යම් සංයුක්ත සටහනක් ලියන්න තරම් ටිහාරා සිද්දියේ අනුභූතික සාධක දිගහැරුම තවමත් ප්‍රමාණවත් නැහැ. එහෙත් මේ කිසිම සාධකයක් එළියට ඇවිදින් නොතිබූ වෙලාවක ඇයගේ මරණයත් එක්කම යම් සටහනක් ලියන්න හිතුණත් මම පොඩ්ඩක් බලාගෙන හිටිය. ඒ නිසා මේ සටහන ඇයගේ මරණයේ පරීක්ෂණ හෝ ඇයගේ හෝ ඔහුගේ චරිතය සම්බන්ද කිසිවකට අදාල නොකරගන්නා ලෙස ඉල්ලන්න කැමතියි.
වෝල් ස්ට්‍රීට් සහ තහරිර් වටරවුමේ සිට ජැස්මින් විප්ලවය හරහා හොංකොං තරුණ නැගිටීම සහ අද තායිලන්තය දක්වා අපි දකින්නේ අතිශයින් නැවුම් තරුණ පරම්පරාවක නැවුම්ම දේශපාලන අභිලාෂයන්. ඉදිරි ශ්‍රී ලංකාවේ දේශපාලනය පවා ඔවුන් විසින් තමයි තීරණය කරන්නේ. ඒ කියන්නේ අපි හැමෝටම දේශපාලන කරන්න තියෙන්නේ ටිහාරාල එක්ක. ඒ නිසා මේ සිදුවීම දිහා නොබලා ඉන්න බැහැ.
අතිශයින් සංකීර්ණ ඩිජිටල් අතත්‍ය යථාර්ථයකට ඉපදුන මේ පරම්පරාව ලෝකය දැක්කේ මොබයිල් ෆෝන්, ටැබ්, ලැප්ටොප් හරහා. ඔවුන්ට අනෙකා හමුවූවේ තවත් අතිශයින් සංකීර්ණ ඩිජිටල් ලෝකෙක. ඒ අනේකවිධ සමාජජාලා හරහා.
ඒ ඩිජිටල් යථාර්තයේ සිටි සත්‍ය ආදරවන්තයින්, ප්‍රාණසමාන සුපෙම්වතුන්, ලෝකය ඔබ පාමුළ ගෙනත් තබන රෝමියෝලා, ඔබගේ ආදරය වෙනුවෙන් මියයන්න සුදානම් ටයිටැනික් පෙම්වතුන් එක්වරම යක්ෂයින් බවට පත්වන්නේ කෙසේද යන්න එම ඩිජිටල් යථාර්තය තුලින්ම ඔවුන් නොදැනගත්තා වෙන්න බැහැ. එහෙත් ඔවුන් ලෝකය අත්විඳීමට තෝරාගන්නේ නම් ඒ යක්ෂයින් හැර වෙනත් අඹගස් ඇත්තේද නැහැ. ඔබගේ ලඟම මිතුරියම ඔබ කීයකට හෝ අළෙවි කිරීමට හැකි බව මේ අලුත් ධනේශ්වර ලෝකය තුළ ඔබට නොතේරෙන්නට හේතුවක් නැහැ.
සිග්මන් බර්මන් කියන විදියටම කිව්වොත් ඔබ අද ජීවත් වන්නේ අවදානම් සමාජයක (Risk Society). ගයි ඩෙබෝ කියන විදියට කිව්වොත් මාධ්‍ය සංඥා විසින් මිනිස් සමාජය නිර්වින්දනය කරපු, නිෂ්ක්‍රීය කරපු, අවතාර විතරක් සැරිසරන ලෝකයක (The Society of the Spectacle). බ්‍රෝදීලා කියන විදියට කිව්වොත් වසඟයේ සමාජයක (Society of Seduction). ජිජැක් කියන විදියට කිව්වොත් යක්ෂයින් විසින් දෙවියන්ගේ වෙස්මුහුණු පැළඳි ලොවක (Society of Fake Masks).
ටිහාරා උපදින්නේ මම ඉහත සඳහන් කළ සියලු සාහිත්‍ය විසින් අද්‍යතන ලෝකය අර්ථකතනය කර අවසන් වූ ලෝකයකට. දැන් අපිට දර්ශනය කන්නද, කෝ ඔය දර්ශනයෙන් රස්සා හම්බවෙනවාද කියල අහන මහත්තුරුන්ට කියන්න තියෙන්නේ දැන් දැන් පණ බේරාගන්න හෝ තියෙන්නේ ඔය සාහිත්‍යය විතරයි කියන එක.
ඔය මොනවත් කියෙව්වත් නැතත් ටිහාරා ලෝකය අත්දකින්න තෝරාගත්ත ආකෘතිය ගැන දැන් අපිට විවේචනය කරන්න පුළුවන්. හැබැයි ඒක තමයි එයා ඉස්සරහ තිබ්බේ. එයා තෝරාගත්තේ ඒක. මේ ලෝකේ එයාගේ පරම්පරාවේ තව මිළියන ගණනක් තෝරාගන්නෙත් ඒ ආකෘතිය. මම ඒකට බනින්නේ නැහැ. මම කියන්නේ ටිහාරා ලෝකය අතිවිශාලයි කියල හිතුවට ඇත්තටම එළියට බැස්සම තියෙන්නේ අන්තිම පොඩි සිප්පිකටු කියල. මේ ක්‍රමය විසින් හදන්නේ දැවැන්තයින් නෙවෙයි සිප්පිකටු. ඒකයි ප්‍රශ්නේ. එයාලට බැහැ ටිහාරලට ලෝකය පෙන්නන්න. මොකද උන් ලෝකය දැකලත් නැහැ.
මම හැමදාම පාර්ථනා කරන්නේ ටිහාරාගේ පරම්පරාවට Into the Wild (2007) එකේ ඇලෙක්සැන්ඩර් සුපර්ට්‍රෑම්ප් (Alexander Supertramp) හම්බවෙන්න කියල.
මේ බුර්ෂුවා ක්‍රමය හදන්නේ ගැඹුරක් නැති සිප්පිකටු හින්ද ඇලෙක්සැන්ඩර් මේ ක්‍රමයෙන්ම එළියට බහිනවා. ලෝකය හොයනවා. ඒ සෙවීම ඇතුලේ තවත් කෙනෙකුට කියල දෙන්න පොඩි හරි දෙයක් එයා ළඟ තිබ්බ.
ඉස්කෝලවල වත් ටියුෂන්වල වත් මේ ෆිල්ම් එක පෙන්නන්නේ නැහැ. ඒක පවතින සංස්ථාපිතය ප්‍රශ්න කරන නිසා කවුරුවත් ඒකට කැමතිත් නැහැ. සුපර්ට්‍රෑම්ප් අන්තිමට විප්ලවයක් කරන්නේ නැති නිසා මේ ෆිල්ම් එකට වමේ අයගෙන් තල්ලුවකුත් නැහැ. කොළඹ ලොකු සාකච්චා තියන්නෙත් නැහැ.
අම්මල අද ගෙදර නැහැ එන්න ඇතුළට ඇවිත් මාත් එක්ක ඉන්න කියල ආරාධනා කරද්දීත් සුපර්ට්‍රෑම්ප් එයා එක්ක මුහුදු වෙරළේ රවුමක් දුවල ඇවිල්ල, භෞතික ආශාව වෙනුවට එයාට එයාගේ භාෂාව දීල, ස්වභාවධර්මය ඇතුලේ ආශාව දියකරලා හරින්නේ කොහොමද කියල කියන පෙරදිග පණිවිඩය දීල, අන්තිමට උණුසුම් හාදුවක් දීල, කිසිදා අමතක නොවන මතකයක් ඉතුරු කරලා සංකේතීය පියෙක් ලෙස නික්ම යනවා. ආයිත් කියන්නේ නික්ම යනවා. අභිනිෂ්ක්‍රමනය කරනවා.
ටිහාරාට ඒ ‘වෙනස් මිනිසා’ දකින්න ලැබුණේ නැහැ. මේ ඉන්නේ වෙස්වලාගත් යක්ෂයින්, පාවා දෙන්නන් කියල දැනගත්තම ජීවිතේ එපා වෙන්න ඇති.
ඒ නිසා මම කියන්නේ අන් කවරදාටත් වඩා ඇලෙක්සැන්ඩර් සුපර්ට්‍රෑම්ප්ල මේ ලෝකෙට අවශ්‍ය කරනවා කියල. මේ සිද්ද වෙන දේවල්වලට වඩා එයා කරපු දේ දේශපාලනිකයි.
මේ ගැන මීට වඩා ලියල තියනවා කළින් සටහන් කිහිපයක. වෝල් එකේ පල්ලෙහාට ගිහිල්ල බලන්න. මේ ෆිල්ම් එක ගැන හරි අධ්‍යනයක් තවමත් නැති නිසා මීට වඩා යමක් ලියන්නත් බලාපොරොත්තුත් වෙනවා.
ටිහාරා ඔයාල වෙනුවෙන් මීට වඩා හොඳ ලෝකයක හදන්න හැම තත්පරයකම උත්සාහ ගන්නවා. සත්තයි.
Into the Wild එකේ එඩී වෙඩර්ගේ සිංදුව මීට කළින් අමුණලා තියන නිසා අද වෙන එකක් අමුණනවා. මේ Martin Pageගේ In the House of Stone and Light (1994).
මහේෂ් හපුගොඩ