුදු 35ක් කියන්නේ පාපන්දුවට නාකි පඩංගුවක්. එත් මෙසී හොම්බ බිම ඇනෙනකම්ම සෙල්ලම් කළා. ඒ අධිෂ්ඨානය,කැපවීම විශිෂ්ඨයි. ප්‍රංශයේ විශිෂ්ට එම්බාප්පේගේ දීප්තියත් අන්තිමට මෙසීලාගේ අත්දැකීම් හමුවේ අඩු වී ගියා. මැරඩෝනාටවත්, පෙලේටවත්, ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝවටවත් මෙසී වගේ ජයග්‍රාහීව විශ්‍රාම යන්න බැරි වුණා. ඒත් මෙසී ජයග්‍රාහී පුරවෘත්තයක් වෙලා නික්ම ගියා.
ශානක ලියනගම