‘නොඉම්’ – ළහිරු කරුණාරත්න
ලාංකීය කාව්‍ය ක්ෂේත්‍රයෙහි සංක්ෂිප්ත කවිය නැතිනම් කෙටි කවිය අත් කරගනිමින් ඉන්නා තැන වඩ වඩා අර්ථවත් සහ අලංකාරවත් බව සනාථ වෙමින් පවතී. ජපන් හයිකුවෙහි ලක්ෂණ රැක ගන්නා හයිකු කවි නොවුනද සංක්ෂිප්ත කවිය තුළ අපේ කවීන් පානා සමත්කම් අවධානයට ලක්විය යුතුව තිබේ.
සංක්ෂිප්ත කවිය ලෙස නාමකරණයට ලක් කර තිබුණද ඒ තුළ පවත්නා සංක්ෂිප්ත බවම එහි පුළුල් බව විදහන සාධකය බවට පත්වෙයි. ඉතා සීමිත වදන් සංඛ්‍යාවක් තුළ පාඨක පරිකල්පනයට වැඩි ඉඩක් සදමින් ඔහුගේ නිර්මාණශීලීත්වයටද ආරාධනය කරනා කෙටි කවිය කවියා අපේක්ෂිත සීමාවන් පවා බිඳ ඉදිරියට යන්නට සමත්වන අවස්ථා දකිත හැකිය. ජීවිතයේ ඇතැම් නිමේෂයන් විෂය කරගනිමින් නිර්මාණය වන ඇතැම් කෙටි කවියක් ඒ නිමේෂය ඉක්මවා ජීවිතයේ පුළුල් සහ විසල් සිත්තමක් මවාපානා අවස්ථා විරල නැත. දැනට කලකට පෙර අද අප අතර නැති ඉන්දික ගුණවර්ධන කවියා විසින් රචිත කෙටි කවියක් මෙපරිදිය.
තිබුණ නං
නැටි අපට
වනල වනලම
කැඩිල මෙලහට
තමන් අභිමානවත් යයි මහත් ප්‍රහර්ෂයෙන් ඔජ වඩනා මිනිසුන් තුළ වන දීනත්වය සහ අසරණකම විදහන්නට මේ කවිය දක්වන සමත්කම ඉතා විශාලය. එහි ඇති සියුම් උපහාසය මෙන්ම ප්‍රහාරාත්මක බවද මේ වදන් කිහිපය තුළ මොනවට ගැබ්වෙයි.
ළහිරු කරුණාරත්න යනු අද ඉන්නා තරුණ කවීන් අතර සීරුවෙන් පිය නගා යන්නෙකි. ඔහු සිය පළමු කාව්‍ය කෘතිය පල කරන්නේ 2012 වසරේදීය. ඒ කටු තුඩට පිණි පහස කමිනි. ඉන්පසු ඔහු දෙවන කාව්‍ය කෘතිය එළිදක්වන්නට වසර පහක කාලයක් ගත කරයි. 2017දී එළි දකින ඔහුගේ දෙවන කාව්‍ය සංග්‍රහය වැහි බින්දු කටහඬ නමි. ඔහුගේ තෙවන කාව්‍ය සංග්‍රහය ගොළු වෙණ තුරුලු කරගෙන එළිදකිනුයේ 2020 දීය. යළිත් ඔහු තෙවසරක විරාමයකින් පසව ‘නොඉම්’ සමගින් පැමිණ සිටී.
‘නොඉම්’ යනු ඔහු විසින් රචිත සංක්ෂිප්ත කවි එකතුවකි. ඔහුගේ මේ කෙටි කවි හරහා සීරුවට වැයෙනුයේ විවිධ අර්බුධ මැද බිඳී විසිරෙන ජීවිතයේ අනේකවිධ නිමේෂයන්ය. එහෙත් ඒ නිමේෂයක් යනු දියත්තක් මත කැටක් වන් කළ නැගෙනා දිය විසිරුමෙහි සිත්තම මෙන් හදෙහි විවිධ රටා මැවෙමින් රැඳී පවතින්නකි.
තුවාල වූ අතින්
බෙහෙත් අඹරන්නීය
වෙද හාමිනේ
මේ කවිය ගත්තද එය මතු පිටින් සපයනු ලබනා වාච්‍යාර්ථය ඉක්මවා ජීවිත.යේ සැඟවුනු අහුමුළු ආලෝකමත් කර බලන්නට පාඨකයා පොළඹවන ශක්තියෙන් යුතු නිර්මාණයකි.
අප බොහෝ විට අවිඥානකවම පාලනය කරනු ලබන්නේ පරම්පරාගතව පැවතෙන විශ්වාසයන් සහ අප තුළට කා වද්දන ලද අදහස් විසිනි. ඒවා බිඳ දැමීම ලෙහෙසි නැති. විශේෂයෙන්ම ග්‍රහයන් යනු අපේ ජීවිත වල අත්හැරිය නොහැකි කොටසක් බවට පත්ව ඇති සාධකයකි. විද්‍යාව කෙතරම් දියුණු වුවද මිනිසා හට ඉන් ගැලවීම ලෙහෙසි නැත. එහෙත් ළහිරු ඒ විශ්වාසය දෙස බලන්නේ වෙනත් කවුළුවක් විවර කරගනිමිනි.
අම්මාගේ සෙනසුරු අපලය
මොන තරම් ලස්සනද?
ඔහු කවියෙහි නම තබනුයේ ග්‍රහලෝකාගාරයේදී යනුවෙනි. ඔහු ඇතැම් තැනෙක සම්මතය ප්‍රශ්ණ කරන ආකාරයද අපූරුය. සාමාන්‍ය භාවිතාවේදී වැලක් යනු තුරක පිහිට නැතිවම ඉහල යා නොහැකි දෙයකි. මෙය සමාජයෙහි ආදේශ වන්නේ කතකට පිරිමියෙකුගේ ආරක්ෂාව නොමැතිව පැවැත්මක් නැතිය යනුවෙනි. වැලෙක උරුමයම තුරක එතී ඉහල නැගීම යනු සම්මත අදහසයි. එහෙත් ළහිරු එය ප්‍රශ්ණ කරයි.
ගසකට
වැලක එතෙන්නට
නොසිතේද යම් මොහොතක
ජීවිතය සැබෑ ලෙසම අල්ලා ගන්නට අපට මේ කවිය අත්වැලක් සපයයි. ඒ අතරම එය මුල්බැසගත් අදහසට එකඟ නොවී වෙන හැරවුමක් දෙස අප යොමු කරවයි. සැබැවින්ම ජීවිතය යනුම සම්මත අදහස්හී පිහිටා එකම පීල්ලේ යන්නක් නොවන බව මේ කවිය අපට සිහිපත් කරයි. මෙයද එවන් ජීවිතාවබෝධය පුළුල් කරනා කවියකි.
මට ඔබ හමුවුණේ
අප වෙන්ව ගිය පසුවය
ආදරය ගැන මේ කියවීම සීමිත වදන් තුළ සිතුවම් වන විට ඉන් දනවන හැඟුම් බෙහෙවින් බලවත්ය.
එකිනෙකා හඹා යන අනෙකා පසුකර යන්නට ලැබෙන මොහොතේ සතුටක් විඳින පාරිභෝජනවාදයේ කරවටක් ගිලී සිහින මැවීම ජීවිතය ලෙස ගෙන අපේක්ෂා භංගත්වයේ දරුණු වේදනාවන්ගෙන් හද දවන ජීවිතය යනු බරකි. එහෙත් අප ඒ පිලිගන්නට සූදානම් නැති. එය වෙනස් කරන්නටද අදහසක් නැති. ළහිරු මේ අසන පැණය ස්වයං විවේචනයක් සඳහා වන පිවිසුමකි
පැරණි පින්තූරය
ඒ විධිහට
සිනාසෙන්නට
ඇයි බැරි
දැන් අපට?
මේ කවියද එවන් චින්තාවන් පාඨකයා තුළ දල්වන්නකි.
වෙන වෙන
මගුල් පින්තූර
එක වගේ
රාමු තුළ
ළහිරුගේ කෙටි කවි සිල්පර මතින් අපිලිවෙලට පිය මැන යන ගමනක අත්දැකීම් වැනිය. තබන සෑම පියවරක් පාසාම අසමාන පියවරෙහි අවිනිශ්චිතතාව දැනෙයි. එහෙත් ඒ මැද වුව පය ඉදිරියට ඇදෙයි. ඒ අසමාන පියවර තුළ නෙතට සහ සිතට දැනෙන දේ බොහෝය. ළහිරුද එසේ ජීවිතයේ පලින් පල මල් සහ කටු, දිය උල්පත් සහ සිඳුණු ගං පත්ලවල් ඉදිරියේ තබයි. විටෙක එය සොඳුරුය විටෙක කටුකය. එහෙත් අප ලබන්නේ කටුකබවද සොඳුරු බවද යන මේ කිසිත් නොතකා ඒ කවි ජීවිතයෙහි සංකීර්ණත්වය ගැන අපට කොඳුරයි.
චූලානන්ද සමරනායක