“ඒ සමනලුන් මිය ගියේ මා නමින් නම්” ඊට වටිනාකමක් දිය යුතුයි

නවක නිර්මාණකරුවෙක්ට අංක එකට වැදගත් වන්නේ ඒ සඳහා ලැබෙන ප්‍රතිචාර. ප්‍රතිචාරය හරහා නිර්මාණකරුවා වෙත සම්ප්‍රේෂණය වෙන්නේ ඔහුගේ නිර්මාණය කෙරෙහි සමාජය දක්වන උනන්දුව සහ උවමනාව පිළිබඳ අදහසයි. මම හිතනවා ගගන ගේ ඊලග නිර්මාණ එකතුව සඳහා මේ ප්‍රතිචාර ඉතා වැදගත් වෙනවා කියලා. උනන්දුව සඳහා දිරිය ඒ හරහා ලැබෙනවා කියලා.

ගගන ලක්සර වර්ණකුලසූරිය ඒ සමනලුන් මිය ගියේ මා නමින් නම් කාව්‍ය එකතුව තුලින් සමාජයට හෙළිදරව් කරනවා, ඔහු පිළිබඳව අදහසක්. මොකක්ද මේ ඔහු පිළිබඳව ඔහු කරන හෙලිදරව්ව. ඒ තමයි ඔහු සමාජ දේශපාලන සංස්කෘතික සජීවී ජීවියේක් කියන එක.

හැම කවියටම සිදුවීමක් තියෙනවා. ඒ හැම සිදුවීමක් පිටුපසම ජීවත් වෙන්න පොරබදන මිනිස්සුන්ගෙ කඨෝර පැහැය තැවරී තියනවා . එපමණක්ද නොවෙයි ජනවාර්ගික අර්බුදය දෙස වැඩි උනන්දුවකින් කවියා බලන බවද පෙනෙන්න තිබේ. ඔහු නියෝජනය නොකළ පරම්පරාවක් ආරම්භ කළ මේ අර්බුද තමන් අතින් ද සිදු වූ වරදක් ලෙස සිතමින් ඉන් පීඩාවට පත්වන මිනිසුන් ගෙන් සමාව අයදින්න තරම් ඔහු මේ ප්‍රශ්නෙදි වරදකාරී හැඟීමෙන් පෙළෙන බව හැඟවෙනවා, මෙ පහත කවියෙන්.

“වාල්දිය”
කිරි සිනහ අවැසි නම්,
මේ පැත්තෙන් එන්න.
කෝනෙශ්වරම් දේවාල පා වැඳ
තොටිලි එල්ලා
ඔය පාරෙන් එන්න.
හිස නමා හඬ නඟා
“වාල්දිය” කියන්න.

බහුබූත ආගමික සදාචාරය රටක් අඩපණ කරන්න, ජාතියක් නිර්වින්දන කරන්න පාවිච්චි කරන දේශපාලන මෙවලමක් බවට පත්වී තිබේ. එපමණක්ද නොව මිනිසුන් පීඩාවට පත් කරන අවියක් ලෙස ද මේ ආගමික සදාචාරය පාවිච්චි වෙමින් තිබේ. මේ බහුබූත සදාචාරයෙන් පීඩාවට පත් වූ මිනිසුන් පසුගිය කාලයෙහි අපට හමු වුණා. ගගන මේ කවියට අනුභූතිය කරගන්නේ එවන් සිදුවීමකි.

“ටටා කියපන් අම්මේ”

ඇදී ගිය ඉරවට
යන්තම් පටලන් සාරිය
ඔය සෙනග මැද්දෙම
ගලෝපන් අම්මේ!

ලේ හැලෙන පාපය දකින්නට
කුංකුමේ හැඩ බලන කැඩපත
පුංචි වැඩි ඇති අම්මේ!

උඹේ ගොරහැඩි දුක අහන්නට
ඉන්දියාවෙන් නොදුටු දෙවියෙක්
කෝනෙශ්වරම් ගලේ අව්වේ
කොහේ ඉන්නද අම්මේ!

නොදන්නා දෙයියෙක් හොයාගෙන
නොදන්නා දුරු රටක ඇවිදින්
සුසිල්වත් කණ කොක් රැළක් මැද
දෙයියො දැක්කත් අම්මේ!
ඇඳන් උන් වස්තරෙත් එක්කම
ගලෙන් පැනපන් පිම්මේ!

අපායෙදි හමුවුනොත් ආයෙ ම
උඹට කොටු සිල් ගත්තු කොක් රැළ
මතක ඇතුවම එන්ට කලියෙන්
ටටා කියපන් අම්මේ!

සමස්තයක් ලෙස ගගන ගේ කවි පොත මා කියවා ගන්නේ සමාජ දේශපාලන දෘෂ්ටි කෝණයක් සහිත අවදිව සිටින තරුණයකුගේ හදවතක් ලෙසය. මම ඉදිරියේදී ගගන කවියෙකු ලෙස බර පියවර තබා යන්නෙකු ලෙස දකින්නට ආස කරන්නෙමි.

එපමණක්ද නොව ඔහු කවියෙකු පමණක්ම නොව, “සිත් නන්නත්තාර කරන” පොත් කවර නිර්මාණ කරන්නෙකු ලෙසද කුසලතා සහිත කියවීමක් ඇති කෙනෙකු ද වන්නේ ය.

හිල්මි සුපුන්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Share post:

Popular

සබැඳි
Related

කමිඳු මෙන්ඩිස් ගේ ද්විත්ව ශතකය සහ ශ්‍රී ලංකා ඉනිම අවසන් කිරීම

දෙවන ටෙස්ට් තරගය අවසන් වූවත්, කමිඳු මෙන්ඩිස් ගේ ද්විත්ව...

ස්තුතියි කුමුදු “කොළඹ මතක“ ලිව්වට

කෙනෙකු ස්වකීය ජීවිත මතකයන් ලියා තබන්නේ එය තවකෙකුට වැදගත්වේ...

ඩබ්ලියු ජයසිරි!!!

මා මුළින්ම ඩබ්ලියු ජයසිරි දුටුවේ, මට මතක විදිහට, 1986...

“සංස්කෘතික කොදෙව්වෙන් සොරාගත් ජීවිත X – ray කිරීම” – සාරි ඇඳපු පිරිමි

ලාංකේය නුතන නවකතාව තුළ හමුවන දුර්ලභ ගණයේ කතා වස්තුවකින්...