ඇතැම් සාහිත්‍ය නිර්මාණයක දී, නිර්මාණයෙන් පෙන්වන දෙයට වඩා අප විමසිලිමත් වන්නේ, අපට එවැන්නක් පෙන්වන පුද්ගලයා එනම් නිර්මාණයේ කථකයා කියැවීමට ය. ඒ චරිතය තුළින්, නිර්මාණය කියැවීමට ය. චරිතයත් නිර්මාණයත් යන දෙක ම කියැවීමෙන් නිර්මාණය වටහාගැනීමට ය. මේ කියන්නේ, පොතේ කතුවරයා ගැන නොව, අදාළ නිර්මාණය අපට ඉදිරිපත්කරන නිර්මාණයේ කථකයා ගැනය. මේ දෙදෙනා වෙන්කර ගැනීම සඳහා, කතුවරයා A ලෙසත්, නිර්මාණයේ කථකයා B ලෙසත් නම් කරමු.
උදාහරණයක් වශයෙන්, නවකතාවක ‘මම’ යනුවෙන් පෙනී සිටින චරිතය, අපට කතාව ඉදිරිපත් කරන ආකාරය, පවසන දෑ අනුව, තවත් කතාවක් ද අපට කියවාගත හැකි වේ. එනම්, A විසින් ලියන ලද කතාව හෝ කවිය, අපට ඉදිරිපත් කරන B, හඳ දෙස අපිට ඇඟිලි දිගු කර පෙන්වද්දී, හඳ මෙන් ම හඳ පෙන්වූ කෙනා ද කියවාගත හැකි වීම යි. නිර්මාණයේ පසුබිම – පසුතලය පැතිර පවත්නා නොකියනා දෑ කියවාගැනීමට ලැබීමයි. මෙසේ, පෙන්වන දෙය සහ පෙන්වන කෙනා යන දෙක ම දෙස බලන්නට යාමෙන් අවැඩක් වන්නේ ද නැත. ඒ දෙක ම නිර්මාණය වටහා ගැනීමට වුවමනා බැවිනි.
මෙසේ, කවියෙන් කියැවෙන සංසිද්ධිය හා සමගාමීව කවියේ කථකයාව කියැවීමට ලැබෙන, භාෂාවෙන් අපහසු හරඹකරනට නොයන, අරපිරිමැස්මෙන් වදන් හසුරුවන, සෙන් ලකුණු සහිත, සියල්ල ම කියන්නට නොයා මදක් ඉතුරුකරන, සිතා බලා සෝදිසියෙන් ලියන, යමක් නොකියා කියන කවි සමුච්චයකි, ‘නොපාගා එන්න පර මල්’. නිර්මාණකරු නිරෝෂ ප්‍රනාන්දු යි.
නම
‘නොපාගා එන්න පර මල්’ නම, දිය දහම කියන සංඛේතයක් වැන්න. ජීවය අත් හල, අවධානයෙන් ගිලිහුණ, කල් ඉකුත් වූ, මිය ගිය යමක් සිතින් ඉවත් නොකර යළි සලකා බලන්නැයි කරන ඉල්ලීමකි මේ. නැතහොත්, ‘දැනටමත් පරවී ඇති මල්, පයිනුත් පාගන්න එපා’ ලෙසින් කෙරෙන බැගෑපත් වීමක් ද වෙයි. ‘ඔබ ආවාට කමක් නෑ, හැබැයි පර මල් පාගන්න එපා’ යැයි කරන සීමාව ලකුණු කිරීමක්, නැතිනම් සියුම් අණ කිරීමක් ද වෙයි. එන්නැයි කරන ඇරයුමක් ද වෙයි. මේ නම ඇසුණුවිට මට කවි දෙකක් සිහිවෙයි. ‘පඩි පෙලින් බැස අයින් වී එන්න – එපා පර මල් පයින් පාගන්න…’ (රත්න ශ්‍රී විජේසිංහ) සහ ‘බලන්න අර යුවල, වැටුණු මල් පාගමින් පිපුණු මල් බලන හැටි'(ආරියවංශ රණවීර). පොතේ නමට තේමා වන කවිය, ‘නොපාගා එමල්’, කවියේ සිටින්නාත් පොතේ මැය ගැන අප කී ලකුණු සිහිකරවන්නෙකි. අබලන් කුඩයක් ගත් දිරාපත් කබායක් ඇඳි මිනිසෙක් එහි සිටී. ඔහු පර මල් නොපාගා යයි. බිම වැටුණු මල් රැගෙන අහසට විද ඉලංදාරී දාංගලය පායි. තරුණකමත් වියපත්බවත් යන දෙකෙහි ම දිවි ලකුණු පෙන්වන කවකි.
‘හෙට වුණත් ගමට එන්න’,
‘හෙට වුණත් ගමට එන්න’, කවියෙන් අපට පෙන්වන දෙයට වඩා කවියේ කථකයාව අපට කියවීමට ලැබෙන කවියකි. මේ කවිය, ක්‍රම – ක්‍රමයෙන් මිනිස් සිතිවිලි වෙනස්වන ආකාරය කීමට ද කදිම එකකි. කවියේ මැය වන, ‘ගමට’ එන්නැයි කියන්නේ, දරුවන් දෙදෙනාත් කැටුව කලෙකින් මහ ගෙදරට ආ තැනැත්තිටය. ඔවුන් වෙන්ව සිටින බවත්, ඇය නගරයේ සිට එක් මොහොතකට ගමට පැමිණ ඇති බවත් වැටහෙයි. ඇයි ඔහු බිරිඳට ගමට එන්නැයි කියන්නේ, ඔහු නගරයට නොයා? කවිය කියවද්දී මෙය වඩාත් ලිහා ගත හැකි වෙයි.
‘අම්මේ මට ගමට එන්න පාර කියාපන්නේ’ කියූ සේකර ම, ‘ගම සංකර ගැහැනියක්’ කියයි. ගමෙන් නගරයට පැමිණෙන්නෝ යළි ගමට නොයාම හෝ එහි නොරැඳීම වරදක් නොව, එය ගුහාවෙන් මිදීමෙන් ලබන නිදහස යි. ලොව තතු දැනගැනීමෙන් ලබන අත්දැකීම්වල ප්‍රතිඵලය යි. පරිණාමය වන්නේ එහෙමයි. නගරය, පා තැබිය යුතු නැති තැනක් ලෙස අර්ථ ගැන්වීමත්, ගම සුන්දර වස්තුවක් සේ දැකීමත් වැනි ගම – නගරය සම්බන්ධයෙන් පවතින නිර්වචන වෙනස්විය යුත්තේ එබැවිනි. දෙපසෙහි ම හොඳ නරක දෙක ම ඇති බැවිනි. ශුද්ධ, පිරිසිදු, හොඳ ම තැන් කියා දෙයක් ලොව නැති බැවිනි. නිරෝෂ මේ කවියෙන් කරන්නේත්, කවියෙන් කියැවෙන තැන් මෙන් ම කථකයාව එලෙසින් ඔහුගේ සැබෑ සොබාවයෙන් ම තැබීමයි.
මෙහි බිරිඳ, සැමියාට වඩා අඩි කිහිපයක් ඉදිරියෙන් සිටින නූතන මනසක් ඇති තැනැත්තියක් ලෙසිනි අප දකින්නේ. ඇය මහගෙදරට පැමිණියත් එහි ම නොරැදෙයි. තව අයෙකු මත ජීවත් නොවෙයි. ඇයට ස්වාධීන දිවියක් ඇත. එහෙත් කවිය කියන සැමියා, ගමේ සිටින්නෙකි. ඔහු ඇයටත් ගමට එන්නැයි කියයි. මේ කියන්නේ, ශිෂ්ටාචාරගත නොවී යළි ගුහාවට එන්නැයි කියාද? නැතිනම්, යළි උණුසුම සදන කැදැල්ලට එන්න කියාද? නැත්නම්, පෙකණිවැල බැඳෙන ගර්භාෂයට එන්නැයි කියාද? කවිය සිතන්නට බොහෝ දෑ ඉතිරි කරයි.
මේ කවිය ඇරඹෙන්නේත්, අවසන් වෙන්නේත්, කවිය අතරමැද කවි පේළි ඇරඹෙන්නේත් ‘ඕනෑ ම දෙයක් වෙන්න පුළුවන් වෙසක් මාසෙක’ නම් වදන් පෙළෙන්. ඇයි මේ වෙසක් මාසෙ ම? අපිට පැනයක් ඇත. මැයි අයත්වෙන්නේ වසන්ත සෘතුවටයි. පරිසරය පීදෙන්නේ, මල් ඵල දරන්නේ මේ මාසයෙයි. බිරිඳ ගමට එන්නේත් මේ මාසයෙයි. කවියේ කථකයාට කලකින් බිරිඳ දැකීම වසන්තයකි. නමුත් මැයි මාසේ නොකියා වෙසක් මාසේ කියා කියන්නේ ඇයි? තමා එතෙක් විසූ ගම නමැති ගුහාවට, පැමිණි ඈ, ජීවිතය ම (තෙමගුල සේ) මංගල්‍යයක් කළාක් වැනි යැයි ඔහුට සිතුණාද? හරුකි මුරකමිගේ ‘Men without women’ කෙටිකතාවල මෙන්, කාන්තාවන් ගෙන් බිඳී, වෙන් වී, කේවලව, ස්වාධීනව දිවිගෙවන පිරිමි ලොවක පුද්ගලයෙකු සේ මෙහි කථකයාත් තමා විඳි හැඟීම් සංස්කරණයට ලක් නොකර ඒ ඇති සැටියෙන්ම නිරූපණය කරන මොහොතක් නිරෝෂ ක්‍රමයෙන් නිර්මාණය කරන සැටි මෙතැන් සිට විමසමු.
මේ කවිය කොටස් තුනකට වෙන්කරගතහොත්, එහි පළමු කොටසෙහි(16පිටුව අවසන් වෙන තෙක්) දැක්වෙන්නේ, බිරිඳ ආ නිසා ඔහු සතුටුවුණු සැටියි. මේ සතුට ඔහු ඉදිරිපත්කරන්නට පරිසරය ආධාරකයක් ලෙස භාවිත කරන්නේ, සංස්කෘත සාහිත්‍යයේ එන කව් – ගී – වෙසෙසින් ම නාට්‍යවලදී භාවිතයට ගැනෙන ‘උද්ධීපන විභාව’ ඇසුරු කරමිනි. ඇය ආ නිසා මල් පිපෙයි. පිපී විසිරෙයි(පොරි සේ). කුරුලු ගී ඇසෙයි. වලාකුළු පොර කයි(චිත්තරූප මවන තැන්). මෙතැනදී කථකයාගේ මනෝභාව යහපත්. ඒ තරම් ඇය රූමත්.
ක්‍රමයෙන් කවියේ දෙවනි කොටසට යද්දී, කථකයාගේ සිතේ ශෝකය අරක්ගනී. දැන් ඔහුට ෆැන්ටසිය බිම තියා මහපොළොවට බැසීමට සිදුවේ. ඇය ආ නිසා සතුටින් සිටින බව පෙන්වූ ඔහු එතෙක් සිතේ සිරකරගෙන සිටි සොව, පිටාර ගලන්නට ඉඩ හරී. බලන්න.
“ඕනෑ ම දෙයක් වෙන්න පුළුවන් වෙසක් මාසෙ,
ඔයා මහ ගෙදර ආ දවසෙ,
අකුණක් පුපුරලා
අහස හිල් වුණා.
ඊටපස්සෙ
වැස්සා!
වැස්සා!
වැස්සට ගඟත් බයවෙලා
ගම පුරා දිව්වා.
දෑළ ඉවුරු පීරාගෙන ආ වතුර
ඔයා දුන්නු මල් ගස් යටකරගෙන
බොර පාටින් ගලා ගිහින්
මඩ කළා
මුළු මිදුල ම
ගම පුරාත් පැතිරුණා
මට තට්ටු”
මේ දකින බස රූපක බසකි. කිවයුතු දේ කිව යුතු ලෙසින් කවියාත් කථකයාත් දෙදෙනා ම කියත්. දැන් අපට කථකයාගෙ තවත් ලක්ෂණ කියවාගත හැකියි. දැන් තවදුරටත් එරබදු මල් පිපී සැලෙන්නේ නැත. ඇය ගෙදර ආ දින, අකුණු පුපුරා, අහස සිදුරු වී, වැස්සක් වසී. ‘මේ වැසි මට ම වට වැසි වේද’යි සද්ධර්මරත්නාවලියේ පටාචාරා ඇසූ හඬ අපට ඇසේ. කථකයාගේ හැඬීම බරපතල යි. ගෙදර මල් පැළ යටවෙන්නට ම, වැව පිරී ගම යට වෙන්නට ම, මුළු මිදුලේ ම මඩතට්ටු ගොඩගැහෙන්නට ම වැහැලාය. කවියේ පද බෙදන, විරාම තබන, පේළි අතර පරතරය පවත්වගෙන යන, රිද්ම ලක්ෂණ මතුවෙන පරිද්දෙන් කියවිය හැකි සේ අරුත් වැටහෙන සේ ලියා තිබීම පහසුවකි. ‘මඩ තට්ටු’ සංඛේතයකි. ජී.බී.සේනානායකගේ ‘කලහය’ කෙටිකතාවේ වත්තේ කුණුගොඩ පිළිස්සී නැගෙන දුම් රොද මෙනි. ‘ගම පුරා මඩ තට්ටු පැතිරීම’, ඕපාදූප කටකියවීම් ආදිය පැතිරයාම ලෙසින් ද ගත හැකිය.
කවියේ ‘කවි යුෂ’ ඇති හොඳ ම කොටස මෙය යි. කථකයාව අපට කියවන්න ලැබෙනවා යැයි කීවේ මේ නිසයි. දැන් මෙතැන ඉන්නේ අර එරබදු මල් දිහා බලබල හිටි පුද්ගලයා නොවෙයි. ගමේ පැතිරුණු බස් රොස්, බිරිඳ මත පැටවෙන්න නොදී ඒවා තමාගේම ලාච්චුවට දමාගෙන එනම්, තමාම වරද පටවාගැනීමට (මඩ ගෙනත් තමන්ගේ ගොහොරටම දැමීම) පසුබට නොවන සැමියෙකි. එක් අතකින්, තමා සිටියේ මඩගොඩක බව පිළිගැනීමට තරම් ඔහු නිහතමානී වෙයි. අනෙක් අතින්, වෙන්වුණු බිරිඳ වෙනුවෙනුත් තමාව බිලි දී කටයුතු කරයි. තමන් වෙත නැමුණු, අන්තර්වර්තී මනසක් ඇති අයෙකු වන්නට ද පුළුවනි.
කවියේ අවසානය බලන්න. කවියේ පළමු කොටසේ දී සතුටින් සිටි මිනිසා, දෙවනි කොටසේ දී සෝක වූ මිනිසෙකු සහ පරමාදර්ශී මිනිසෙකු වී, අවසන් කොටසේ දී ගූඪ ලකුණු දනවමින්, යන්තමින් කෲරවන සැටි. මේ සිටින්නේ අර ගුහාගත පුරුෂයාමය කියා අපට සිතෙයි. නගරයේ සිට ගමට ආ බිරිඳගේ රූපය වර්ණනා කළ ඔහු ම, දැන් ඇනුම් පදයකින් ඇයව යන්තමින් කොනිත්තයි.
“රෝස පාට යටි පතුලේ,
මඩ ඩිංගිත්තක්වත් ගෑවුණොතින් හොඳ නෑ,
හිනාවෙයි ලෝකයා”
බිරිඳගේ ‘රෝස පාට යටි පතුළ’, ‘ටෙලි නිළියක් තරම් ලස්සන’ වදන් පෙළ වත්මන් ධනවාදී වෙළඳ ප්‍රවර්ධන සමාජයේත් පිළිබිඹුවකි. එහෙත්, ලෝකයා කියන ඕපාදූප නමැති ‘මඩ ගාගන්නෙපා’ (සමාජයෙන් කතා අහගන්නෙපා) වැනි දෙයක් ඔහු නොකියා කියන්නේ ඇයි? ලෝකයාගෙ කිරුම් මත සියල්ල තීරණය කරන කෙනෙකුද ඔහු? ආයෙ නගරෙට නොයා හිටියොත් ලෝකයා හිනාවෙන එකක් නැහැයි කියා ඇඟවීමක් ද මෙය? එසේත් නැත්නම්, ඇය වෙත තම බලය පෑමට ගන්නා උත්සාහයක් ද? කථකයාව කියවාගන්නයි අප දිගින් දිගට ම කීවේ ඒකයි.
මේ කාව්‍ය මට කෙටිකතා ලකුණු සිහි කළ අතර, මේ නිර්මාණයේ කථකයා එනම් පුරුෂයා, කෙටිකතාවක චරිතයක් තරම් සියුම්ව විස්තර කළ හැකි අයෙකු ලෙස නිරෝෂ විසින් නිර්මාණය කරනු ලැබීම අගය කළයුතුය.
ප.ලි | මෙකව් එකතුවෙන් මා ප්‍රියකරන ම එක් කවියක් තෝරාගත්තේ, ලිපිය දිගුවන බැවින් සහ මේ කව නිරෝෂගෙ කව් ගුණ ලකුණු සාරයක් ලෙස ගෙන රසවිඳිය හැකි එකක් ලෙස පැහැදිලි වූ බැවිනි. මේ බොහෝ කවි, කියවන්නන් විසින් එළා නෙළා ගනු ලැබූවොත් යහපති.
ඩිල්ශානි චතුරිකා දාබරේ