ඊයෙ රෑ වැටුනු හිම තවමත් අතු අතරෙ දිලිසෙනව තැන තැන රිදී එලි වගේ. බලන් ඉන්න ලස්සනයි ඒ ලස්සන විනාඩි දෙක තුනකට වුනත්.
උදේට අවදිවෙන්න මීට වඩා සුදුසු වෙලාවක් තවත් නෑ.
මේ රිදී එලිවත් සුදු හිම වත් තව විනාඩියකට වඩා රැඳෙන්නෙ නෑ. ඉර එලිය එබෙනවත් එක්කම මේ හිම දියවෙලා හෙමින් සැරේ බිමට රූටනව.. නොපෙනී යනව.
ඒ ලස්සන අතුරුදන් වෙලා යනව ඒ මොහොතම.
කවුදෝ ශාස්තෲවරයෙක් කියල තිබුන “ජීවිතේ හරියට තණ අග පිනි බිඳු වගේ”. කොයිතරම් කෙටි කාලයයිද තියෙන්නෙ.. කොයිතරම් විඳින්න.. දකින්න.. සතුටු වෙන්න දේවල් තියනවද.?
මේ කෙටි කාලය ඇතුලෙ රන්ඩු වෙන්න මරාගන්න කාලයක් කොහෙද තියෙන්නෙ.
ගහට වැලට … සොභාදහමට ආදරය කරපු මේ අපූරු ශාස්තෲවරයා නෙරංජනා ගඟ අයිනට ඇලුම් කරේ එතන තිබුනු නිහඬ බව නිස්කලංක බව හින්දමයි.
තමන්ට හෙවන දුන් ඇසතු ගසටත්… නිස්කලංකව ගලාගෙන ගිය නෙරංජනා ගඟටත් කලගුණ සලකන්න මේ ගවේශකයා අමතක කලේ නෑ.
“ගහක් කොලක් වේවා.. ඇලක් දොලක් වේවා… අපේ ගමනට ඉඩසලසපු.. උදව් කරපු කිසිම දෙයක් නොසලකා හරින්න එපා.”
“ප්‍රථි උපකාර කරන්න… සලකන්න.. ඊ ලඟ මොහොතට යන්න… කිසිම දෙයක් කරගහගෙන යන්න එපා…”
සති දෙකකට පස්සෙ .. අවුරුද්දකට පස්සෙ… අවුරුදු දහයකට පස්සෙ.. ආයෙ ආයෙත් මේ තැන්වලට ගිහින් සලකන්න අවශ්‍යතාවයක් මේ අපූරු දේශකයට තිබුනෙ නෑ.
මේ කියන්නෙත් අත් හැරීම ගැනම නෙවේද.?
ඒ පණිවිඩය ප්‍රභල වුනාට වැඩි දෙනෙකුට වැටහෙන්නෙ නෑ.
කලගුණ සැලකීම.. අත් හැරීම කියන පණිවිඩය වෙනුවට ජනී ජනයා තෝරගන්නෙ ඇසතු ගස.
පණිවිඩේ පැත්තක තියල උදාහරණයට ගත් වස්තුව තෝරගන්න තරමට අනුගාමිකයන් අන්ධ වෙලා. ඒ ගහෙන් වස්තුව පතනව මිසක්.. ඒ ගහෙන් විභාග පාස් කරල දෙන්න ඉල්ලනව මිසක් … ගහ වටේට රන් රිදී ගොඩ ගහනව.. වැටවල් තාප්ප බඳිනව මිසක්.. කාටද ඕනෙ පණිවිඩය තේරුම් ගන්න. ?
කාටවත් ඕනෙ නෑ… හේතුව ඇලී ගැලෙනව මිස එතෙර වෙන්න කාටවත් අවශ්‍යතාවයක් නෑ.
ඇසතු ගහ තරමට නේරංජනා ගඟටත් අනුගාමිකයො සලකනවද.?
දෙපස ඉවුරු වලින් නැගුනු දූවිලි ඇරෙන්න නේරංජනා ගඟ තිබුනු තැනක සලකුණක්වත් අද නෑ.
ඒ ගඟ කසල වලින් පුරවල දූශණය කරපු අනුගාමිකයො ඟග හිඳිල යන තෙක්ම ගස් වලට පිලිම වලට වඳිමින් හිටි ආකාරය ගැන දවසක ලියවේවි ඉතිහාස පොතේ.
නිහඬ පරිසරය වෙනුවට අද තියෙන්නෙ කන් අඩි පපුරන යාතිකා.. අඳෝනා.. සාධුකාර.. හරෝහරා.. විතරයි ඒ නිස්කලංක බිමේත්.. පුද බිම් වලත්.
ඒ දේශකයා අද හිටිය නම් නිස්කලංක නිහඬ බිමක් හොයන්න ඇවිදලාම ජීවිතේ ගෙවා දමාවි.
“ජීවිතේ හරියට පිනි බිංදුවක් වගේ.. මොහොතකින් වියලිලා අතුරුදන් වෙනව.”
“ශරීරය දියවෙලා පසට එකතුවෙනව… නැත්තං අළුවෙලා පොලවටයි වාතයටයි එකතු වෙනව. පඨවි ..ආපෝ.. තේජෝ.. වායෝ එකට එකතුවෙලා නිර්මාණය වෙන මේ ශරීරය මරණයත් එක්කම දිරල යනව.”
“ඒ දිරල යන ශරීර කොටස් වල කොහෙද මහත්තයෝ හාස්කම් තියෙන්නෙ… ”
මෙහෙම කිව්වෙ මැතිව් රිකාඩ් හිමිනම මම අහපු ප්‍රශ්ණයකට උත්තර දෙමින්…
“ශරීරයේ හෝ ශරීරයේ කොටස්වල නෙවේ උත්තරේ තියෙන්නෙ උඹේ ඔළුව ඇතුලෙ. ඒකට මග පෙන්වපු අපූරු මනුස්සයෙක් හිටිය දැනට අවුරුදු දෙදාහකට විතර කලින්… ඒ උගන්වපු දේවල් මතක් කරගන්න. ”
“කැමති දේකට වැන්දට… ඇදහුවාට කමක් නෑ කාටවත් හානියක් නැතුව… හැබැයි කියපු දේවල් අමතක කරන්න එපා”
ඒ හාමුදුරුවො කිව්ව මතකයි.
තව මොහොතකින් මේ හිම දියවෙනව.. ඒක නවත්තන්න කාටද පුළුවන්.
Malcolm Sang