“අහඹු, අනපේක්ෂිත, කරුණාවෙන් හටගන්නා ක්‍රියා… ලෝකයට ඒවා වැඩිපුර අවශ්‍යයි” ‘සරත් සමයේ හැලුණු පත්’

යොවුන් වියේ සිටින ළමයෙක් නම් මෙ‌සේ විය යුතුයි, සාහිත්‍ය කෘතියක් නම් මෙවැනි දේ ඉලක්ක කරගතයුතුයි, සාහිත්‍යයෙන් මිනිසුන්ටත් ළමුන්ටත් පණිවිඩ දිය යුතුයි වැනි ස්ථම්භ බවට පත්වුණු නිර්වචන, නිර්මිත, සම්මත, නියමයන් මිනිස් සිතිවිලි පමණක් නොවේ කලා නිර්මාණ පවා සැලකිය යුතු කාලයක් තිස්සේ අරක්ගෙන. මෙය ජීවත්වෙද්දි වගේ ම කෘති කියවද්දීත් පැහැදිලියි. මේ කියන නියමවලට අනුකූල යොවුන් සාහිත්‍ය කෘතිවල බහුලව පැනෙන කීකරු, හොඳ, ශුද්ධවන්ත දරුවන් ලෝකයේ නැහැ. නමුත්, එය පොදුවේ වැඩිහිටියන් අපේක්ෂා කරනවා. මේ අදහස් යොවුන් සාහිත්‍ය කෘතිවලට බලපාන ආකාරය කොතරම්ද කියනවා නම්, සැලකිය යුතු කාලයක් වීරයො සොයායන, අභිරහස් ගවේෂණය කරන, දඟ වැඩකරන ළමුන්ට දඬුවම් දෙන ගුරුවරු සිටින, හොඳ – නරක ලෙස ළමුන් වර්ගීකරණයට ලක්වන කතාවලින් පිරිලා තිබුණා. පොතේ තිබුණේ එවැනි කතා වුණත් සැබෑ ලෝකේ යෞවනයන් මුහුණදුන්නෙ ඊට වෙනස් විපරීත සමාජ තලයක දේවල්වලට.

පවුල, පාසල සහ විවිධ සමාජ සංස්ථා විසින් නොයෙක් අවස්ථාවලදී නොතකා හැරීම්, කොන්කිරීම්, පහරදීම්, අපචාරයට ලක්කිරීම්, මානසික වද හිංසන, අවස්ථා අවබෝධ කරනොගැනීම්, රාමුවට දැමීම්, ඉවතලීම් ඇතුළු නොයෙක් දෑ යොවුන් වියේ සිටින දරුවන් තමන්ම හිතේ තබාගෙන සිටින අවස්ථා බහුලයි. පොදුයි. ඔවුන්ට ඔවුන්ගේ ම ලෝකවල ගැටලු තිබුණා. ලෝකයේ වගේ ම ලංකාවෙත්. කොහොම නමුත්, ගුහාවල අභිරහස් සෙවීමට නොයා(මේවා රසවත් කතාන්දර,ඒගැන සැකයක් නෑ) යෞවනයන්ගේ සැබෑ තතු කියැවෙන කතා රැගත් කෘති පළවීම ලොව පුරා ඇරඹීමත් සමඟ ම, මේ වටා ලේඛක පිරිසක් රැස්වෙන්න ගන්නවා. වැඩිහිටියන්ට වුවමනා ආකාරයේ ළමුන් නොවී, ඇස් ඉස් මස් ලේ වලින් සැදුණු සැබෑ ස්වභාවය, මනෝභාව, හැසිරීම්, ඉරියව්, වෙනස්වීම් දරන ළමුන්ව මේවායින් ඉදිරිපත් වෙන්න පටන්ගන්නවා. තමාව ම පොතෙනුත් නිරූපණය කෙරෙන තත්ත්වයක් නිර්මාණයවීම යටතේ මේ වටාත් පාඨකයන් රැස් වෙනවා. මෙය සිදුවූයේ අද ඊයේත් නොවේ. හොඳ – නරක , යුතු – අයුතු, සම්මත – අසම්මත වැනි සංකල්ප ඒනිසා තවදුරටත් වලංගු නැහැ. ශුද්ධ යැයි සම්මත සියල්ල එලෙසට ම පවතින්නේ නැහැ. ජීවත්වනවිට තමා අවට සිදුවන සියල්ල ප්‍රශ්න කරන්නත්, තම සිරුර ගැන සිතිවිලි ගැන තමන්ට දැනුණු අවංක හැඟීම් ප්‍රකාශයටත්, මිනිස් ජීවිත අවස්ථා විවෘතව විනිවිද දකින්නත් මේ හේතුවෙන් වැඩි ඉඩක් ඔවුන්ට ලැබෙනවා. සීමා නොකර තම අත්දැකීම් ලියන්නත් රචකයන් පෙළඹෙනවා.

එහෙම වුණත් තවමත් අපට යොවුන් සහ නව යොවුන් සාහිත්‍යකරුවන්ගේ නම් දහයක් මතකයෙන් කියන්න බැරිතරම්. නූතන‍යේ ලෝක සාහිත්‍යයේ යොවුන් සාහිත්‍ය රචකයන් ගැන වැඩියමක් නොදන්නා තරම්. ඊට එක් හේතුවක් නවකතාවට ඇති අවධානයට සාපේක්ෂව යොවුන් සාහිත්‍යය සම්බන්ධයෙන් අවධානය යොමුනොවීම. නමුත් ලංකාවේ මේ ශානරය සම්බන්ධයෙන් අත්හදාබැලීම් කරන්න රචකයන් පෙළඹී තිබෙනවා සහ වැඩිපිරිසක් මේ ප්‍රවර්ගයට එමින් සිටිනවා. පිරිමි ළමුන් මුල්කරගත් යෞවන සාහිත්‍යය – ගැහැනු ළමුන් වෙතටත් පසුගිය වසර කිහිපය තුළ ඇවිත්.

ලෝකයේ නව යොවුන් සාහිත්‍ය සම්බන්ධයෙන් සමීප කියවීමක නියැළෙන කේ. කේ. සමන් කුමාර ‘සාහිත්‍ය ෂානර විමංසා’ වේ ‘නව යොවුන් සාහිත්‍යය (Teenage Literature)’ යන පරිච්ඡේදයේ දී, එම මැය අංග ත්‍රයකට බෙදා දක්වනවා. එනම්, වීර කතා, විද්‍යා ප්‍රබන්ධ කතා හා ගැටළු නවකතා ලෙසින්. මේ ලිපියෙ දි ඔහු කරන බෙදීමට වඩා මගේ සිත්ගත්තෙ එහි කියන එක සඳහනක්. එනම්, නව යොවුන් වියේ සාහිත්‍ය කෘති මිලටගන්නේ – කියවන්නේ, ඒ වයසේ පිරිසට වඩා වැඩිහිටියන් බව ඔහු සඳහන් කරනවා. මෙය පිළිගත හැකි කරුණක් වගේ ම සිදුවිය යුතු දෙයක්.

එක්සත් රාජධානියේ යොවුන් ප්‍රබන්ධ ලේඛිකාවක වන Cathy Cassidy ලියා පළ කළ Ginger Snaps(සරත් සමයේ හැලුණු පත් – අනුරාධා සංකල්පනීගේ පරිවර්තනය) කෘතිය ජින්ජර් බ්‍රවුන් නම් ගැහැනු ළමයෙකු උත්තම පුරුෂ කෝණයෙන් රචනා කරන ආත්ම කථනයක ස්වරූපයක් බැලූ බැල්මට පෙනෙන කෘතියක්. යොවුන් නවකතාවක්. අපිට මොහොතකට දඟමල්ල, ටොට්ටෝ චං, ලෝරා සහ ඔවුන්ගේ අමුතු ඉස්කෝල මතක් වෙනවා. කථා නායිකාව ලැජ්ජාශීලී පසුබටව සිටි ළමයෙක් හැටියට අර්ථ ගැන්වෙන්නෙ යහළුවන් අතින්. කොන්වෙන, සමච්චලයට ලක්වෙන, යහළුවන් විසින් නොතකා හරිනු ලබන කෙනෙක් වීම තමන්ට මානසිකව බලපාන ආකාරය ගැන- ආත්මීයව දැනෙන හැඟෙන හැටි ඇය කියන්නෙ කියවන පාඨකයාටත් හැමෝටමත් පොදු කුදු මහත් අවස්ථාත් මතක් කරවමින්.

ජින්ජර් බ්‍රවුන්ගේ හොඳ ම යහළුවා වන ෂැනන් සහ ඇගේ ආදරය ලබන සෑම් කියන පිරිස මේ කතාවේ ප්‍රධාන යි. මීට අමතරව ඉස්කෝලේ වෙනසක් කරන අලුත් ගුරුතුමා, මිස්ටර් හන්ටර්.

අර කී සියලු බාධාවලින් මිදිලා හයි ස්කූල් එකට යන ජින්ජර් බ්‍රවුන් හිටි මානසික මට්ටමින් මුදවාගන්න මිතුරියක් (ෂැනන්) ලැබිලා, ඇය අතීතයෙන් ගොඩ එනවා. පෞරුෂය ගොඩනැගෙනවා. ඇයට ගොඩ එන්න යාළුවා දීපු අත ඇය, තවත් එවැනි ම යහළුවෙක්ව ගොඩගන්න දිගුකරනවා. කරුණාවන්තවීම වෘත්තයක් හැටියට ක්‍රියාත්මක වෙන බව ඇය අපිට පෙන්වනවා.

මිත්‍රත්වය පරීක්ෂණයට ලක්වන අවස්ථා, ද්‍රෝහීවන මිතුරන්, සැබෑ මිත්‍රයන් හඳුනාගන්න හැටි, හමුවන සියල්ලන් මිත්‍රයන් ද කියන කාරණාව, අනෙකාව වටහාගන්නත් ඔවුන් වෙනුවෙන් පෙනී ඉන්නත් කෙනෙක් දරන වෑයම, හුදකලාවීම්, සීමිත සහ විශ්වාසවන්ත ම මිත්‍ර සර්කල් එකක වැදගත්කම, යෞවනයෙක් විදියට ආදරය අත්විඳින ආකාරය‍‍‍‍‍‍ ගැන සවිඥානිකව කතුවරිය කතාව ගොඩනගනවා අපිට ‘ආ මේ මේ දේ නේද කියන්නේ’ කියලා කෙලින් ම නොදැනෙන ආකාරයට. මේ යොවුන්වියේ ළමයෙක් වෙලා කියවන්න හිතෙන විදියෙ රස කතාවක්. තමන් දන්න හඳුන්න කෙනෙක් හමුවුණා වගේ අත්දැකීමක් වේවි.

පුද්ගලයෙකුගේ ශරීර ලක්ෂණ ගැන කියමින් කරන නොතකා හැරීම්, මගහැරීම් වගේ ම අවස්ථා ලබානොදීම් මේ රටේ මෙන් ම ඒ රටේදිත් දරුවන් වගේ ම වැඩිහිටියන් පවා දීර්ඝකාලීනව අත්විඳින තත්ත්වයක්. සෘණ අදහස් තවෙකෙකු මත වැපිරීම, ඔහු හෝ ඇයව ගිල්ටි කිරීම, වුවමනාවෙන් පහත හෙළා කතාකිරීම් ආදිය ගැන – නූතනයෙ පවා කතාකෙරෙන මාතෘකා ගැන කතුවරිය ඉන්නෙ හොඳ සිහියෙන්. ඔබ ඉපදුනේ මනුෂ්‍යයෙක් හැටියට වුණත් ජීවත්වන්නෙ මනුෂ්‍යයෙක් විදියට ද කියන එක ඇය ඔබෙන් නොකියා අහනවා.

නොකියවා නොලියා තරමක විවේකයකින් ඉන්න ඕනැ වුණු, ඔළුවට මිටියෙන් තලන ආකාරයේ බරක් නොඑන පොතක් කියවිය යුතු, සුවපහසුව ඕනැවුණු කාල පරිච්ඡේදක දි, අරගෙනත් නොකියවා තිබුණු පොත් තට්ටු අතරින් මේ පරිවර්තිත යොවුන් නවකතාව කියවන්න ගත්තෙ. එකදිගට ම කියවාගෙන යන මට්ටමේ ආසාවක් ඇතිකළා මුල් පිටු කිහිපය ම. ඊට එක හේතුවක්, යොවුන් නවකතාවක් කියවන්න ගත්තෙ සෑහෙන කලෙකින් වීම. අනෙක, කතාවට අත්දැකීම් වශයෙන් ම සමීපවීමේ හැකියාව. පොදු තත්ත්වය. පහසුබව. දුරස්ථ නැති බව. ඒවගේ ම, පරිවර්තනයේ භාෂාව. කටවහර ඒ විදියට ම යොදාගෙන ඇති නිසා, ඉංග්‍රීසි වචනවලට අපහසු සිංහල අර්ථ සොයා අනුරාධා දඟලන්නේ නැහැ. සාමාන්‍ය කටවහරේ ඇති ආකාරයට ම භාෂාව අරගන්නවා. ඉංග්‍රීසි වචන ඉංග්‍රීසි උච්චාරණය සහිතව තබනවා. මේ නිසා, අපිට සිංහල පොතක් නෙමේ ඒ සංස්කෘතියේ ම තියලා පොත කියවනවා වගේ හැඟීමක් එනවා.

පරිවර්තිකාවගේ අදහසක් මම අවසාන වශයෙන් පුවත්පතකින් උපුටාගන්නෙ, පොතේ ඉලක්කගත පිරිස ගැන මගෙ අදහසත් මීට එකඟ නිසා.
”ඔය තමයි කොයි රටෙත් ඇත්ත යෞවනයා. ඕක ගළපගන්න බැරි, යෞවනයා කියලා කවුද කට්ටියක් ඇඳලා තියෙන වැරදි චිත්‍රෙකට. ඔය පොතේ යෞවනයාට ළමා සාරි අන්දලා නෑ, ඔසරි අන්දලා නෑ, ඉර හඳ තැලි ඔළුවෙ පලන්දලා නෑ. ඇත්ත යෞවනයාගෙ ජීවිතය, ඔවුන් මුහුණදෙන ප්‍රශ්න, ඔවුන්ගෙ සිතුම් පැතුම්, ඔවුන් විඳින විඳවන තැන්, ඔය පොතේ ඇති සැටියෙන් කතා කරනවා. ඔය ඇත්ත කතා නොකර, ඒවට සංවේදී නොවී, ඒවා පිළි නොගෙන; දවස් පහක් ඉස්කෝලෙ යන, ඉරිදට දහම් පාසල් යන, විභාග ටික පාස් කරගන්න දත කන, හුස්ම නොවැටෙන, ඇඟේ ලේ නොදුවන, ස්නායු වැඩ නොකරන, රොබෝ කෙනෙකුයි යෞවනයා කියලා හිතන පිරිසකටයි ඕක ගළපගන්න බැරි වෙන්නේ. යෞවනයාට අපි පටවලා තියෙන ටිකයි, ගත කරන්න සිද්ධ වෙලා තියන ජීවිතෙයි නෙමෙයි එයාගෙ ඇත්ත ජීවිතේ.”

ඩිල්ශානි චතුරිකා දාබරේ

‘අහස’ ප්‍රකාශනයක්
(නිවසටම ගෙන්වා ගැනීමට whatsApp කරන්න 0760 588 688)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Share post:

Popular

සබැඳි
Related

එලොන් මස්ක් – The American Oligarch

එලොන් මස්ක්ගෙ නම නොදන්න කෙනෙක් ඉන්නවානම් ඒක පුදුමයක්.ව්‍යාපාරිකයෙක්ද.. විද්‍යාඥ්ඥයෙක්ද.....

වයස 27 ක ජේක් පෝල් සහ මයික් ටයිසන් අතර තරගය

ලොවක් බලා සිටි ජේක් පෝල් සහ මයික් ටයිසන් අතර...

පිරිමින්ට එරෙහි කාන්තාවන්ගේ සටන

ඇමෙරිකානු ජනාධිපතිවරණය සහ පීනට් නම් සුරතල් ලේනෙකු ඊට බලපෑ...

Life and nature sometimes show no mercy

Life and nature sometimes show no mercy