නව හැවිරිදි දැරියකගෙන් අපූරු සොයා ගැනීමක්

මෙහි පළමු පින්තූරයේ සිටින්නේ සිව්වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන නව හැවිරිදි මොලී සැම්සන් දැරිය.
ඇය වෙසෙන්නෙ, ඇමරිකා එක්සත් ජනපදයේ මේරිලන්ඩ් වල කැල්වර්ට් ප්‍රාන්තයට අයත් Prince Frederick වලයි.
මොලී ගේ මෙන්ම ඇගේ වැඩිමහල් සොහොයුරිය වන නතාලි යන දෙදෙනාගේම විනෝදාංශය වන්නේ මෝරුන් ගේ දත් එකතු කිරීමයි.

පසුගිය 2022 වසරේ නත්තල් දිනයේ මොලී සැම්සන් දැරිය අපූරු සොයා ගැනීමක් සිදු කර තිබෙනව.
ඒ අන් කිසිවක් නොව වඳ වී ගිය මෝරුන් විශේෂයක් ලෙස හඳුනාගෙන තිබෙන මෙගලඩොන් ( Otudus megalodon ) නම් දැවැන්ත මෝරෙකුට අයත්ව තිබූ අඟල් 5 ක් ( සෙන්ටි මීටර් 13 ) දිගැති ෆොසිල දතක්.

ඇය මේ ෆොසිල මෝර දත සොයාගෙන තිබෙන්නෙ එක්සත් ජනපදයේ මේරිලන්ඩ් වල පිහිටි Calvert Cliffs State Park වලට අයත් Chesapeake බොක්කේ ඇති නොගැඹුරු ජලය සහිත වෙරළ තුළිනුයි.

මෙගලඩොන් මෝරුන් අදින් වසර මිලියන 23කට ඉහත සිට වසර මිලියන 2.6කට ඉහත කාලය දක්වා පැවති නියොජීන අවධියේ පෘථිවි සාගර වල විසූ අඩි 65ක් ( මීටර් 20 ) දක්වා දිගැති වඳ වී ගිය සත්ව විශේෂයක්.
ඔවුන් අදින් වසර මිලියන 13කට පමණ ඉහතදී වඳ වී ගොස් තිබෙනව.

අපේ ග්‍රහලොවේ මෙතෙක් බිහි වූ මෝරුන් අතර වේගවත්ම පිහිනුම්කරුවන් ලෙස සැලකෙන්නෙ මේ මෙගලඩොන් මෝරුන්.
එහෙත් එතෙක් සාගර ආහාර දාම වල අග්‍රස්ථ විලෝපිකයන් ලෙස වැජඹුණු මේ මසුන් විශේෂය වඳවී ගියේ ඔවුනට වඩා කුඩා වුවත් ඔවුනට වඩා සාර්ථක විශේෂයක් වන දැනට සිටින මහා සුදු මෝරුන් ( Great White Sharks ) ලෙස හැඳින්වෙන Carcharodilon carcharias මෝරුන් විශේෂය බිහි වීමෙන් පසුවයි.
මෙගලඩොන් ( Megalodon ) යන වදනේ අරුත ග්‍රීක බසින් ” යෝධ දත ” යන්නයි.
මොලී දැරියට හමු වූ දත ඇගේ අත්ල වැසෙන තරම් ලොකු දතක්.

ඉතින් මොලී සැම්සන් දැරියට හමුවුණු මේ දත ඇය තම සොහොයුරිය හා ඇලීසියා සැම්සන් නම් ඇගේ මවද සමග රැගෙන ගියේ කැල්වර්ට් සමුද්‍ර කෞතුකාගාරයේ පාෂාණිධාතු විද්‍යා ආරක්ෂක ආචාර්ය ස්ටීවන් ගොඩ්ෆ්‍රි වෙතටයි.

ඇලීසියා පවසන්නේ ඔහු මේ දත ස්ථිරවම මෙගලඩොන් දතක් බව හඳුනාගෙන එය ජීවිත කාලයකට එක් වරක් ලැබෙන සොයාගැනීමක් ලෙස කියූ බවයි.

මගේ සටහන සමග ඇති තෙවන පින්තූරයේ මොලී දැරිය එකතු කළ මෝර දත් කිහිපයක් ( අළුත්ම දතද සමග ) දැක්වෙනව.
ඇය විසින් එකතු කර තිබෙන මෝර දත් ගණන 400කට වඩා වැඩියි.

CNN රූපවාහිනි නාලිකාවට ප්‍රකාශයක් කරමින් මොලී සඳහන් කළේ ඇය මේරිලන්ඩ් වෙරළේ වසර ගණනක සිටම මෝර දත් සොයමින් ගත කිරීමට උනන්දුව ඇති වූයේ ෆොසිල වලට කැමති ඇගේ පියා ( බෲස් සැම්සන් ) නිසා බවයි.
මේරිලන්ඩ් වල පිහිටි Calvert Cliffs National Park නම් ජාතික උද්‍යානය ෆොසිල ගවේෂණයට හොඳම උණුසුම් තැනක් ( Hotspot ) බව ඇගේ මව කියනව.

මොලී සොයාගත් දත අයත් මෙගලඩොන් මෝරා අඩි 45 ත් 50 ත් අතර දිගැති බව සොයාගෙන තිබෙනව.
දැනට සොයායාගෙන තිබෙන මෙගලඩොන් දත් වලින් විශාලම දතේ දිග අඟල් 7ක් වෙනව.

ආචාර්ය ස්ටීවන් ගොඩ්ෆ්‍රි සඳහන් කරන පරිදි වසර මිලියන ගණනකට ඉහත Calvert Cliffs වල ජලයේ විසූ තල්මසුන් සහ ඩොල්පිනයන් ( මුල්ලන් ) මේ මෙගලඩොන් මෝරුන් ගේ සරුසාර ගොදුරු බවට පත්ව තිබෙනව.
මෝරුන්ගේ ජීවිත කාලය තුළ ඔවුන්ගේ දත් කිහිප වරක් අළුත් කෙරෙන අතර උන්ගේ දත් වල එනැමලය ඉතා දැඩි බැවින් පෘෂ්ඨවංශී ෆොසිල අතර මෙම දත් බහුලව හමුවන බව ඔහු පවසනව.

මොලී වැනි ආධුනික ෆොසිල ගවේෂකයන් විසින් Calvert Cliffs State Park වලින් වසරකට මෙගලඩොන් දත් 100ක් පමණ සොයාගන්නා බව ඔහු සඳහන් කරනව.
එහෙත් ඉන් බොහොමයක් මොලී සොයාගත් දතට වඩා කුඩා ඒවායි.
මොලී සැම්සන් දැරියගේ සොයාගැනීම සම්බන්ධයෙන් ඇයට ලොව පුරා දරුවන්‍ රැසක් තම සතුට පළ කර තිබෙනව.
ඇගේ සොයා ගැනීම් බෙදා ගැනීම පිණිස Instagram පිටුවක් ද ඈගේ මව විසින් විවෘත කර තිබෙනව.
මොලී සැම්සන් දැරියගේ අනාගත බලාපොරොත්තුව පාෂාණිධාතු විද්‍යාඥවරියක වීමටයි.

ප්‍රේමශාන්ත කුමාරසිරි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Share post:

Popular

සබැඳි
Related

‘මළකඩ සහ අස්ථි’

වයස අවුරුදු හතක පමණ වයසැති කුඩා පුතු සමඟ ඇවිදින...

‘මේ ගසට ගල් ගසන්න’- ලක්ෂාන් මධුරංග වික්‍රමරත්න

කම්කරු දිනයෙහි සන්ධ්‍යාව පසුගිය දින කිහිපයෙහි පැවති අකුණු සහ...

සත්‍ය ගවේෂණයෙන් ප්‍රවාදයන් සත්‍ය කළ මිනිස්සු කෝන්ටිකී

ඉතිහාසයේ ඇතැම්‍ දේ පිළිබඳව ඇතිවන කකුස හා එය විමසා...

“ලෝකයම ෆේක් නිවුස් වලින් පුරවන ඇලීසා කාර්සන් ගේ අඟහරු ගමන”

ඇලීසා කාර්සන් උපත ලබන්නේ 2001 මාර්තු 10 වැනි දින...