අජිත් තිලකසේනගේ විචාරමය කෘති ඇරුණු කල සෙසු කෘති සියල්ලම මට හරිම ගති ය. ඔහුගේ කෙටිකතා ගමන් මඟේ ඉහළ පහළ යාම් වෙනමම විග්‍රහ කළ යුතු වන නමුත් ඒ සෑම කතාවක්ම ගහේ බඩු ය. මුලින්ම තිලකසේන කියවූ සමයේ ඔහුගේ වැඩ ඇල්ලිල්ල පූර්ණ වශයෙන් මට ග්‍රහණය නොවිණ. අවුල ඇත්තේ මගේ මිස පොතේ නොවන බව දත් මා ඇරියේ නැත. එක්වතාවක් කියවා පැත්තකින් තබන්නට හැකි පොත් තිලකසේනයන් නොලියන බව මට වැටහෙන්නට වූයේ කෙමෙනි.
මමත්, මා මිත්‍රවර ෂේන් මැකෙල්වි හෙවත් ටෙරියාත් තණමල්විල සැරිසරා පැමිණෙන බොහෝ රාත්‍රිවල වැඩි සීනි ප්ලේන්ටියක් සේ වන තිලකසේනයන්ගේ කෙටිකතා කුටියට කැඳවමු. ටෙරියාගේ බුද්ධිමය අවකාශය තුළ මම හැමදාම කුරා කුහුඹියෙක්මි. ඔහු පෙන්වන මඟ ලකුණු ඔස්සේ යමින් තිලකසේනයන්ගේ කතාවක කොණකින් අල්ලා එය ලිහාගෙන යන විට දැනෙන ගතිය කියන එකත් අමුතුම වැඩකි. ඔහුගේ දෘෂ්‍ය කවි මැජික් වුව මට ආෂික් හැඟුම් ගෙන දේ. මට නම් “මාරියාව”ඇත්තේ දෘෂ්‍ය කවියෙන් ඔබ්බේ ය.
තමන්ගේ රැස් බිඳී සාහිත්‍යයිකව, “මරු කියවන” වයෝවෘධ විහිළුකාරයන් අතර තිලකසේනයන් සදාතනික තරුණයකු වන්නේ ඔහු කිසිවකුගේ “ප්‍රොජෙක්ට්”වලට හසු නොවී තමන්ගේ බරපතල ජීවීතයට තමන්ම වගකියමින් සිටිනා බැවිනි. ඔවුන්ගේ කවි “මාරියාව” ට හසුවුණ විට “අපි තාම මොනතරම් පොඩි ළමයිදැයි හිතේ”. “පාර දිගේ” ගැන නම් කියලාම වැඩක් නැත. දුක දැනෙන්නේ “පතී” ගැන ය.
කසන්සාකිස් ගැන අම්බානෙකම අසා තිබුණත් ඔහු හදවතට ලංකළේ මා මිත්‍රවරී දේවිකාගේ අප්පච්චී ය. සද්ධාතිස්ස වඩිගමංගාව පියාණන් ය. ඔවුන්ගේ නිවසේ ඔහුත් සමඟ පොඩි අඩියක් ගසමින් සෝර්බා ගැන කතාකළ හැටි අද ඊයේ වන් මතකයකි. නිරහංකාරවූත් අතිශයින් සරලවූත් ඔවුන්ගේ කටහඬ පටිගත වූ ඒ අපූර්ව සංවාදය මා සතු සදාකාලික පුරා වස්තුවකි. මා වඩිමංගාවයන් හා කල සංවාදය “රාවයේ” පළවූ සතියේ බ්‍රහස්පතින්දා මා සිටියේ බත්තලංගුණ්ඩුවේ ය. සිකුරාදා පත්තරය නිකුත් වූයේ ඔහුගේ නික්මයාම ගැන පළමු පිටුවේ සඳහන් කෙරෙමිනි. මම කොළඹ ආයේ ඔහුගේ මීළඟ සිහිනය ගැන මෙනෙහි කරමිනි. ඒ වූ කලි කසන්සාකිස්ගේම “ද ලාස්ට් ටෙම්ප්ටේෂ්න් ඔෆ් ක්‍රයිස්ට්” කෘතිය යි. ඔහු එ් සිහිනය ඉතිරිකර නික්ම යනවිට මැකෙල්වි නික්ම ගොස් දෙමාසයක් වූවා පමණි.
සෝවියට් සාහිත්‍යයේම කරක් ගසමින් “මළ මිනිස්සු” අතර සැරි සරමින් සිටි මා රිදවූ බලවත් ම සංසිද්ධිය වූයේ ගාමිණි වියන්ගොඩයන් පරිවර්ථනය කළ මාකේසුවන්ගේ “කරුමක්කාර කතාවක්” අහම්බයෙන් පදිකවේදිකා පොත් ගොඩක තිබී හමුවීමයි. පොත මා අතට ගත්තේ දෙහිවලදී ය. සුපුරුදු ලෙස මා කෙලින්ම ආයේ මැකෙල්වි හමුවීමට ය. ඉතිරි සියල්ලත් සුපුරුදු පරිදි ය. එදා ප්ලේන්ටියක් ගැසීමට ගිය හෝටලයේදී මා ඒ කරුමක්කාර පොත පෙරලා ගතිමි. දෙවතාවක්ම එකදිගට කියැවූ පළමු පොත එයයි.
ඉන් එහා ගිය සාහිත්‍යයික රිදවීමක් ගෙනදුන්නේ නම් ඒ “සොර්බා නම් ග්‍රීකයා”ය. ඉදින් මම කසන්සාකිස් සොයා යමින් සිටියෙමි. 2004 වසරේ මට කසන්සාකිස්ගේ උපන්බිමට යන්නට අවස්ථාවක් ලැබිණ. ඉදින් මම ඔහුගේ සියලුම නවකතා කරගසාගෙන ආමි. එතරම් බරක්? තවමත් තුනටිය කකියයි. නමුත් කෙමෙන් ඒ පොත් අතර කරක් ගසන්නට වූ කල රිදුම් දෙන්නට ගත් සන්තානය දැන් සදාතනිකව රිදුම් දෙන අඩවියකි. ඒසේ වුව කසන්සාකිස් ගැන කියන්නට මා කවුද? අසන්න ඇල්බෙයා කැමූ තමන්ට නොබෙල් සම්මානය ලැබූ මෙහොතේ කියූ දේ.
“මේ ඇගයීම ලබන්නට මට වඩා කසන්සාකිස් සියවාරයක් සුදුසුයි.”
ඒ නිහතමානි මිනිසුන්ගේ කටහඬ යි.
නොබෙල් සම්මානයට කසන්සාකිස් හා කැමූ එකම මොහොතක ඇගයුණු අතර කසන්සාකිස්ට කැමූට වඩා අඩුවී තිබුණේ එකම එකම එක ඡන්දයකි. ඒ 1957දී ය. ඔහු ජීවිතයෙන් නික්ම ගියේද ඒ අවුරුද්දේ ම ය.
සෝර්බා කියවා අවසන් කළ පළමු නිමේෂයේදී ම සිතිවිලි අන්තරස්ධාන වී තිබිණ. වේදනාවෙහි හේතුව වූයේ සිතිවිලි බෙදා ගැනීමට මැකෙල්වි නොසිටීම ය. ඉදින් සෝර්බා කියවා නිමවූ විට ඒ නිම වීම විසින් ම මහා කාංසාවක් මා තුළ ජනනය කර තිබිණ. ඒ සියලු කාංසාමය සිතිවිලි අතරින් ඒ මොහොතේ මට හිතුණු දෙයක් මම මගේ ලේඛනයේ සිහිනමය සටන් පාඨය කරගතිමි.
“මෙහෙම ලියන්නැත්නම් ලියල වැඩක් නෑ”.
සැබැවින්ම නම් කසන්සාකිස්ගේ මයිල් ගසක් තරම්වත් මා නොවටනා බව මම දනිමි. තව ආත්ම ගණනාවක් ගියද ඔහු මෙන් ලියන්නට මට නුපුළුවන.
ඒත් මගේ සිහිනය කිසිවකුටත් පැහැර ගන්නට බැරි ය.
මංජුල වෙඩිවර්ධන
2014 සැප්තැම්බර් 08.
ඡායාරූපය :- ඩොරික් සමරසුන්දරගේ මුහුණ